ෂාරුක්‌ එක්‌ක වැඩ කරලා අනුෂ්කාට හොද අත්දැකීමක්‌ තියෙනවාලු...

පසුගිය අගෝස්‌තු 04 වැනිදා සිට ඉන්දියාවේ මෙන්ම ලෝකයේ රටවල් කිහිපයකම එකම දවසේ තිරගත වීම ආරම්භ වූ "ජබ් හැරී මෙට්‌ සේජල්" චිත්‍රපටය නිසා නැවතත් ෂාරුක්‌ ඛාන්ට සහ අනුශ්කා ශර්මාට අවධානය යොමුවීමට පටන් අරගෙන.

ඉම්තියාස්‌ අලි විසින් අධ්‍යක්‌ෂණය කළ "ජබ් හැරී මෙට්‌ සේජල්" නිෂ්පාදනය කර ඇත්තේ ෂාරුක්‌ - ගෞරී චිත්‍රපට නිෂ්පාදන ආයතනය වන රෙඩ් චිලි එන්ටර්ටේ්‍රට්‌මන්ට්‌ මඟින්. මේ "ජබ් හැරී මෙට්‌ සේජල්" චිත්‍රපටයේ දඟකාර බංගලී තරුණියකගේ චරිතය නිරූපණය කරන සේජල් හෙවත් අනුශ්කා ශර්මා සමඟ "ටයිම්ස්‌ ඔෆ් ඉන්ඩියා" පුවත් පත පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක සිංහල උපුටා ගැනීමකි.

දශකයකටත් අඩු කාලයකදී ඔබ ෂාරුක්‌ ඛාන් සමඟ එක්‌ව රංගනය ඉදිරිපත් කරන තෙවැනි අවස්‌ථාව මෙයයි. සති කිහිපයකට ඉහතදී ඔබ ෂාරුක්‌ සමඟ තවත් අලුත් චිත්‍රපටයක වැඩ කරන්නටත් පටන් ගත්තා. ඔබ එකම නළුවකු සමඟ අවම වශයෙන් කොපමණ චිත්‍රපට ප්‍රමාණයක්‌ එකට රඟපෑමට බලාපොරොත්තු වෙනවාද?

ෂාරුක්‌ ඛාන් සමඟ වැඩ කිරීම හරිම පුදුම අත්දැකීමක්‌. ඔහු බොහොම කරුණාවන්ත කෙනෙක්‌. මගේ පළමු චිත්‍රපටයේ මා ඔහු සමඟ වැඩ කරද්දී ඉතා උණුසුම් පිළිගැනීමක්‌ මට ඔහු ලබා දුන්නේ දිගු කාලයක සිට මාව හඳුනනවා වගේ. හොඳ කෙනකු සමඟ වැඩ කිරීමේ අගය ඔබ තේරුම් ගත්තාද?

දර්ශන තලයේදී ෂාරුක්‌ ඛාන් විසින් නිර්මාණය කරන පරිසරය මගේ හොඳම රංගනය ලබාදීමට සඳහා නිරන්තරයෙන් උදව් වෙනවා. අලුත් අය සමඟ වැඩ කිරීමේ අවස්‌ථාවන් මට ලැබී තිබුණා. මම ඒ සෑම අවස්‌ථාවකදීම ඔවුන් සමඟ ඉතා සුහදව වැඩ කළා. මොකද මට මතකයි මා වැනි ආධුනික නිළියකට එදා ඔහු කොයි තරම් හොඳින් සැළකුවද කියලා. ෂාරුක්‌ ඛාන් සමඟ වැඩ කරමින් ලබන අත්දැකීම සෑම අවස්‌ථාවකදීම ඉතාම හොඳ තත්ත්වයකයි තිබෙන්නේ. මට ඔහු සමඟ ඉතාම පහසුවෙන් වැඩ කළ හැකියි.

ගෙවුණු වසර කිහිපය තුළ ඔබ සහ ෂාරුක්‌ යන දෙදෙනා අතර පවතින බැඳීමත් වැඩි දියුණුවී ඇතැයි ඔබ සිතනවාද?

