ආණ්‌ඩුවේ රැවුලත් බේරාගෙන කැඳත්
පානය කළ රවිගේ ඉල්ලා අස්‌වීමේ මෙහෙයුම

බුලිත ප්‍රදීප් කුමාර


මේදිනවල රටේ ප්‍රධාන දේශපාලන මාතෘකාව බැඳුම්කර ගනුදෙනුව වුවත් රවි කරුණානායක එම කොමිසමට සාක්‍ෂි සපයන්නට කැඳ වූ මොහොතේ පටන් මාතෘකාව වෙනස්‌ විය. අද වනවිට රටේම මාතෘකාව රවී ය. බැඳුම්කර ගනුදෙනුවලට රවිගෙන් ලැබුණ සහයෝගයට තුටු පහටු වූ අර්ජුන් ඇලෝසියස්‌ කොළඹ මොනෑක්‌ රෙසිඩන්ස්‌ නම් සුපිරි නිවාස සංකීර්ණයේ තිබෙන ද්විත්ව නිවාසයක්‌ රවිට ලබාදුන් බව ප්‍රධාන මාතෘකාව විය.

මේ සිදුවීම දුර දිග යැම නිසා පසුගිය සතියේ බලවත් අමාත්‍යවරයෙක්‌ ලෙස මෙතෙක්‌ දිනක්‌ ආණ්‌ඩුවේ කටයුතු කළ රවි කරුණානායකට රජයේ අමාත්‍ය තනතුරුවලින් ඉල්ලා අස්‌වීමටද සිදු විය. එම සිදුවීම මුල් කරගෙන හා කේන්ද්‍ර කරගෙන පසුගිය සතියේ රටේ සෑම දේශපාලන කටයුත්තක්‌ම සිදුවුණ බැවින් අපට මේ සතියේ දේශපාලන තොරතුරු ලෙස කතා කරන්නට වූයේ ද රවිගේ සිදුවීම් ජාලයයි...

පසුගිය බ්‍රහස්‌පතින්දා රාත්‍රියේ එක්‌තරා භෝජන සංග්‍රහයකදී ජනාධිපතිවරයා විසින් රවි කරුණානායකට අවවාද කරමින් වහාම ඉල්ලා අස්‌වෙන්නැයි දැනුම් දුන් බව අපට ආරංචි වුණේ ජනාධිපති කාර්යාලයීය විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකිනි. එහෙත් සිය ලැඡ්ජාව වළකන්නට දොa රවි කරුණානායක එවන් සිදුවීමක්‌ වූයේ නැති බව ප්‍රකාශ කර ඇත. ඔහු එසේ ප්‍රකාශ කළ බව එක්‌සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ විවිධ ආරංචි මාර්ග කියනවා විණා, ඔහු අපට එවන් විරෝධයක්‌ දක්‌වා තිබුණේද නැත. වත්මන් ජනාධිපති කාර්යාලයීය විශ්වාස දායක ආරංචි මාර්ගය සත්‍ය බව විශ්වාස කරමින් අප මෙවර මේ සටහන තබන්නට මුල පුරමු.

ඇමැති රවිගේ
අතීත ආවර්ජනය


ජනාධිපතිවරයාගේ එම නිවේදනයෙන් පසුව පසුගිය සති අන්තයේ අමාත්‍ය රවි කරුණානායක අගමැති රනිල් සමඟ මේ ප්‍රශ්නය ගැන දීර්ඝව කතා කළේය. පසුගිය ජනාධිපතිවරණයේදී අපේ පක්‍ෂයේ සමහරු ඩබල් ගේම් ගහපු බව ඔබතුමා දන්නවා. නමුත් ඒක දිනවන්න මම උපරිමයෙන් කැප වුණා. ඒත් මගේ අමාත්‍යාංශයට අදාළ ආයතන ගණනාවක්‌ම දින 100 වැඩසටහනෙන් පස්‌සේ ගලවලා දැම්මා. මට අරියාදු කළා. මින් මම සැලුනේ නැහැ. පක්‍ෂය වෙනුවෙන් රජය වෙනුවෙන් කැපවෙලා වැඩ කළා. මට හැමතැනම සතුරෝ හිටියා. ඔබතුමා දන්නවා මට පක්‍ෂය ඇතුළේත් හතුරෝ හිටියා. රවි දිගු දුක්‌ගැනවිල්ලක්‌ විස්‌තර කළේය.

යමෙක්‌ සොරකමක්‌ කරල අහු වුණොත් එයාව පක්‍ෂයේ හෝ රජයේ තියාගන්න අපට බැහැ. මොකද ජනතාව අපට බලය දුන්නේ හොරකමට, දූෂණයට විරුද්ධ වෙන්න....... රනිල් කීවේය.

මම හොරකම් කරල නෑ. දූෂණ කරල නැහැ. පෞද්ගලික ප්‍රශ්න මත කාන්තාවක්‌ කියන කටඋත්තරයකට මාව තක්‌සේරු කරන එක වැරදියි. රවි කීවේය.

ඔව් මම දන්නවා. රවී පක්‍ෂය වෙනුවෙන් කැපවුණා. තාමත් මට මතකයි. මම මේ ගැන ජනාධිපතිතුමා එක්‌ක සාකච්ඡා කරනවා. ජනාධිපතිතුමා ඔයාට අසාධාරණයක්‌ කරන්නේ නෑ. රනිල් පොරොන්දු වූයේය.

