බ්‍රහ්ම පාදය පීඩාවීමෙන් ඇද වැටුණු ව්‍යාපාරය

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ව්‍යාපාරික ගොඩනැගිල්ල කුළී පදනම මත ලබාගෙන දැනට වසරක්‌ පමණ ගත වී ඇත. නමුත් එහි පැමිණි දා සිට ව්‍යාපාරයේ කිසිම දියුණුවක්‌ ඔවුන් නොදැක්‌ක බවත් , දිනෙන් දින ව්‍යපාරය දැවැන්ත ලෙස පාඩු ලබන බවත් එහි හිමිකරු මා සමග පැවසීය. විදේශයකින් එක්‌තරා උපකරණ වල කොටස්‌ ගෙන්වා මෙහිදී ඒවා සවිකර ශ්‍රී ලංකාව පුරා අලෙවිය මෙහිදී සිදුවේ. නමුත් ඔවුන්ගේ ගැනුම් කරුවන් මොවුන් සමග කතා කර සියලු ගනුදෙනු කිරීමට එකඟ වී පසු දින ඔවුන් නොපැමිණෙන බවත්, ඔවුන් හා දුරකථනයෙන් සම්බන්ධවීමට උත්සහ කළ විට ඔවුන්ගෙන් දුරකථනවලට කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබෙන බවත් මෙහි ප්‍රධානියා කීවේ ඉතාම කනගාටුවෙනි.

මීට පෙර මෙම ව්‍යාපාරික ස්‌ථානය බත්තරමුල්ල ප්‍රදේශයේ දෙදෙනකු විසින් ආරම්භ කර මේ වන විට සේවකයන් 23 ක්‌ දක්‌වා වර්ධනය වූ බවත්. ව්‍යාපාරය ආරම්භයේ තමන් සතුව කුඩා වාහනයක්‌ තිබූ බවත් වසර 4 ක්‌ තුළ ඉතා ඉහළ වටිනාකමින් යුත් වාහන 4 ක්‌ තමන්ට මිලට ගැනීමට හැකිවූ බවත් දැන් නැවතත් සේවකයන්ගේ වැටුප් ගෙවීමට සහ ව්‍යාපාරය පවත්වාගෙන යැමට ඉන් වාහන 2 ක්‌ ම නැවත විකිණීමට සිදුවූ බවත් කොටින්ම තව ටික කාලයක්‌ මෙලෙස පැවතුන හොත් මෙම ව්‍යාපාරය වසා දැමීමට සිදු වන බවත් ඔහුගේ අදහස විය.

ඔවුනට මේ ප්‍රශ්න සියල්ල මතුවන්නේ මෙම නව ගොඩනැඟිල්ලට පැමිණි පසුය. මොවුන් කුලී පදනම මත ලබාගෙන තිබූ ව්‍යාපාරික ගොඩනැගිල්ල සඳහා බිමි සැලැස්‌මක්‌ ඔවුන් සතුව නොතිබුණි. එනිසා මෙය නිවැරදිව මැනීමෙන් සහ ගණනය කිරීමෙන් එහි බ්‍රහ්ම පාදය සොයාගත් විට එය මෙහි සේවය කරන අයට නිතර නිතර පෑගෙන ස්‌ථානයක්‌ බවට පත්වී තිබුණි. කිසිදු ව්‍යාපාරික ගොඩනැගිල්ලක බ්‍රහ්ම පාදය පෑගීම කිසිසේත්ම සුදුසු නොවේ. ඉන් බ්‍රහ්ම පාදය දැඩි ලෙස පීඩාවට පත්වීම සිදුවේ. එපමණක්‌ ද නොව තවත් සමහර ව්‍යාපාරික ගොඩනැගිලි වල බ්‍රහ්මපාදයට මතට බර කණු වැටී තිබීම පෑගීමටත් වඩා බරපතළ දෝෂයකි. මින් ව්‍යාපාරයක ආදායම් තත්ත්වය පහළ බැසීම කිසිවකුටත් වළකාලිය නොහැකිය. ව්‍යාපාරික ගොඩනැගිල්ලක පමණක්‌ නොව නිවසක වුවද බ්‍රහ්මපාදය හානි වේ නම් එහි සිටින අයගේ ආර්ථික පරිහානිය සරල දෙයකි. එපමණක්‌ නොව හදවත් අමාරු ඇතිවීම, ස්‌නායු රෝග සහ සුව නොවී කාලයක්‌ තිස්‌සේ පවතින රෝග ඇතිවීමේ අවදානනම වැඩිය.

මෙලෙස පීඩා වන බ්‍රහ්ම පාදයේ දෝෂය ඉවත් කළ හැකි ආකාර දෙකකි. පළමු කාරණය නම් නිවැරදි ගණනය කිරීම් අනුව අත්තිවාරමේ දිග පළල වෙනස්‌ කිරීමෙන් බ්‍රහ්ම පාදයේ පිහිටීම දෝෂ නොමැති ස්‌ථානයකට ගෙන යැම. මෙලෙස සිදු කරන්නේ නම් නිවසේ අනෙකුත් අංගවලට හානියක්‌ නොවන අයුරින් එය සිදු කළ යුතුය. නමුත් කුළී පදනම මත සිටින අයකුට මෙය සිදු කිරීම තරමක්‌ අපහසු වන්නේ මෙම ගොඩනැගිල්ල වෙනත් අයෙකුට අයිති එකක්‌ වීමයි.

එසේ නොමැති නම් අනෙක්‌ ක්‍රමය වඩාත් පහසුය. එනම් පිරිමීඩ වාස්‌තු ක්‍රමය. මෙහිදී නිවසේ හෝ ව්‍යාපාරික ස්‌ථානයේ කිසිදු කොටසක්‌ කැඩීම හෝ අලුතෙන් කොටසක්‌ එකතු කිරීම නොකර බ්‍රහ්ම පාදයට ඉහළන් සිවිලිමේ හෝ ස්‌ලැබ් එකෙහි ස්‌ථානයේ වර්ගඵලයට ගැලපෙන පිරමීඩයක්‌ සවි කිරීමෙන් එහි දෝෂය ඉවත් කිරීමයි. එවිට දෝෂය සියයට සියක්‌ ඉවත් වන අතර නිවස කිසිදු කැඩීමකට ලක්‌ නොවේ. එපමණක්‌ ද නොවේ මෙහි ඇති තවත් වාසි නම් මෙම බ්‍රහ්මපාදය සක්‍රීය වී එම ස්‌ථානයේ වාසනාවද වැඩිවීම සිදුවේ. අනෙක්‌ වාසිය නම් මෙලෛස දෝෂ වෙනුවෙන් සවි කරන ලද ඕනෑම පිරමීඩයක්‌ අපට මින් ඉවත්ව යන දිනක ගලවාගෙන යැමට හැකි වීමයි. එහිදී ඔබ වෙනත් ස්‌ථානයකට යන්නේ නම් එම පිරමීඩ එම ස්‌ථානයේ සවි කිරීමෙන් එහි බ්‍රහ්ම පාදය සක්‍රීය වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.