රවී බිල්ලක්‌ විතරයි
අනිත් හොරු කෝ?

විජිත අසයි

*මේ වුණේ ඝාතනයක්‌ ගැන සොයද්දී
  ස්‌ත්‍රී දූෂණයක්‌ අහුවුණා වගේ වැඩක්‌



යහපාලන රජය බලයට පත්ව දෙවසරක කාලය තුළ ප්‍රබල ඇමැතිවරුන් දෙපළකටම සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වීමට සිදුවිය.

තිලක්‌ මාරපන මහතා සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමට වඩා රටේ වැඩි අවධානයක්‌ හිටපු මුදල් ඇමැතිවරයකු සහ විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළ රවි කරුණානායක මහතාගේ ඉල්ලා අස්‌වීම වෙත යොමුව තිබුණේ බැඳුම්කර ගනුදෙනුවේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණ මුදල් වංචා නිසාය.

ඒ මහතාගේ ඉල්ලා අස්‌වීම ඒ හා බැඳුණු දේශපාලනය, විසිවන ව්‍යවස්‌ථා සංශෝධනය සහ නව බදු පනත පිළිබඳ විමසා බැලීමට දිවයින ඉරිදා සංග්‍රහය ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාව දුරකථනය ඔස්‌සේ සම්බන්ධ කර ගත්තේය.

පහතින් පෙළ ගැසෙනුයේ ඒ මහතා සමඟ දිවයින ඉරිදා සංග්‍රහය කළ දුරකථන සාකච්ඡාවයි.


ප්‍රශ්නය - හිටපු මුදල් ඇමැතිවරයා වූ සහ ඉල්ලා අස්‌වන විට විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි රවි කරුණානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්‌වීමට කටයුතු කළා. මේ පිළිබඳව ජනතා විමුක්‌ති පෙරමුණ දකින්නේ කෙසේද?

පිළිතුර - ඉල්ලා අස්‌වීම හොඳයි. හැබැයි ඔහුq ඉල්ලා අස්‌වන්න ඕන මීට බොහෝ කාලයකට පෙරයි.

ප්‍රශ්නය - ඒ කුමන කාලයේදීද?

පිළිතුර - මහ බැංකු බැඳුම්කර පරීක්‍ෂණ කෙරෙන කොට ඔහු දන්නවා තමන් පදිංචි වී සිටින නිවස අර්ජුන් ඇලෝෂියස්‌ හරහා ලැබුණු නිවසක්‌ බව. රවි කරුණානායක මහතාට එදා තිබුණා හෘද සාක්‍ෂියට අනුව මුදල් ඇමැති කාලයේදීම අස්‌වන්න.

ප්‍රශ්නය - රවි කරුණානායක මහතා කියන්නේ එම නිවස මිලදී ගෙන ඇත්තේ තම බිරිඳ බව නොදන්නා බවයි. නොදන්න දේකට අස්‌වන්නේ කොහොමද?

පිළිතුර - හහ්...... හහ්.... (සිනාසෙමින්) ඔහු තොත්ත බබා..... කිසි දෙයක්‌ දන්නේ නැහැ කියනවා. ඔහු එසේ නොකිය වෙන මොනවා කියන්නද?

ප්‍රශ්නය - ප්‍රබල ඇමැතිවරු මෙලෙස ඉල්ලා අස්‌වන්නේ යහපාලනේ නිසා කියලයි ආණ්‌ඩුව කියන්නේ.

පිළිතුර - යහපාලනේ කියන්නේ හොරකම් කරලා ඒ සිද්ධිය හසු වූ විට ඉල්ලා අස්‌වීම නොවෙයි.

ප්‍රශ්නය - රවි කරුණානායක මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභාංගය මේ ඉල්ලා අස්‌වීමට හේතු වුණා නේද?

පිළිතුර - විශ්වාසභංගයෙන් ඔහුව අයින් කරන්න හදනකොටයි ඔහු ඉල්ලා අස්‌වුණේ. ඔහු බිත්තියටම හේත්තු වූ පසුවයි මේ තීරණය ගෙන ඇත්තේ.