ඉන්පසුව අගමැති රනිල් ජනාධිපතිවරයා හමුවන්නට පසුගිය සතිය මුල ගියේ විශේෂ කාරණා කිහිපයක්‌ ගැන එකඟතාවකට පැමිණෙන්නටය. මේ කාරණා අතර තිබූ ප්‍රබල එක්‌ කාරණයක්‌ වූයේ රවි කරුණානායකයි. රවිගේ ප්‍රශ්නය ජනාධිපතිවරයාට ආකාර කිහිපයකින් බලපෑ ප්‍රශ්නයක්‌ වූයේය. ඉන් බරපතළ ම ප්‍රශ්නය වී තිබුණේ රවිව අයින් කරන ලෙස ආණ්‌ඩුව ඇතුළේ සිටින ශ්‍රීලනිප ප්‍රබලයෝ පිරිසක්‌ එකහඬින් ඉල්ලමින් පටන් ගෙන තිබූ අරගලයයි. අතරමැද තැනකට පැමිණ ප්‍රශ්නය ගොඩින් විස¹ ගන්නට බැරි තැන. ඔහු රවීට කතා කර කළ යුතු හොඳම දේ කීවේ පසුගිය සතියේ 03 වැනි බ්‍රහස්‌පතින්දාය. රවි ඒ උත්තරය බාර නොගැනීම ගැන ජනාධිපතිවරයා තුළ ද යම් නොමනාපයක්‌ තිබිණි. කෙසේ වෙතත් අගමැති රනිල් උත්සාහය අත්හලේ නැත. රවි වෙනුවෙන් යමක්‌ නොකර සිටියොත් යම් හෙයකින් විශ්වාසභංගය පාර්ලිමේනතුවේ විවාදයට ගැනුණේ වී නම් රජයට එරෙහිව විශාල කරුණු සම්භාරයක්‌ පාර්ලිමේන්තුව හරහා සමාජයට කාන්දු වෙන්නට පටන්ගන්නා බව හො¹කාරවම රනිල් තේරුම් ගෙන සිටියේය.

බැසිල් වෙල්ගම චමල්
අලුත් පක්‍ෂයේ වැඩ


පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු මෙහෙයවන ප්‍රාදේශීය සම්මන්ත්‍රණ මාලාව මෙම සති අන්තයේ දිස්‌ත්‍රික්‌ක 3 ක පැවැත්විණි. බදුල්ල මාතර හා පොළොන්නරුව එම දිස්‌ත්‍රික්‌ක 3 යි. මුලින්ම බැසිල් හා චමල් මාතර වැලිගම ප්‍රදේශයේ සම්මන්ත්‍රණවලට ගිය අතර දෙවනුව බැසිල් පොළොන්නරුවට ගොස්‌ සිටියේය. බදුල්ල පස්‌සර ආසන වල මෙම සම්මන්ත්‍රණ තිබුණේ ප්‍රසන්න රණතුංගගේ හා කුමාර වෙල්ගමගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව පස්‌සර ආසන සම්මන්ත්‍රණ පසුගිය ඉරිදා කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, ඉන්දික අනුරුද්ධ සහ චාමික බුද්ධදාසගේ සහභාගිත්වයෙනි පස්‌සර වයිට්‌ හවුස්‌ හෝටලයේ දී පැවැත්විණි. රැස්‌වීමට සහභාගී වීමට යන අතරතුර මන්ත්‍රීවරුන් රැගත් රිය පෙළ පස්‌සර නගරයේ දී ලොකු වාහන තදබදයකට අසුවිය.

තදබදය අඩුවන තුරු නතරව සිටිය දී රථයේ සිටි ප්‍රසන්න දුටු පිරිසක්‌ රථය වටකර ගත්හ. කිහිපදෙනෙක්‌ වීදුරුවට තට්‌ටු කරනු දුටු ප්‍රසන්න වීදුරුව විවෘත කළේය.

"අනේ මන්ත්‍රීතුමා, පේනවා නේද අපට තියෙන කරදරේ. පුළුවන් නම් මේ පාර හදලා දෙන්නකෝ" පිරිස අතර සිටි අයෙක්‌ ප්‍රසන්නගෙන් ඉල්ලීමක්‌ කළේය.

"පාර හදාගන්න නම් වෙන්නේ යහපාලනේ කට්‌ටියට කියලා තමයි. මොකද දැන් තියෙන්නේ අපේ ආණ්‌ඩුවක්‌ නෙමේනේ" ප්‍රසන්න කීවේය.

"අපෝ එයාලට නම් කියලා වැඩක්‌ නැහැ. පාරක්‌ තියා බෝක්‌කුවක්‌වත් හදන අය නෙමේනේ දැන් ආණ්‌ඩු කරන්නේ. කයිවාරුව විතරයි" කිහිපදෙනෙක්‌ම කීහ.

"ඒක නම් ඇත්ත තමයි." ප්‍රසන්න ද අනුමත කළේය.

"රටට වැඩක්‌ කළොත් ඉතින් මහින්ද මහත්තයාගේ ආණ්‌ඩුවකින් තමයි. හෙට අනිද්දා මහින්ද මහත්තයාගේ ආණ්‌ඩුවක්‌ හැදෙනවානේ. එතකොට පාර හදලා දෙන්න කියලයි අපි කියන්නේ" පිරිස කීහ.

"ආ එහෙම නම් වැඩේ කෙරුණා කියලා හිතාගන්න" ප්‍රසන්න පැවසීය.

පස්‌සර සම්මන්ත්‍රණය නිමා වීමෙන් පසුව මන්ත්‍රීවරුන් පිරිස දිවා ආහාරය ගත්තේ ද එම හෝටලයේදීමය. ඒ අතරතුර පිරිස කතාබහ කළේ වෙල්ගම ගැනය.

"වෙල්ගම ