අධ්‍යක්‍ෂවරු පොරකන කොල්ලෝ පිස්‌සු වට්‌ටන කොලිවුඩයේ කවුද මේ රාම් චරන්

රසිකාවියක්‌ සිපගන්න අත ඉල්ලගෙන ඇඟිල්ල සපා කෑවා
මම බැඳලා, තමන්නා ගැන කතා කරන්න බෑ...

බොලිවුඩ්වලට වගේම කොලිවුඩ්වලටත් ඔයාල ගොඩක්‌ ආදරය කරනවා කියල අපි දන්නවා. ඒ අතරේ කොලිවුඩ් චිත්‍රපටියක්‌, එහෙමත් නැතිනම් තෙළිඟු චිත්‍රපටයක්‌ ලැබුණොත් නරඹන්න අමතක කරන්නේ නැහැ කියලත් අපි දන්නවා. අන්න ඒ කොලිවුඩ් සිනමාවේ මේ දවස්‌වල ප්‍රේක්‍ෂක හදවත් අමන්දානන්දයට පත්කරන නළුවෙක්‌ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි රාම් චරන්. චිරුත, මගාදීර්, යවඩු, සාංජීර්, නායක්‌ වැනි සිනමාපට නැරඹූ ඔබට රාම් චරන්ව අමතක වෙන්න විදිහක්‌ නැහැ. තරුණියන් පිස්‌සු වට්‌ටන කඩවසම් පෙනුමක්‌ හිමි මේ අපූරු තරුණයාව තමන්ගෙ සිනමාපටයකට සම්බන්ධකර ගන්න අධ්‍යක්‍ෂකවරුන් පොරකනවා. ඒ වුණත් රාම් චිත්‍රපට තෝරාගන්නෙ ගොඩක්‌ හිතලා බලලා. 2007 වසරේ සිනමාවට පා තැබුවත් තවමත් රාම් රගපාලා තියෙන්නෙ චිත්‍රපට අතලොස්‌සක විතරයි. ඒත් එයාගෙ ජනප්‍රියත්වය නම් චුට්‌ටක්‌වත් අඩුවෙලා නැහැ. අපි බලමු එයා අපි අහපු ප්‍රශ්නවලට දීපු උත්තර මොනවද කියලා ...

* ඉතින් රාම් මොනවද මේ දවස්‌වල කරන්නෙ ?

ඇත්තටම මේ ගෙවෙන්නේ ටිකක්‌ විතර කාර්යබහුල කාලයක්‌. මගේ අලුත්ම චිත්‍රපට දෙක වන රංගස්‌තාලම් සහ කොරතලා කියන චිත්‍රපටවල රූගතකිරීම් මේ දවස්‌වල සිද්ධ වෙනවා. ඒ නිසාම ව්‍යාපාර වැඩවලිනුත් ටිකක්‌ ඈත් වෙලයි ඉන්නේ.

* රංගනය සහ ව්‍යාපාර කටයුතු සමබරව කරගෙන යන්නෙ කොහොමද ?

ඒක තමයි මගේ දක්‍ෂකම. රංගනය, නිෂ්පාදනය වගේම ව්‍යාපාර කටයුතුත් මම සමබරව කරගෙන යනවා. ඒකට හේතුව මම වැඩ බදාගන්නෙ නැති එක. මම කරන්නෙ මට ලැබෙන හොඳ වැඩ විතරයි. ඒකයි මට මේ හැම දේකටම වෙලාව ඉතිරි.

ෆ වැඩිපුරම අයකරන්නන් අතර සිටීම ආඩම්බරයට කරුණක්‌ ද ?

එක පැත්තකින් ඔව්. මම අයකරන්නේ මගේ කැපවීමේ තරමට. අනිත් එක මගේ චිත්‍රපට හැම එකක්‌ම වාගේ ගොඩක්‌ හිට්‌ වුණා. ඒවායේ ලාභය සියල්ලක්‌ම නිෂ්පාදකටයි. ඉතින් මගේ අයකිරීම්වල අසාධාරණ කමක්‌ මම දකින්නෙ නැහැ.

* ඔබේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂය මොකක්‌ කියලද හිතන්නේ ?

චිරුත සහ මගාදීර් කියන චිත්‍රපටවල රඟපෑම තමයි මම මගේ ජීවිතේ ටර්නින් පොයින්ට්‌ එක කියල හිතන්නේ. මාව මේ තැනට ගෙනාවේ ඒ ලබපු සාර්ථකත්වය තමයි. රාම් කියන නමට මේ තරම් වටිනාකමක්‌ ලැබෙන්නෙ ඒ නිසාමයි.

* අල්ලු අර්ජුන් ගැන ඔබ මොකද හිතන්නේ ?