ප්‍රශ්නය - රවි කරුණානායක මහතා ඉල්ලා අස්‌වීම කිනම් හෝ පාර්ශ්වයකගේ ජයග්‍රහණයක්‌ වෙනවා නම් ඒ ජයග්‍රහණයේ සැබෑ අයිතිකරුවා කවුරුන් කියලද හිතන්නේ.

පිළිතුර - මේ ජයග්‍රහණයේ අයිතිය හිමිවිය යුත්තේ රටේ ජනතාවට මිස ඒකාබද්ධ විපක්‍ෂයට හෝ රජයට හෝ වෙන කණ්‌ඩායමකට නොවෙයි. රටේ ජනතාවගේ බලපෑම නිසයි මේ ජයග්‍රහණය ලබා ගත හැකි වුණේ.

ප්‍රශ්නය - රවි කරුණානායක මහතාගේ ඉල්ලා අස්‌වීමෙන් පසු මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් කියා සිටියේ ඉල්ලා අස්‌වීමට ගත් තීන්දුව පිළිබඳ ඒ මහතා සතුටු වන බවයි.

පිළිතුර - ඔව් ඉතින් කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න කතාවක්‌ තිබුණනේ. කරමුලටම හිරවූ පසු වෙන මොනවා කියන්නද, ආඩම්බර වෙනවා යෑයි කීම ඇත්ත නෙමෙයි. හොරකම් කරල කොහොමද සතුටු වෙන්නේ. ඒක ලැඡ්ජානැති කම සහ විලි ලැඡ්ජාවක්‌ නැති කම. සල්ලි නැති කෙනෙක්‌නම් කමක්‌ නැහැ කියලා හරි කියන්න පුළුවන්. මෙයා එහෙමද, අර්ජුන් ඇලෝෂියස්‌ලගෙන් මේ වගේ අය කොහොමද සල්ලි ගන්නේ. මේක පොළොවපලාගෙන යන වැඩක්‌ මිස ආඩම්බරයට කාරණයක්‌ නෙවෙයි.

ප්‍රශ්නය - නමුත් රවි කරුණානායක මහතා කියන්නේ තමා දේශපාලනයෙන් මුදල් නොඉපයූ බව සහ ඔහුගේ ව්‍යාපාරවලට දේශපාලනය ඈඳා නොගත් බවයි.

පිළිතුර - ඒක මුළු රටම දැක්‌කා. ඔහු මුදල් ඇමැතිවරයාව සිටි කාලයේ මොනවද කර ඇත්තේ කියා රටම දැන් දන්නවා. ඒ කාලයේ වරායේ ගුදම් ගත්තේ කොහොමද කියලා රට දන්නවා.

ප්‍රශ්නය - මෙම ක්‍රියාදාමය යහපාලන රජය පෙරළා දමා වෙනත් රජයක්‌ පිsහිටුවන්න සිහින මවන පිරිස්‌ විසින් කරන කුමන්ත්‍රණයක්‌ බවයි රවි කරුණානායක මහතා පවසන්නේ.

පිළිතුර - හග්..... හා...... (සිනාසෙමින්) මේ සාක්‍ෂි එළියට ආවේ නැත්නම් මෙය තාමත් අභිරහසක්‌. කොමිසමේ කටයුතු මාධ්‍ය නිරාවරණය කළ නිසයි මේ පිළිබඳව එළි වුණේ. මෙය කාගේවත් කුමන්ත්‍රණයක්‌ නෙවෙයි. මෙය කරපු හොරකමක්‌ එළිවීමක්‌ පමණයි.

ප්‍රශ්නය - පැවැති රජය වෙනස්‌ කරද්දීත් ඉන් පසුවත් ගිය රජයේ සිටියේ යෑයි කියන මහා පරිමාණ හොරුන් ගැන ඔබ පක්‍ෂය දිගින් දිගටම හෙළි කළා. ඒ හොරුන්ට මොකද වුණේ. දැන් එකම හොරා රවි කරුණානායක විතරද?

පිළිතුර - ඒ හොරු තාම ඇල්ලුවේ නැහැ.

ප්‍රශ්නය - ඔය කියන හොරු නොඇල්ලීමේ වරද කාගේද?

පිළිතුර - මේ දෙගොල්ලන්ගෙම තමයි වරද. හොරු හිටියා ඔවුන් අල්ලනවා කියලා කයිවාරු ගැසීම පමණයි මේ අය සිදු කරන්නේ.

