ආදර හැන්දෑව
අනුරාධිකා ඈත ඉඳන් ඇවිදින් තීක්‍ෂණගේ පාළු හිතට විහාර මහා දේවි උද්‍යානයේදී මනමාල කතා කියූ හැටි...

එකොමත් එක දවසක මම මගේ හිතේ තිබුණ ආදරේ බිඳුවක්‌ නෑරම ඔයාට දුන්න. හිස්‌වෙලා තිබුණ මගේ හිත ඔයා ඔයාගේ ආදරෙයෙන් පිරෙව්වා. ඒ දවස තරම් අසිරිමත් දවසක්‌ අදටත් මගේ ජීවිතයට උදාවුණේ නැහැ. මම හිතන්නේ මගේ ජීවිතයේ ලස්‌සනම දවස එදා. ජීවිතය මොනතරම් සුන්දරද කියලා මට හිතුනෙත් එදා. ආදරය කරන්න ආදරය විඳින්න ජීවත් වෙන්න මට කියාදුන්න පුංචි ගුරුතුමිය ඔයා.

සංගීත ලෝකයේ අතිශය ලෙන්ගතු හඩට හිමිකරුවා තීක්‍ෂණ අනුරාධගේ දයාබර හදවත ආදරයෙන් පුරවාලූ මතකය ආදර හැන්දෑවට කැදවද්දී තීක්‍ෂණගේ ලෝකයට ඇගේ ආදරයේ නාමයෙන් අමිල තිළිණයක්‌ ලැබිලා ලොකු කාලයක්‌ ගතවෙලාත් නැහැ. ඒ නිසා මේ දවස්‌වල කිරි සුවදත් එක්‌කම ආදර සුවද තීක්‍ෂණ ආදර හැන්දෑවේ සටහන් කළේ මෙලෙසයි.

දෙන්නා මුණ ගැහෙන්නේ සංගීතය නිසාද ?

අපි ඇත්තටම මුණ ගැහෙන්නෙ මම උසස්‌ පෙළ කරන කාලෙ යූත් ඔකෙස්‌ට්‍රා එකට එනවා සංගිතය ඉගෙන ගන්න. එයා ජයවර්ධන කේන්ද්‍රයේ පන්තියකට එනවා. එයාගේ යාළුවොයි එයයි එනව දවල් කෑම කන්න විහාරමහාදේවි උද්‍යානයට. මමත් අපේ යාළුවෝ එක්‌ක එතැනට එනවා දවල් කෑම කන්න. මුලදී අපි වෙනවෙනම තමයි කෑම කෑවේ. පස්‌සෙ අපි ඇගේ යාළුවොයි මගේ යාළුවොයි යාළුවෙලා එකට කෑම කන්න පටන් ගත්තා.

ඔය සමයේද ආදර හිත් පහල වෙන්නේ ?

මෙහෙමයි අපි කාලයක්‌ මිතුරු මිතුරියෝ විදිහට ආශ්‍රය කළා. මගේ හිතේ ආදර හිතක්‌ පහළ වුණත් එයාගෙන් හොද ප්‍රතිචාර ලැබුණේ නැහැ. ටික කාලයක්‌ ගියා එයාගේ කැමැත්ත ගන්න.

ඊට පස්‌සේ පෙම්හසුන්වල අනන්ත ආදර හැඟීම් ලියෑවෙන්න ඇති ?