අල්ලු ගැන මට ගොඩක්‌ ආඩම්බරයි. අපි දෙන්නටම ගොඩක්‌ අය ආදරෙයි. සමහරු කියනවා අපි අතර සීතල යුද්ධයක්‌ තියෙනවයි කියලා. ඒත් ඇත්තටම එහෙම දෙයක්‌ නැහැ. සහෝදරයෝ අතර ඒ වගේ තරගයක්‌ මොකටද නේද ?

* මොකක්‌ද ඒ කතාවේ තේරුම ?

මේක ගොඩක්‌ අය දන්නේ නැති කතාවක්‌. අල්ලු සහ මම ඥාති සහෝදරයන්. අපි දෙන්නටම සිනමාවට එන්න පාර කියන්නෙත් ඒ සම්බන්ධතාවයම තමයි. මගේ අම්මයි තාත්තයි දෙන්නම සිනමාවට සම්බන්ධ අය. ඒ වගේම තමයි සීයත් ගොඩක්‌ දක්‍ෂ නළුවෙක්‌.

* බොලිවුඩයට එන්න කැමති නැතිද ?

සාන්ජීර් චිත්‍රපටයෙන් මම ඒ ආශාව ඉෂ්ටකර ගන්නවා. පොලිස්‌ නිලධාරියකු විදිහට එහි මම කරපු චරිතය ප්‍රේක්‍ෂකයන් ගොඩක්‌ ආදරයෙන් වැළඳගත්තා. නමුත් දිගටම බොලිවුඩ්වල ඉන්න තරම් මට නිදහසක්‌ නැහැ. ඒ නිසා මම වැඩිය ඒ ගැන හිතන්නේ නැහැ.

* තමන්නා එක්‌ක ඔයාගේ තිබුණු ගනුදෙනුව දැන් ඉවරයිද ?

මම විවාහවෙලයි ඉන්නේ. ඇයි දන්නේ නැහැ මාධ්‍ය ඔය විදිහේ වැරදි ප්‍රචාර යවන්නේ. සමහරවිට අපි සතුටින් ඉන්නවට එයාල කැමති නැතිව ඇති. තමන්නාව මම දන්නෙ දක්‍ෂ නිළියක්‌ විදිහට විතරයි. එතනින් එහා දෙයක්‌ කතා කරන්න මම සූදානම් නැහැ.

* මෑතකදී ඔබට පුංචි කරදරයක්‌ වුණාලු නේද ?

ඒක වුණේ මෙහෙමයි. සිනමාපටයක ප්‍රචාරක කටයුත්තකදී එක්‌තරා රසිකාවියක්‌ සිපගැනීමට මගේ වම් අත ඉල්ලුවා. ඒක සාමාන්‍ය දෙයක්‌. ඒත් මොහොතකින් ඇය මගේ ඇඟිල්ල සපා කෑවා. ඇයි කියන්නනම් මම දන්නේ නැහැ. ඕක තමයි වුණේ.

* රංගනයේදී ස්‌ටන්ට්‌ නළුවන් යොදාගන්න එක ගැන ඔබ මොකද හිතන්නේ ?

ඒක ගැන මට හරියටම කියන්න බැහැ. මොකද මම නම් ගොඩක්‌ වෙලාවට ස්‌ටන්ට්‌ලා යොදාගන්නෙ නැහැ. නමුත් හැම කෙනෙක්‌ටම ඒ හැකියාව නැහැනේ. ඒ නිසා ඒක වරදකුත් නැහැ. නමුත් තාත්වික රංගනයක්‌ එන්නනම් ඒ අදාළ දර්ශනය අපිම කරන්න ඕනි.

* තරුණියකගේ සිරුරේ ආකර්ශනීයම අංගය ලෙස ඔබ දකින්නේ මොකක්‌ද ?

දෙතොල් සහ නිතඹ. තරුණියකගේ ලස්‌සන තියෙන්නේ එතැන කියලයි මම නම් හිතන්නේ. තව කෙනෙක්‌ට ඒක වෙනස්‌ වෙන්න පුළුවන්. මම නම් වැඩිපුරම බලන්නෙ ඒ දිහා තමයි.

* වාහන වලට ඔය තරම් කැමති ඇයි ?

වාහනවලට නෙවෙයි. කාර් වලට. ඒ ගැන මට තියෙන්නේ ලොකුම ලොකු පිස්‌සුවක්‌. කවදාවත් ඒකනම් නැතිවෙන එකක්‌ නැහැ.

* ඔය තරම් ෆර්පියුම් ගහන්නේ කාවහරි රවට්‌ටගන්න ද ?

අපොයි නැහැ. ඒක මගේ කැමැත්ත. නලුවෙක්‌ වුනාම ලස්‌සන වගේම සුවඳට ඉන්නත් ඕනිනේ. එතකොට තමයි හොඳ.

අමිල නුවන් මධුසංඛ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.