ප්‍රශ්නය - මේ ආණ්‌ඩුව ගොඩනැඟêමට ජවිපෙත් සහාය දුන්නා. රටේ ජනතාව වත්මන් ආණ්‌ඩුව බලයට ගෙන ආවේ ඉන්නවා යෑයි කිවූ හොරු අල්ලන්නයි.

පිළිතුර - හොරු අල්ලන්නේ කොහොමද, මේ අය කරන්නෙත් හොරකම් කරන එකනේ. ෆයිසර් මුස්‌තාපා ඇමැතිතුමා කියනවා හොරකම් නොකරපු ආණ්‌ඩු නොමැති බව. ඒ කියන්නේ ජනතාව ඡන්දේ දීලා තියෙන්නේ හොරකම් කරන ආණ්‌ඩුවලටයි. මේ දෙපාර්ශ්වයම හොරකම් කරනවා. කේතලේ මුට්‌ටියට කියනවා කළුයි කියලා. මුට්‌ටිය කේතලේට කියනවා කළුයි කියලා.

ප්‍රශ්නය - අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මෙය හොඳ ආදර්ශයක්‌ බවත් යහපාලනේ යනු මෙය බවයි. ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේ මහින්ද රාජපක්‍ෂ යුගයේදී මෙවැනි දෙයක්‌ සිදු වනවා තියා බලාපොරොත්තුවක්‌ වන්න බැහැ කියලයි.

පිළිතුර - ආදර්ශ පෙන්නුවා කියලා දැන් එක එක කතා කියනවා. මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ආණ්‌ඩුව ඇතුළතින් සහ පිටින් ප්‍රබල බලපෑමක්‌ එල්ල වුණා. ඒ නිසයි බැරිම තැන ඉල්ලා අස්‌වීම සිදු වුණේ.

ප්‍රශ්නය - බැඳුම්කර ගනුදෙනුව යන නිධානය වෙනුවෙන් බිල්ලට ගියේ රවි කරුණානායක මහතායි. නමුත් ඒ නිධානය කොහෙද. ඊට හවුල් වුණේ කවුද යන්න තවමත් රහසක්‌. මේ ඉල්ලා අස්‌වීමෙන් ඒ කරුණු කාරණා යට යයිද?

පිළිතුර - ඇත්තටම නිධානයක්‌ තමයි ගත්තේ. නිධානයට දුන්න නර බිල්ල තමයි රවි කරුණානායක. නමුත් නිධානය තවම හසු වී නැහැ. එය ගත්තේ කවුද කියලා තවම හෙළි දරව් වෙලා නැහැ. සිදුව තිබෙන්නේ ඝාතනයක්‌ ගැන පරීක්‍ෂණ කරද්දී ස්‌ත්‍රී දූෂණයක්‌ හසුවීම වගේ වැඩක්‌. මිනීමැරුමේ පරීක්‍ෂණය තවම තිබෙනවා. ඇත්ත වග උත්තරකරුවන්ට දඬුවම් දීමේ වගකීමෙන් මේ ආණ්‌ඩුවට අයින් වෙන්න බැහැ.

ප්‍රශ්නය - වගඋත්තරකරුවන් ඇල්ලීම පමණක්‌ ප්‍රමාණවත් ද රටට අහිමිවුණු ජනතා මුදල් අයකරගන්න කටයුතු කරන්නේ කෙසේද?

පිළිතුර - ඇත්තම ගත්තොත් ජනතාවට සිදු වූ මූල්‍ය පාඩුවට රජයෙන් තවම උත්තරයක්‌ නැහැ. මේකට කරන වාද විවාද වලිනුත් වියදම් වන්නේ ජනතාවගේ මුදල්. රටට අහිමි වූ මුදල් නැවත රටට දෙන්න ආණ්‌ඩු කරන දෙපාර්ශ්වයටම වැඩ පිළිවෙළක්‌ නැහැ.

ප්‍රශ්නය - එම මුදල් නැවත ජනතාව අතට පත් කරන්න ජ. වි. පෙ. සතුව යම් වැඩපිළිවෙළක්‌ තිබෙනවාද?

පිළිතුර - අපි බල කරන්නේ චූදිතයන්ට නීතියෙන් දඬුවම් දෙන්න. එසේ කර බැඳුම්කර වංචාවෙන් සිදු වූ පාඩුව නැවත ඔවුන්ගෙන් අයකරගෙන රටට ලබා දෙන ලෙසයි.

