සරණක්‌ අවැසි කලාකරුවන් සොයා යන තරු දිරි සරණ

අප එකමුතුව තුළින් බලාපොරොත්තු වන්නේ කලා ක්‍ෂේත්‍රය තුළ විවිධ දක්‌ෂතා, කුසලතා දක්‌වමින් නියෑළී සිට අද විවිධ අසරණ තත්ත්වයන්ට පත්ව සිටින ආදරණීය කලාකරුවන්ට යම් සරණක්‌ වීමයි. දශක කීපයක්‌ හෝ ජීවිතයේ හරි අඩක්‌, ආදරණීය ප්‍රේක්‌ෂකයන් සොම්නසට පත් කරමින් හෝ තමන්ගේ ප්‍රතිභාපූර්ණ රංගනයත්, නර්තනයත්, තුළින් විවිධ සමාජ ගැටලුවලට පිළිතුරු සොයමින් ප්‍රබුද්ධ ජන මනසකට දොර විවර කළ බොහෝ කලාකරුවන් අද විවිධ අසරණ තත්ත්වයන්ට පත්ව ඇත.

මේ වග ඔබත්, මමත් හොඳින් දන්නා කරුණකි. චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක හෝ වේදිකා නාට්‍යයක, වේදිකාවක අප හොඳින් දන්නා හඳුනන ඇය හෝ ඔහු පිළිබඳ සියල්ලෝම සිතා සිටින්නේ සියලු දුෂ්කරතා මැඩලූ කෙනෙකු ලෙසය.එය එසේ නොවේ. අගහිඟකම්, කායචිත්ත පීඩාවන්, අඩුපාඩුකම්, රෝගාබාධයන් නිසා බොහෝ වයෝවෘද්ධ කලාකරුවන් සේම තරුණ කලාකරුවන්ද, ජීවිතයේ කටුක අත්දැකීම් විඳින අවස්‌ථා ඔබ දැක ඇතුවාට සැක නැත. ප්‍රසිද්ධ ගීතයක සටහන්ව ඇති අයුරින් "කලාවැව ළඟ ඉලුක්‌ හෙවනක තනිකඩව රිදුම් පිරිමදිනා" විශ්මිත කලාකරුවා සේම අද කලාකරුවන්ද හුදෙකලා බව, තනිකම, විවිධ දුෂ්කරතා මැද තනිවන අවස්‌ථා බොහෝය. යම් දිනක ගයන්නට හෝ රඟන්නට නොහැකිවූ විට වැහැරුණු සිතින් වැහැරුණු ගතින් හුදෙකලාව, වේදනා විඳින කලාකරුවන් සොයා යන්නට ඔබත් අප හා එක්‌වන්න.

අපගේ මතය නම් කලාකරුවන්ට සැඳෑ සුව විඳීමට යම් මධ්‍යස්‌ථානයක්‌ බිහිවිය යුතුය කියාය. එසේත් නොමැති නම් ඔවුන්ට බෙහෙතක්‌ හේතක්‌ ගන්නට යම් ක්‍රමයක්‌ නිර්මාණය කළ යුතුය කියාය. මෙම උත්සාහය කලාකරුවන් දේශපාලනයට ඈඳා ගන්නට නොව පිකටින්වලට රැගෙන යන්නට නොව හැබෑවටම ඔවුන්ට ඇති ප්‍රශ්න සොයා පිහිටක්‌ වන්නටය. ඔබට ඒ වෙනුවෙන් ලබාදිය හැකි සියලු ශක්‌තිය ලබා දෙන ලෙසද, නිරහංකාරව අව්‍යාජව මෙම ගමනට අප හා එක්‌ වන ලෙසද ඔබට ආරාධනා.

පසුගිය වසර පුරාවට ම අප කලාකරුවන් සහ විවිධ අසරණ, අපහසුතාවන්ට ලක්‌වූ පුද්ගලයන් වෙනුවෙන් ඇස්‌ කණ්‌ණාඩි බෙදාදීම්, වෛද්‍ය සායන, දන්සල්, වියළි සලාක බෙදාදීම්, දිළිඳු පළාත්වල දරුවන් වෙනුවෙන් පොත්පත් බෙදාදීම්, වෙහෙර විහාර වෙනුවෙන් විවිධ පරිත්‍යාග කිරීම් සිදු කළ අතර, කලාකරුවන් 20 දෙනෙකු වෙනුවෙන් රු. 7,000/- බැගින් වන පරිදි අවශ්‍ය කරන ද්‍රව්‍ය රැගෙන ඔවුන්ගේ නිවෙස්‌ වලටම ගොස්‌ අසරණ තත්ත්වයන්ට පත්වූ ඔවුන්ට පිළිසරණ වුණෙමි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.