චිත්‍රපටයක්‌ තුළ එකිනෙකා අතර ගොඩනැඟෙන බැඳීම රඳා පවතින්නේ චිත්‍රපට පිටපත මතයි. තිරයෙන් පිටුපසදී අපි එකිනෙකා අතර මොනතරම් හොඳ සම්බන්ධයක්‌ පැවතුනත් චිත්‍රපට දර්ශන තලයේදී ඒ සඳහා බලපාන්නේ චිත්‍රපට පිටපතේ ප්‍රබලත්වයයි.

"ජබ් හැරී මෙට්‌ සේජල්" චිත්‍රපටය තුළ අපි නිරූපණය කරන්නේ හැරී සහ සේජල් ගේ චරිතයි. චිත්‍රපට පිටපත අනුව අපි අපේ චරිතවලට හොඳ සාධාරණයක්‌ ඉෂ්ට කර තිබෙනවා. ෂාරුක්‌ ඔහුගේ චරිතය විශිෂ්ට ලෙස ගොඩනඟා තිබෙනවා. මේ නිසා මගේ මුල්ම චිත්‍රපටය "රබ්නේ බනාහි ජොගී" විදිහටම මේ චිත්‍රපටයෙත් සේජාල්ගේ චරිතය ගොඩ නැඟීමට මට හැකි වුණා.

දිගින් දිගටම ඔබ නිර්මාණවලට සම්බන්ධවීමෙන් කාර්යබහුල වීම නිසා එය ඔබේ පෞද්ගලික ජීවිතයට අනිසි විදිහට බලපානවාද?

රැකියාවට වඩා එහා දෙයක්‌ මට නැහැ. මට මිතුරන් සමඟ සැබවින්ම කාලය ගත කිරීමක්‌ අවශ්‍ය නැහැ. මම දන්නේ නැහැ එයින් දුකක්‌ හෝ සතුටක්‌ ලැබෙනවද කියලා. නමුත් වැඩ කිරීම සඳහා මට කාලය තිබෙනවා. මගේ ජීවිතය තුළ මගේ රැකියාව සඳහා ලොකු තැනක්‌ මා ලබාදී තිබෙනවා. ඒ නිසා ඇතැම් අවස්‌ථාවලදී මට ආදරය කරන බොහෝ අයගේ ආදරණීය දේවල් මට මඟ හැරෙන අවස්‌ථාවන් තිබෙනවා. මම කැමැතියි මගේ කාලයෙන් යම් කොටසක්‌ චිත්‍රපට නැරඹීම සඳහාත් යොදවන්න. මේ ජීවිතය පිළිබඳ කිසිදු පැමිණිල්ලක්‌ මට නැහැ.

ඔබේ වෘත්තීය ජීවිතය දිහා හැරී බැලීමේදී සිනමා කර්මාන්තය තුළ ඔබේ ස්‌ථානය සුරක්‌ෂිතද?

නියත වශයෙන්ම සිනමා කර්මාන්තය තුළ මට කිසිදු පීඩනයක්‌ නැහැ. නමුත් සෑම කෙනකුටම සිනමා කර්මාන්තය තුළ තමන්ගේ ස්‌ථාවරත්වය පිළිබඳව යම් හැඟීමක්‌ තිබෙනවා. එය මටත් එසේමයි. ඉතාම තරුණ අවදියේදී බොලිවුඩ් සිනමා කර්මාන්තයෙහි වැඩ කිරීමට මා යොමු වූ නිසා මම චිත්‍රපට නිර්මාණය කරන දර්ශන තලයේ බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ සියල්ල මට නිළියක්‌ වශයෙන් ස්‌ථාවරවීමට උදව් වුණා. මට මා පිළිබඳව හෝ මගේ වෘත්තීය ජීවිතය පිළිබඳව කිසිදු බියක්‌ නැහැ. මගේ අනාගතය පිළිබඳවත් එසේමයි.

හරින්දී ලියනගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.