ප්‍රවීණයෝ මන්දොaත්සාහිවෙලා
ප්‍රවීණ ගේය පද රචක බණ්‌ඩාර ඇහැළියගොඩ

'ජීවිතය කවියක්‌' කිවිසුරු ප්‍රණාම උළෙල 20 වැනිදා

කඳුලැළි බිඳක්‌
හසරැළි පොදක්‌
එකට එක්‌වූ විට දැනේ
පෙර නොවිඳි රසයක්‌...

ගතින් සුරතල් සිතින් වැඩිමල් පුංචි දියණියන්නේ
වෙමින් මනලොල් හිඳින් හැමකල් මාපියන් සෙවණේ
තාත්තා පඩි ගත්තුදවසට අශ්වයෙක්‌ ගනිමුද කියා
ඇසූ නුඹ මේ දැ අවුරුද්දට මට වැඩිය වයසට ගියා..
පිල් කඩට වී ඇන තියා මට කඳුළු හංගනවද ඔයා...

ප්‍රවීණයන්ගේ හඬින් අලුත් ගීත නො ඇසෙන කලෙක... කලකට පසුව නැවුම් ගීත එකතුවක්‌ රස විඳින්නට ගීත ලෝලීන්ට අවස්‌ථාවක්‌ උදාවේ. මේ ගීත එකතුවේ ගී පදමාලා ප්‍රවීණ ගේය පද රචක බණ්‌ඩාර ඇහැලියගොඩගේ ලිපිය ආරම්භ කළේ ඒ ගීත එකතුවට ආචාර්ය වික්‌ටර් රත්නායකයන් ගයන ගීයක්‌.

වික්‌ටර් පමණක්‌ද...නැත.

විශාරද නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, සමන් ලෙනින්, රොඩ්නි වර්ණකුල, ජනනාත් වරකාගොඩ, ශෂිකා නිසංසලා, කෝලිත භානු දිසානායක, වන්දිමා මිහිගම ඇතුළු ගායක ගායිකාවන් විසි දෙනෙක්‌ මේ නැවුම් ගීත එකතුවට ගායනයෙන් එක්‌වෙති. "පාරමී දම් පුරා" ගී පද ප්‍රසංගය එළිදැක්‌වෙන්නේ මෙම 20 වැනිදා සවස 6.30 ට බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන 'ජීවිතය කවියක්‌ බණ්‌ඩාර ඇහැළියගොඩ උපහාර කිවිසුරාණන් වෙත ප්‍රණාම පුද කෙරෙන කලා මංගල්‍යයේදීය. එදින කුලශ්‍රී කාරියවසම් විසින් සංස්‌කරණය කළ බණ්‌ඩාර ඇහැළියගොඩ සෞන්දර්ය චරිතාවලෝකනයද ජනගත කෙරේ.

බණ්‌ඩාර ඇහැළියගොඩගේ තිස්‌පස්‌ වසරක කලා ජීවිතය නිමිත්තෙන් මෙම ප්‍රසංගය සංවිධානය කරන්නේ සරසවි අධිපති එච්. ඩී. ප්‍රේමසිරි, බන්දුල ඒකනායක, වෝල්ටර් අබේසුන්දර, කුලරත්න ආරියවංශ, ප්‍රේම් දිසානායක, තිලක්‌ හේවා කපුගේ, ආනන්ද අබේනායක, සුදත් රෝහණ , කේ. ඒ. එස්‌. සේනාධීර, අමිල ජයසේකර සහ ලෙනාඩ් රාජපක්‌ෂ ඇතුළු සහෘද සංවාද කේන්ද්‍රය විසිනි.

ඇහැළියගොඩ එල්ලාවල පරණගම බණ්‌ඩාර උපන් ගමයි. පාසල් වියේ පටන් කවි ලියන්න දක්‌ෂයෙක්‌ වූ ඔහු නාට්‍යවලද රඟපෑවේය.

