අශෝකගේ හඩ අවදි කරන තුසර පුංචි කාලේ හොද නළුවෙක්‌...

රන්තලිය වලව්වේ කොලුවා...
මොණරතැන්නේ ජින්නා...
පිත්තල කොණ්‌ඩෑරුමේ සංඛ...
විදිහට රඟපෑ පුංචි කොල්ලා මතකද?

හැම කෙනෙකුම ඔහුගේ හඬ හොඳින් හඳුනනවා. ඔහුට අසීමිත ලෙස ආදරය කරනවා. අධිරජ ධර්මාශෝක නාට්‍යයේ අශෝකගේ චරිතයට හඬ කවන්නේ ඔහුයි. එපමණක්‌ නොවෙයි ඔහු දක්‌ෂ රංගන ශිල්පියෙක්‌. ඔහුගේ කුඩා කල ඡායාරූප දකින ඔබට එක්‌වරම ඔහුව මතකයට නැගේවි. නමුත් ඔහු කව්ද? අද මීවිත, ඔබට, ඔහු මුණගස්‌වනවා. ඔහු නමින් තුසර චාමිකර මුතුකුමාරණ...

තුසර ඔබ රංගන ශිල්පියෙක්‌. නළුවෙක්‌. දැන් රඟපාන්නේ නැද්ද ඉස්‌සර වගේ?

ම්.... ඔව් ඇත්තටම ඒ වැඩකටයුතුත් කරගෙන යනවා. රඟපෑම නතර කරලා නැහැ. වෙලාවත් එක්‌ක රඟපෑමේ කටයුතුත් කරගෙන යනවා.

මතකද ඔබ රඟපෑ පළමු ටෙලි නාට්‍ය?

ඔව්...මුලින්ම ආනන්ද අබේනායක මහතාගේ "දීනන්නාඳුනන්නි" ටෙලි නාට්‍යයේ රඟපෑවේ. ඉන් පසු ප්‍රසන්න ජයකොඩි මහතාගේ සඳ අමාවකයි නාට්‍යයේත් ලක්‌ෂ්මන් විඡේසේකර මහතාගේ දක්‍ෂයන්ට පමණයි ටෙලි නාට්‍යයේත් සමන් කුමාර ලියනගේ මහතාගේ රන් තලිය වලව්වේ කොලුවා ලෙසත්, මොනරතැන්නේ ජින්නා ලෙසත්, පිත්තල කොන්ඩෑරුම සංඛ ලෙසත් ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වෙන්න මට අවස්‌ථාව ලැබුණා.

ඔබ චිත්‍රපට ගණනාවකටත් රංගනයෙන් දායක වුණා නේද?

බුද්ධික ජයරත්න මහතාගේ දේදුනු වැස්‌සට වගේම ධර්මසේන පතිරාජ මහතාගේ සම්බන්ධීකරණයෙන් විදෙස්‌ චිත්‍රපටයකට රංගනයෙන් සම්බන්ධ වුණා.

නමුත් ඔබ කලා ක්‌ෂේත්‍රයට පියමනින්නේ තාත්තගේ නිර්මාණයකින් ?

ඒක ඇත්ත... හැමදේකටම කලින් ළමා නාට්‍ය උලෙළට මගේ තාත්තා කළ වේදිකා නාට්‍යකින් තමයි මම මේ හැමදේම පටන් ගත්තේ.

එතකොට හොඳම නළුවා ලෙස සම්මාන හිමිවුණේ?

තාත්තගෙම "ඉටි කිරි බබ්බු" කියන ළමා වේදිකා නාට්‍ය සඳහා මට හොඳම නළුවා සම්මානය හිමි වුණා. එතකොට මට අවුරුදු 9 දී විතර ඇති. ඒ 2002 වසරේදී, රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ.

දැන් මොකද කරන්නේ?