අපි ආදරය කරන්න පටන් ගන්න කාලෙ වෙද්දී ආදර හසුන්වලින් ආදරය කරපු අවසාන වකවානුව. මම කොහොමටත් ලියුම් ලියන්න කම්මැලියි. එයා නම් දිග ලියුම් ලියනවා. මමත් ඉතින් කොහොම හරි ලියුමක්‌ ලියලා දෙනවා. පස්‌සේ ජංගම දුරකථන භාවිතය එද්දී මම විශ්විද්‍යාලයේ හිටියේ. මට තිබුණේ අපේ අක්‌ක මට අරන් දුන්න ජංගම දුරකථනයක්‌. ඒ කාලෙ දුරකථනවලින් වරු ගණන් කතා කරන්න සල්ලිත් නැහැනේ. පෙම්කරල බිල් ගෙවන්න ගෙදරින් සල්ලි ඉල්ලන්නත් බැහැනේ. ඔහොම ඉන්නකොට ඒ දවස්‌වල හදුන්වා දුන්න ලබාගන්නා ඇමතුම්වලට මුදලක්‌ අයනොවෙන දුරකථන පැකේජයක්‌. අපි දෙන්න ඒ දුරකථන සම්බන්ධතා පැකේජය ලබාගත්තා. එදා ඉඳන් ඉතින් අපේ ආදර කතා දුරකථනයෙන්ම තමයි. අදටත් අපි දෙන්න පාවිච්චි කරන්නේ එදා අපි ලබාගත්ත දුරකථන අංක දෙකම තමයි.

ඉගෙනගන්න කාලෙම ප්‍රේමයටත් ජීවිතේ ගොඩක්‌ ඉඩ වෙන් කලාද ?

ඒ කාලෙ ඉතින් ආදරයකට බැඳුනම ඒක තමයි මුළු ලෝකයම වගේ දැනෙන්නේ. එහෙමයි කියලා අපි අපේ අධ්‍යාපන කටයුතුත් කරගෙන ගියා. මම විශ්වවිද්‍යාල උපාධිය සම්පූර්ණ කළා. නමුත් එයාට නම් මම උසස්‌ අධ්‍යාපන කටයුතුවලට යන්න මං ඇහිරුවා කීවොත් හරි. මොකද ඒ වෙනකොටත් මම කාර්යබහුල කෙනෙක්‌ වෙන්න පටන් අරන් එයා රැකියාවක්‌ කරනවට මගේ කැමැත්තක්‌ තිබුණේ නැහැ. ඒ නිසා එයා ඒ වෙනකොට ලබල තිබුණ අධ්‍යාපනය ප්‍රමාණවත් කියලා මම හිතුවා. එයත් මගේ අදහසට එකඟ වුණා.

පෙම්වතෙක්‌ වුණාට පස්‌සේ තරුවක්‌ වෙන තීක්‍ෂණට තවත් පෙම් හිත් බැලුම් හෙළන්න ඇති නේද ?

ඇත්තම කියනවා නම් එවැනි බලපෑම් ඇති නොවුන තරම්. මම හැමදාම හැමතැනකදීම කිව්ව මම පෙම්වතෙක්‌ කියලා. අනික මම යන එන තැන්වලදී එයත් මගේ ළඟ හිටියා. අපි දෙන්න ගැන හැමදෙනාම දැනගෙන හිටියා. ඒ නිසා කවුරුවත් මට ප්‍රේමකරන්න ආවේ නැහැ. මට ඇතිවුණේ මගේ ගීතවලට සහ මගේ හඩට ආදරය කරන මගේ දියුණුව පතන විදිහේ රසික පිරිසක්‌.

ඒත් යන එන තැන්වල රසික රසිකාවියන් ඔබට ප්‍රතිචාර දක්‌වද්දී ඇගේ ආදර හිතට උපේක්‌ෂාවෙන් ඒ දේවල් දරාගන්න පුළුවන් වුණාද ?

මුලදී නම් පුංචි නොහොද නොක්‌කාඩු හිත් රිදුම් තිබුණා. පස්‌සේ අපි දෙන්නම තීරණය කළා මේ ක්‌ෂේත්‍ර්‍රයේ ඉන්නවා නම් ඒ දෙවල් ඉවසන්න හුරුවෙන්න ඔන කියලා. ඈ මාව තේරුම් ගත්ත වගේම මමත් තෙරුම් ගන්න ඕනෑ කසාද බැදපු මනුස්‌සයෙක්‌ කියලා. මට ඇත්තටම ඕනෑවෙලා තිබුණේ අපේ ආදරය වෙනසක්‌ නැතිව විදගන්නයි. මම කොහේ හරි ගිහින් ලස්‌සන තැනකට ගියත් රසවත් කෑමක්‌ රසවින්දත් ප්‍රීති උත්සවයකට ඇරයුමක්‌ ලැබුණත් ඒ හැම දෙයක්‌ම එයත් එක්‌ක විඳින්නයි කැමැති. දැන් අපේ ජීවිතවලට තවත් කෙනෙක්‌ එකතුවෙලා දැන් මම ප්‍රාර්ථනා කරන්නේ ඒ හැම දෙයක්‌ම අපි තුන්දෙනා එක්‌කම විඳින්නයි.