"මම මුලින්ම නාට්‍යකරුවෙක්‌ සහ කවියෙක්‌. අපේ ගම සෞන්දර්ය වටාපිටාවක්‌ සහිතයි. අම්මාගේ නැළවිලි ගීයේ ඉඳලාම කවියට කිට්‌ටු වෙන්න පුලුවන් දොරටු විවර වුණා. ගමේ පන්සල්වල, සල්පිල්, මල්වට්‌ටි වෙන්දේසි, තොරණ්‌වලින් නිතර ඇහුනේ කවි. කවිමඬු තොවිල් පවිල් තිබුණා. ඒ කවිය සමග කුඩා කලදී ම ඇඟෑළුම් කමක්‌ ඇති වුණා. මුල් කාලයේ මම හිටිවන කවි ගායනා කළා. පාසල් කාලයේ කවි ලියුවා. නාට්‍යවල රඟපෑවා.

"දෙපාවාරු නැත" නමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී නාට්‍යයක්‌ කළා. එහි හොඳම නළුවා වුණේත් මම.

1983 යෞවන සම්මාන උළලේදී ක්‌ලයිට්‌ ශාන්තගේ 'න්‍යෂ්ඨිකා හෙවත් මහා බල හටන" නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් හොඳම නළුවා වුණේ මම. පසුව ජයලත් මනෝරත්නගේ තලමල පිපිලා, අන්දරේලා කියන නාට්‍ය දෙකට රංගනයෙන් එක්‌ වුණා. 1985 දී කවි පොතක්‌ ලියුවා. 'කාලය එළැඹ ඇත" නමින්. ධර්මසිරි ගමගේ මහතාගේ මඟ පෙන්වීම යටතේ යොවුන් ජනතා පත්‍රයේ හා පහන් වැට නිර්මාණ කේන්ද්‍රය හරහා දිගු ගමනක්‌ ආරම්භ කළා. මම අවුරුදු දහයක්‌ විතර ගීතය ගැන දැස්‌ විමසිල්ලෙන් හිටියා. ගීතයක ආකෘතිය ගැන විවිධ යෙදුම් ගැන අධ්‍යයනය කළා. ඉන්පසු තමයි ගීත රචනා කරන්න පටන් ගත්තේ.

තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඬ පැතිරෙනවා...
සඳළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟසුඟ නටවනවා....

1983 ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකින් මගේ පළමු පද මාලා දෙක සුනිල් එදිරිසිංහ ගයනවා.

ලෝකයක්‌ නසන්නට
රුදුරු අවි අත දරා...
සැරසෙමුද...
නැසුන ලොව අභිමුවෙහි
විජයකොඩි නඟන්නේ
කවුරුන්ද...

එදා මේ ගී දෙක ප්‍රචාරය වෙද්දී සමන් අතාවුද හෙට්‌ටිගේ හඬින් මගේ නම ප්‍රචාරය වුණා. මට පුදුම සතුටක්‌ ඇති වුණා. ඒ කාලේ නිර්ලෝභිව ගීත රචකයාගේ සංගීතඥයාගේ නම කියන ප්‍රතිපත්තියක්‌ ගුවන් විදුලි වැඩසටහන්වල තිබුණා. එදා අපිට නිසි තැන ලැබුණා. ඉන්පසු විවිධ ගායක ගායිකාවන්ගේ ඉල්ලීම මත මේ දක්‌වාම මා ගීත හාරසීයක්‌ විතර ලියා තිබෙනවා.

ජීවිතය කවියක්‌
ආදරය එහි සොඳුරුතම වදනක්‌
කඳුලැලි බිඳක්‌ හසරැලි පොදක්‌
එකට එක්‌වූ විට දැනේ
පෙර නොවිදි රසයක්‌...