මේ දවස්‌වල කොතලාවල ආරක්‌ෂක විශ්වවිද්‍යාලයේ අයි. ටී. සම්බන්ධ උපාධිය අවසන් කිරීමට සූදානමින් ඉන්නවා. මේ යන්නේ කැම්පස්‌ එකේ අන්තිම අවුරුද්ද. මම පාසල් අධ්‍යාපනය ලැබුවේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ. අයි. ටී. ඉංග්‍රීසි සාහිත්‍ය, ඉතිහාසය කියන විෂයන් තමයි මම උසස්‌ පෙළ සඳහා හැදෑරුවේ.

දැන් වයස කීයද?

ම්...... දැන් අවුරුදු 23 යි.

ඔබ හඬ කැවීම් ශිල්පයට පා තබන්නේ කොයි කාලේද?

අවුරුදු පහේදී විතර සිරස ආයතනයේ නිර්මාණයකට තමයි මම මුලින්ම හඬ කැව්වේ. ඉතාම පුංචි චරිතයකට.

එතකොට ප්‍රධාන චරිතයකට මුලින්ම කළේ?

ඒ දවස්‌වල සිරසේ චිත්තී කියලා නාට්‍යයක්‌ ගියා. ඒකෙ ශිවා කියලා පොඩි ළමයෙකුගේ චරිතය තමයි මුලින්ම ප්‍රධාන චරිතයකට කළේ.

ප්‍රධාන චරිතයකට හඬ කවද්දී තුසරගේ වයස කීයද?

මං හිතන්නේ අවුරුදු හයක්‌ හතක්‌ විතර ඇති.

අශෝක හැරුණු කොට ඔබව මතකයේ රැඳුනු හඬ කැවූ අනෙකුත් නිර්මාණ මොනවද?

හිරු එකේ හව් ටු ට්‍රන් යෝර් ඩ්‍රැගන් එකේ ප්‍රධාන චරිතය. දියදඟයා එකේ බිංදු චරිතය. දෙරණේ අයන් මෑන් එකේ චරිතය සහ සිරසේ ස්‌වප්නා නාට්‍යයේ රෝහිත් ගේ චරිතය එහෙම චරිත කියලා කියන්න පුළුවන්.

අශෝක චරිතය සඳහා හඬ කවන්න අවස්‌ථාව ලැබෙන්නේ කොහොමද?

මේ චරිතය සඳහා ළමයි ගොඩ දෙනෙක්‌ හඬ පරීක්‌ෂණ කරනකොට ෆර්නි රෝෂිනි අක්‌කා මගේ දුරකථන අංකයත් දීලා තිබුණා. ඊට පස්‌සේ ඔවුන් මට කතා කළා. හැබැයි වෙන චරිතයකට හඬ කැවීමටයි මම ගියේ. නමුත් කොහොමහරි අන්තිමට ඒ චරිතයට වැඩිය මේ චරිතයට මගේ හඬ ගැලපෙයි කියලා හිතලා රන්ජීවනි අක්‌කා අශෝක චරිතයට හඬ දෙන්න කියලා කිව්වා. ඒ අහම්බෙන් වොයිස්‌ කරපු අවස්‌ථාව තමයි ඉතිං මේ.

හිතුවද මෙච්චර ජනප්‍රිය වෙයි කියලා..

චරිතය කොහොම වුණත් නාට්‍ය හුඟක්‌ ජනප්‍රිය වෙයි කියලා හිතුණා. එකක්‌ ඒක හැමදාම කරපු ඒවාට වඩා ලස්‌සන හොඳ එකක්‌ කියලා හිතුණා. ඒ නිසා නාට්‍ය ජනප්‍රිය වෙයි කියලා නං හිතුනා. හැබැයි ඉතිං මුලදී මේ චරිතයට මෙච්චර ප්‍රතිචාර ලැබෙයි කියලා නං හිතුවේ නෑ.

යුගන්ති යශෝදරා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.