ආදර කතාව ගලාගෙන යන්නේ වැඩිහිටි ආශිර්වාදත් එක්‌කද ?

නැහැ. දෙපැත්තෙම කැමැත්ත ලැබුණෙ නැහැ. පළමුවැනිම චෝදනාව වුණේ දුර වැඩියි කියන එක එයා වෙන්නප්පුවේ මම ගාල්ලේ. අනික මීගමුව පැත්තේ අය දකුණෙ අයට එච්චර කැමැත්තක්‌ නැහැනේ ඔයවගේ හේතු මත කැමැත්ත ලැබුණෙම නැහැ. ඒත් අපි දෙන්නත් නොසැලී හිටිය අන්තිමට දෙපැත්තෙම වැඩිහිටියන්ට කැමැත්ත දෙන්න සිද්ධ වුණා. මොකද මොනතරම් විරුද්ධ වුණත් අපි මේ ආදරය නවත්වන පාටක්‌ නැති නිසා. දැන්නම් එයාල තේරුම් අරන් අපේ සම්බන්ධයට විරුද්ධ වීමට දැක්‌වූ හේතු ඵලක්‌ නැති දේවල් කියලා.

තීක්‍ෂණට මතකද ආදර හිතෙන් දුන්න පළමු තෑග්ග ?

මම එයාට ලස්‌සන ඔරලෝසුවක්‌ දුන්නා. එයා මට මුද්දක්‌ දුන්නා. තවමත් අපි දෙන්න එදා වගේම පුංචි පුංචි තිළිණ හුවමාරු කරගන්නවා. එයා ආසයි කියල දෙයක්‌ හැඟුනොත් මම එය ගන්න පුළුවන් දෙයක්‌ නම් මම ඒක එයාට ගෙනත් දෙනවා.

ඇගේ ආදරය ඔබේ සංගීත දිවියට බලපාන්නේ කොහොමද ?

එයාගෙන් ලැබෙන ලොකුම උදව්ව එයා මගේ දෙවල්වලට බලපෑම් නොකරන එක. මම ගීතයක්‌ කළොත් ඒක මුලින්ම අහන්න දෙන්නේ එයාට ඒක මගේ යාලුවොත් දන්නවා. මම අලුත් නිර්මාණයක්‌ කරහම ඒවයේ හොඳ නරක කියන එක නෙවෙයි මම අදහස්‌ කළේ. මම කලා ක්‌ෂේත්‍රයේ ඇසුරු කරන අය සංදර්ශනවලට අය කරන මුදල්, භාරගන්න ඕන භාර නොගතයුතු සංදර්ශන, ඔයවගේ මගේ වෘත්තියට අනවශ්‍ය ඇඟිලි ගැසීම් ඇය කරන්නේ නැහැ. එයා මගේ සංගීත කටයුතුවලට සීමාවන් දාන්නේ නැහැ වගේම මමත් මගේ සීමාව තේරුම් අරගෙන වැඩ කරනවා. මොකද සංගීතය කියන්නේ බොහොම නිදහස්‌ සිතකින් කරන්න ඕන දෙයක්‌නේ. ඇය මට ඇවැසි නිදහස්‌ මානසික පරිසරය හදල දීල තියෙනවා.

පුංචි පුතා එකතුවුණාට පස්‌සේ දෙන්නගේ ආදරයෙන් කොටසක්‌ පුතාට බෙදිලා ගිහින්ද ?

ආදර බෙදිල ගිහින් නැහැ. අපි තව ටිකක්‌ ආදරය වැඩිකර ගත්ත පුතාටත් දෙන්න.

ධම්මිකා සුරංජි පතිරණ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.