ගජමන් නෝනාගේ ඇතුළු හදට එබී බලා බණ්‌ඩාර ඇහැළියගොඩ ලියූ ගීත ගජමන් නෝනා ටෙලි නාට්‍යයට තේමා ගීය ලෙස ගැයුවේ විශාරද නන්දා මාලිනීය. රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ සම්මානනීය ගීයක්‌. "බණ්‌ඩාර ස්‌වයං ජාත" ටෙලි නාට්‍යයට ලියූ "පාරමි දම්", වන්වේ ටෙලිනාට්‍යයට ලියූ ඉගිලයයි" ගීය ද ඒ ඒ වර්ෂවලදී ශ්‍රව්‍ය රූපවාහිනි සහ රයිගම් ටෙලි සම්මානයන්ට පාත්‍ර විය.

නැලවිලි ගීයක්‌ කියන්න - අම්මේ මට කියාදෙන්න
පුංචිම නංගිට උපන්න - මද්දුම දොaනිට ගයන්න
පාර හොයා ගන්න බැරුව - පිට පාරෙන්ම ගිය
මල් සරාට අඬගහන්න - මට බෑ අම්මේ
වැලේ තියන ගෙඩි වැලටම බර නැත්තත් තව මොනවාද
මට තනිකම දරාගන්න පුළුවනි අම්මේ....

විවාහයක්‌ කරගත නොහැකිව ගෙදරටම වියපත් වන තරුණියකගේ හද ගැහෙන රාවය... ගයන්නී ශසිකා නිසංසලා. සංගීතය දර්ශන වික්‍රමතුංග. එයද බණ්‌ඩාර ඇහැළියගොඩ ලියූ අලුත් ගීයක්‌.

අද බොහෝ සේ ජනප්‍රිය වී ඇති... හැම විවාහ මංගල උළෙලකදීම අසන්නට ලැබෙන ගීයක පද රචකයා වන්නේද බණ්‌ඩාර ඇහැළියගොඩමය. ගීය ගයන්නේ සුනිල් එදිරිසිංහය. ඒ දීග යන දියණියක ගැන පියෙකුගේ හැඟීමක්‌.

දුවේ නුඹ මගේ ප්‍රාණයයි
සැබෑ වුණ සුභ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි...

1983 තමයි මගේ ජීවිතයේ බොහෝ වෙනස්‌කම් සිද්ධ වුණේ. මගේ ගීයක්‌ ගුවනින් ජනප්‍රිය වුණා. සම්මාන ලැබුණා. මගේ විවාහය සිද්ධ වුණෙත් 1983 දී. ඇය තිලකා මහානාම. විවාහ වෙද්දී මම ජනප්‍රිය නෑ. මගේ දියණියන් දෙදෙනා අමාලි සහ භාග්‍ය විවාහ වෙලා. මුණුබුරු මිණිපිරියන් පස්‌දෙනකුගේ සීයා කෙනෙක්‌. මගේ පුතා අකලංක තවම අවිවාහකයි. කොමර්ෂල් බැංකුවේ සේවය කරනවා.

මගේ අමල් බිසෝ (සුනිල් එදිරිසිංහ), අන්න බලන් බෙර හඬින් උදම් වී (විශාරද එඩ්වඩ් ජයකොඩි), නංගියේ මොකද ගොම්මනේ සහ අන්න බලන් ඉඳිකඩ ළඟ (දීපිකා ප්‍රියදර්ශනි පීරිස්‌), සඳ තනියම (නිරෝෂා විරාජිනි), බාල ළමා වරුනේ (ලක්‍ෂ්මන් විඡේසේකර) ඔහු අතින් ලියෑවුණු ජනප්‍රිය ගීත කිහිපයකි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මා අවුරුදු විස්‌සක්‌ සේවය කළා. ඒ නිසාම මේ ප්‍රසංගය සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රාහකත්වය දරනවා. ප්‍රසංගයේ විශේෂත්වය තමයි නොමිලේ පැවැත්වීම. ඕනෑම රසිකයකුට ඇවිත් නරඹන්න පුළුවන්. මේක සමාජ සත්කාරයක්‌. ගීතය ඇතුළු සියලු කලාවන් වල් බිහි වී ඇති, විවිධ විසූක දස්‌සනවලින් දැස්‌ නිලංකාර වී ඇති කලෙක සුභාවිත ගීත රැසක්‌ වින්දනය කරන්න රසිකයාට අවස්‌ථාව ලැබෙනවා. මේක සමාජ සත්කාරයක්‌ නිසා තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රාහකත්වයට එකතු වුණේ. ඒ සමඟම සරසවි පොත් හල, සෙරනිට්‌ එන්ටර්ටේට්‌මන්ට්‌ ඇතුළු පුද්ගලික හිතවතුන් කිහිප දෙනෙක්‌ අනුග්‍රාහකත්වය දරනවා. ස්‌වාධීන රූපවාහිනිය මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙනවා.

