චාලකගේ වේදිකා නාට්‍ය BOX කෘතියට ගෙන එයි

මෑත කාලයේ කලා ක්‌ෂේත්‍රයේ කා අතරත් කතා බහට ලක්‌වුණු දක්‌ෂ නාට්‍යකරුවකු තමයි චාලක රණසුරිය කියන්නේ. ඔහුගේ ඊධඞ නාට්‍ය, මුද්‍රිත පොතක්‌ විදිහට මේ මස 20 වැනිදා බස්‌නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී එළිදැක්‌වීමට සූදානම් වනවා. මේ කතාබහ ඒ වෙනුවෙන්මයි.

චාලක ඇයි ඔබ වේදිකා නාට්‍ය පිටපත්, පොතක්‌ විදිහට කරන්න හිතුවේ...

බොක්‌ස්‌ නාට්‍ය මගේ අතින් ලියෑවුණේ මීට අවරුදු හතකට කලින්. ඒ කියන්නේ 2010 වසරේදී. ඩයිනොස්‌ර් ප්‍රේමය ලියෑවුණෙත් ඒ කාලයේදීමයි. මේ පොතට ඇතුළත් අනිත් නාට්‍ය වන, හෙලෝ මගේ අතින් ලියෑවුණේ 2011 දී. බර්මියුඩා නාට්‍ය ලියෑවෙන්නේ 2014. කොච්චර පරණ වුණත් මේ නාට්‍ය වල සර්වකාලීන ගුණයක්‌ තියනවා කියලා මට දැනෙනවා. ඒත් නාට්‍ය නිෂ්පාදන විදිහට මේවා ප්‍රේක්‍ෂකයෝ අතරට ගෙනියන්න තියන හැකියාව අපට අඩුයි. මොකද නාට්‍යයක්‌ රචනා කරලා අධ්‍යක්‍ෂණය කරන එක නිර්මාණ කරුවකුගේ කාර්ය වුණත් නාට්‍ය ප්‍රේක්‍ෂකයන් වෙත ගෙනයැමේ කාර්ය පැවරෙන්නේ වෙනත් පාර්ශවවලට. ඒ ක්‍රියාදාමය අපේ රටේ හරියට සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා මේවා සංරක්‍ෂණය වෙන්නේ නෑ. ඒකයි කරපු කෙටි නාට්‍යවලින් හොඳයි කියලා හිතුන පිටපත් පහක්‌ තෝරාගෙන පොතක්‌ කරන්න හිතුවේ.

ඒ කියන්නේ දැන් වේදිකාවට සමුදීලා පොත් ලියන්නද හදන්නේ ?

ඇත්තටම මම දක්‍ෂ අධ්‍යක්‍ෂවරයෙක්‌ නෙවෙයි. මම රචකයෙක්‌. මම නාට්‍ය කරන්න කලින්මයි පොත් ලියන්න පටන්ගත්තේ. මුලින්ම ලිව්වේ කවි. පළමුවැනි කවිපොත අසෙනිය කුසුමක්‌. 2002 දී ඒ පොත කළේ. ඊට පස්‌සේ කන කොක්‌සුද. 2006 දී තමයි ඒ පොත කළේ. එත් ඒ කාලේ කවිය අද තරම්වත් පාඨකයෝ අතරට ගියේ නෑ. ඒකාලේ සමාජ වෙබ් අඩවි තිබුණෙත් නෑ. පස්‌සේ වෘත්තියක්‌ විදිහට ටෙලිනාට්‍ය රචනා කළා.

වේදිකා නාට්‍යවලින් සාර්ථක වෙන්න බැරි හින්දා පොත් ලියන්නේ?

නෑ..... මේ දේවල් පිටුපස තියන්නේ සාර්ථකත්වයේ හිනිපෙත්තට යැමේ සිහිනයක්‌ නෙවෙයි. පොත් ලියන්නේ, නාට්‍ය කරන්නේ, කවි ලියන්නේ, මුලින්ම, ඒ අනුබුතින් මට දැනෙන නිසා. පසුවයි ඒවා අනිත් අයත් එක්‌ක බෙදාගන්න ඕන කියලා හිතෙන්නේ. ඒකට සුදුසු මාධ්‍ය තීරණය වෙන්නෙත් පස්‌සේ. අන්න ඒ වගේ බෙදාගන්නම ඕන කියලා හිතුන අනුභූතියක්‌ තමයි බොක්‌ස්‌ කියන්නේ. තවත් විදිහකට, සාර්ථකත්වය ආර්ථික සාර්ථකත්වය කියලා හිතුවොත්, හොඳම දේ මේ හැම දේම අතෑරලා මෙගා ටෙලිනාට්‍යක්‌ ලියන එක. ඒක වේදිකා නාට්‍ය කරනවාට වඩා ආර්ථික අතින් ගොඩක්‌ සාර්ථක වෙන්න පුළුවන් පාරක්‌.

කරපු අලුත් නාට්‍ය මොනවද ?

බොක්‌ස්‌ කළාට පසේ, ඩයිනොස්‌ර් ප්‍රේමය ලිව්වා, හෙලෝ, බර්මියුඩා නාට්‍යත් අවසාන වශයෙන් මාරක ළිඳේ සවාරියක්‌ කියන දිගු නාට්‍යත් නිර්මාණය කළා. එහෙම බැලුවොත් මාරක ළිෙද් සවාරියක්‌ තමයි කරපු අලුත් නාට්‍ය.

අවසාන වශයෙන් අගෝස්‌තු මාසේ විසි වැනිදා වෙන්නේ මොකද්ද කියලා තවත් පැහැදිලි කරොත්

ඔව් .. අගෝස්‌තු මාසේ විසි වැනිදා බොක්‌ස්‌ සහ තවත් කෙටි කතා පොත ජනගත වෙනවා. එදාට බොක්‌ස්‌ සහ හෙලෝ නාට්‍ය දෙක නොමිලේ නරඹන්නත් අවස්‌ථාව ලැබෙනවා. ඒ වගේම එදාම සමිත බී. අටුවබන්දෑලගේ හතර වැනි ජයසිංහ කියන කෙටිකතා පොතත් ජනගත වෙනවා.

යුගන්ති යශෝදරා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.