ප්‍රශ්නය - බලකිරීම්වලට ආණ්‌ඩු ප්‍රතිචාර දක්‌වන ආකාරය රට දන්නවා. එවැනි තත්ත්වයක්‌ තුළ බලකිරීම් පමණක්‌ ප්‍රමාණවද්ද?

පිළිතුර - ඇත්තටම ගත්තොත් පක්‍ෂයක්‌ විදිහට අපට කරන්න තියෙන්නේ බලකිරීම තමයි. ඊට එහා ගිය තීන්දුවක්‌ ගැනීමේ යුතුකම හා වගකීම ඇත්තේ ජනතාවටයි. ජනතාව අපට දී ඇති ජන බලය අනුවයි අපට බලපෑමක්‌ කළ හැකි වන්නේ. මීට වඩා බලයක්‌ අපිට තිබුණා නම් අපි දන්නවා මෙය අනිත් පැත්ත හරවන විදිහ. ජනතාව දැන්වත් මේ තුළින් පාඩම් ඉගෙන ගෙන හොරුන් බලයට පත්කිරීම වළක්‌වා හොරකම් නොකරන අය ආණ්‌ඩු බලයට ගෙන ආ යුතුයි.

ප්‍රශ්නය - ව්‍යංගාර්ථයෙන් කියන්නේ ජ. වි. පෙ. බලයට ගෙන එන්න කියලද?

පිළිතුර - පැහැදිලිවම පැහැදිලිවම. වංචාවෙන් දූෂණයෙන් තොර රජයක්‌ පිහිටුවන්න දැන්වත් ජ. වි. පෙ. ට බලය දෙන්න කියලයි අපි ජනතාවගෙන් ඉල්ලන්නේ.

ප්‍රශ්නය - බැඳුම්කර ගනුදෙනුව රවි කරුණානායක මහතා ඉල්ලා අස්‌වීම දක්‌වා දිග හැරෙන්නේ ආණ්‌ඩු කරන පාර්ශ්ව දෙක අතර ඇති ගැටුම් නිසා යෑයි පැවැසෙනවා.

පිළිතුර - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොමිෂන් පත්කිරීම දක්‌වා තල්ලු වුණේ කෝප් කමිටුව තුළින් මතු වු කරුණු සහ ඊට එල්ල වූ ජනතා ප්‍රතිචාර නිසයි. මෙය මඟ හරින්න ඔහුට බැරි වුණා. ඒ වගේම ඔය දෙපාර්ශ්වය අතර ඇති බල අරගලයත් මෙම තත්ත්වය පෝෂණය වීමට හේතුවක්‌ වුණා.

ප්‍රශ්නය - එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් දැන් කියන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරු කරන හොරකම් ගැන සොයන්නත් කොමිෂන් ඇති කරන්න කියලයි.

පිළිතුර - ඔව් අලුත් සටන් පාඨය එය වෙලා. ඔවුන් දැන් එහෙම කියන තැනට පත්වෙලා. ඒ නිසා තමයි ඌව මහ ඇමැතිවරයා කළැයි කියන වංචා සොයන්න කියන්නේ.

ප්‍රශ්නය - බැඳුම්කර වංචාවේ චෝදනා එල්ලවන්නේ එ. ජා. ප. ය තුළ සිටින රනිල් පාර්ශ්වයේ පිරිසටයි. මෙම තත්ත්වය තුළ ආණ්‌ඩුව තුළ යම් බල පෙරළියක්‌ සිදු විය හැකි බව ඉඟි පළ වී තිබෙනවා.

පිළිතුර - මේ දවස්‌වල ආණ්‌ඩුව ඇතුළෙ ගිනි ජාලාවක්‌. එක පැත්තකින් බැඳුම්කර ගෙවල් පටලැවිල්ල, අනිත් පැත්තෙ ඡන්ද කල් දැමීමේ පටලැවිල්ල. ඒ වගේම විශේෂ අධිකරණයක්‌ පිහිටුවේ නැහැ කියලා අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා සමඟ ඇති පටලැවිල්ල ඒ වගේම වරාය ගිවිසුම. දැන් ආණ්‌ඩුව ගිනි අරන්. කොයි වෙලාවේ මෙය පුපුරලා නාය යයිද කියන්න බැහැ.