බණ්‌ඩාර ඇහැළියගොඩ පසුගිය වසර කිහිපය පුරා අප දුටුවේ සහෘද කලාකරුවන් වෙනුවෙන් උපහාර උළෙල සංවිධානය කරන්නට වෙහෙස නොබලා කටයුතු කරන්නෙක්‌ ලෙසය.

එවන් සත් පුරුෂයකු වෙනුවෙන් ප්‍රමාද වී හෝ මෙවන් ප්‍රණාම උළෙලක්‌ පැවැත්වීම අගය කළ යුත්තකි.

මට බැහැනේ මගේ ප්‍රණාම උළෙලක්‌ කරන්න. මම එහෙම දෙයක්‌ අපේක්‌ෂා කළෙත් නෑ. මම අනෙක්‌ අයගේ උත්සව සංවිධානය කරන්නේ බොහෝම කැමැත්තෙන්. මෙහෙම හිඳිද්දී තමයි එච්. ඩී. ප්‍රේමසිරි, බන්දුල ඒකනායක, කුලරත්න ආරියවංශ, තිලක්‌ හේවාකපුගේ වගේ පිරිසක්‌ ශාලාවක්‌ වෙන් කරගෙන ඉන් පස්‌සේ ඇවිත් මට කිව්වේ මේ උළෙල ගැන. මට සතුටක්‌ දැනුණා. අමිල ජයසේකර මගේ බෑණා, ශර්වින් සේනාධීර වැනි අයත් මේකට සම්බන්ධ වෙනවා. අද අපි මේ ගත කරන කාල වකවානුවේ අලුත් ගීත උත්පාදනය වෙන්නේ නෑ. ප්‍රවීණ අය බොහෝම මන්දොaත්සාහියි...ඔවුන් අකර්මණ්‍යයි. ඒකට සාධාරණ හේතු තියනවා. නාලිකා කොතරම් තිබුණත් වැඩි දෙනෙක්‌ අලුත් ගීත ප්‍රචාරය කරන්නේ නෑ. සංයුක්‌ත තැටි නිපදවන ආයතන වැහිලා. ඒ නිසා සංයුක්‌ත තැටියක්‌ කිරීම නිරපරාදේ මුදල් වැය කිරීමක්‌. නාලිකාවල ඒ ගී ප්‍රචාරය කරගන්න නම් සල්ලි වියදම් කරන්න ඕනෑ. ඒත් එහෙම කියලා ඉන්නත් බෑ. අපි යමක්‌කළ යුතු නිසා තමයි මගේ අලුත් ගී එකතුව "පාරමී දම් පුරා" එළි දක්‌වන්නේ. කිසිම මූල්‍ය ප්‍රතිලාභයක්‌ අපේක්‌ෂා නොකර තිලක්‌ හේවාකපුගේ, වෝල්ටර් අබේසුන්දර සහ කරුණාසේන පීරිස්‌ වැනි අය මේ සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙනවා. මා පිළිබඳ ලියෑවුණ ලිපි විසිපහක්‌ පමණ මගේ කලා දිවියේ තොරතුරු හා ඡායාරූප එකතුවක්‌ කුල ශ්‍රීකාරියවසම් සංස්‌කරණය කරන බණ්‌ඩාර ඇහැළියගොඩ සෞන්දර්ය චරිතාවලෝකනය ග්‍රන්ථයට ඇතුළත් වෙනවා. සරසවි ප්‍රකාශන ආයතනය සමඟ මෙල්බර්න් හි ගාමිණි කරව්දෙනිය හිතවතා මේ ග්‍රන්ථය සඳහා දායකත්වය ලබා දෙනවා.

මේ "ජීවිතය කවියක්‌" උළෙලේදී ගායක ගායිකාවන් විසි දෙනකු පමණ මා ලියූ ගී ගායනා කරනවා. සංගීතය මෙහෙයවන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ. රංග වින්‍යාසය චන්න විඡේවර්ධන. නර්තනය චන්න උපුලි රංගායතනය. ජැක්‌සන් ඇන්තනී ප්‍රසංගය ඉදිරිපත් කරනවා. ගිරිරාඡ් කෞෂල්‍ය, ප්‍රියන්න සෙනෙවිරත්න සහ දර්ශන ප්‍රියරත්න රංගනයන් කිහිපයක්‌ කරනවා.

බණ්‌ඩාර ඇහැළියගොඩ එළිදක්‌වන නැවුම් ගීත එකතුවේ අපූර්ව ගී පදමාලාවක්‌ සමන් ලෙනින් සහ රොඩ්නි වර්ණකුල දෙපළ ගයති. ඒ මිනිසෙකු සිය සෙවනැල්ල සමඟ කරන සංවාදයකි. ප්‍රසංගයේදී ගිරිරාඡ් සහ ප්‍රියන්ත ගීයට රංගනයක්‌ සිදු කරනවා.

පළමුව මිනිසාය. දෙවනුව සෙවනැල්ලය. සමන් ලෙනින් පළමු කොටස ගයයි

ඉපදුණු දා පටන් තනියට ආ මළයා
බඩ බැඳගත් සේම සෙනෙහස පෑ මළයා
තුන්කුදු ගැහි ඇති අද මගේ හේමලයා
තුන් හිතකවත් අහිතක්‌ නම් නෑ මළයා...
සෙවනැල්ල මෙසේ උත්තර දේ.

අපි, දෙන්නාම ඉපදුනේ එක දවසේය
මොනවා කළත් ඉන්නේ සම වයසේය
පස්‌සෙන් ඇවිල්ලම මට දැන් ඇති සේය
තුන් කුදු වී ඇත්තේ මම නොව තමුසේය

ගී පද රචකයකු පමණක්‌ නොවේ බණ්‌ඩාර ඇහැළියගොඩ කලක්‌ සුදු නෙළුම් ව්‍යාපාරය සමඟ සම්බන්ධ වී සිටියේය. පසුව ජාතික රූපවාහිනියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විය. තුරුණු ශක්‌ති ආරම්භ කිරීමේ පුරෝගාමි මෙහෙවරක යෙදුණු ඔහු අලුත් ටෙලිනාට්‍ය කිහිපයක්‌ ද ජාතික නාලිකාවට කළේය. ජනකලා කේන්ද්‍රයේ අධ්‍යක්‌ෂ ධුරය හෙබවූ ඔහු ඉන්පසු රජයේ පත්වීම්වලට සමුදුන්නේය.

දැන් ඉතින් ජීවිතේ බර බොහෝදුරට සැහැල්ලු වෙලා. ගතවූ කාලය ගැන තෘප්තියක්‌ මිස අතෘප්තියක්‌ නෑ. අපිට ඉතින් ඉන්න තියෙන කාලය අඩුයි. ඒ කාලය තුළත් නිර්මාණ කටයුතු කරමින් රටට සමාජයට විය යුතු දේ සිදුකරන්නයි බලාපොරොත්තුව

වෛර ගිනි ඉවතලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවාලය උණුසුමට
එකමුතුව ජය පතා අනාගත පරපුරට
අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට


අජිත් අලහකෝන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.