ප්‍රශ්නය - ඔබ කියන ලෙස ආණ්‌ඩුව ගිනි අරන්. එතකොට දැන් තිබෙන දේශපාලන තත්ත්වය ඔබලා ආණ්‌ඩු මාරුකරන විට සඳහන් කළ හොරුන්ට සැඟවී ඉන්න කදිම තෝතැන්නක්‌ වෙලා නේද?

පිළිතුර - අලුත් හොරු එනකොට පරණ හොරු චූන් වෙලා තියෙනවා. ඒ අය හිතන්නේ අලුත් හොරු නිසා පරණ හොරකම් වසා ගන්න පුළුවන් වෙයි කියලා.

ප්‍රශ්නය - එහෙම කරන්න පුළුවන් වේවි නේද?

පිළිතුර - නැහැ. එයට ජවිපෙ කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. එහෙම කරන්න දෙන්න බැහැ. අපි වගේම ජනතාව ඒකට ඉඩ තියන්නේ නැහැ. අලුත් හොරුත් පරණ හොරුත් දෙගොල්ලන්වම අපි හෙළි කරනවා.

ප්‍රශ්නය - ආණ්‌ඩුව විසිවන ව්‍යවස්‌ථා සංශෝධනය ගෙනවිත් තිබෙනවා. ඒ ගැන ජ. වි. පෙ. අදහස කුමක්‌ද?

පිළිතුර - එය ඡන්ද කල්දාන්න කරපු වැඩක්‌. ඡන්ද කල්දාන එක ආණ්‌ඩුවේ ඇති අර්බුදයට ප්‍රතිඵලයක්‌. ශ්‍රී. ල. නි. ප. දෙකට කැඩිලා. ඡන්දයක්‌ පැවැත්වුවහොත් ඔවුන් දරුණු පරාජයකට ලක්‌ වෙනවා. එය වළක්‌වා ගන්නයි මේ හදන්නේ.

ප්‍රශ්නය - මේ සංශෝධන හරහා පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ එක දිනයක පවත්වන බවයි රජය කියන්නේ.

පිළිතුර - ඡන්දය එකවර පවත්වන එක හොඳයි නමුත් කල් දැමීම වැරදියි. ඒකට ජ. වි. පෙ. කිසිසේත් එකඟ නැහැ.

ප්‍රශ්නය - නව ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය අධිකරණය හමුවට යන බව සඳහන් කර අවසන්. ජ. වි. පෙ. ටත් එවැනි අදහසක්‌ තිබේද?

පිළිතුර - ඒ පිළිබඳව නීතිමය කරුණු අපි ඉදිරියේදී හොයලා බලනවා. තවම විසිවැනි සංශෝධනය විවාදයට ගත්තේ නැහැ. එය පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා කාලය වන විට ඒ ගැන සලකා බලනවා.

ප්‍රශ්නය - මන්ත්‍රීවරුන්ට නව චර්යාධර්ම පද්ධතියක්‌ හඳුන්වා දී තිබෙනවා. කාලයට ගැළපෙන කටයුත්තක්‌ නේද?

පිළිතුර - එය හොඳයි මුකුත්ම නැති තත්ත්වයක්‌ යටතේ එහෙම එකක්‌ ගෙනෙන එකත් හොඳයි. හැබැයි චර්යා ධර්ම පද්ධතියකින් පමණක්‌ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් වෙනස්‌ කරන්න බැහැ. වෙනස්‌ කළ යුත්තේ දේශපාලන සංස්‌කෘතියයි.

ප්‍රශ්නය - මේ සියලු කරුණු කාරණා අතර නව බදු පනතක්‌ ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටිනවා.

පිළිතුර - ඔව් අලුත් පනතක්‌ එනවා. ඒ තුළින් සාමාන්‍ය ජනතාවටත් බදු ගෙවන්න වෙනවා. රජය එක පැත්තකින් හොරකම් කරනවා. නාස්‌ති කරනවා. ඒ බර ජනතාව මත පටවන්න අලුත් පනතක්‌ ගේනවා. මේකෙන් වෙන්නේ ජනතාව කබලෙන් ළිපට වැටීමයි.


සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.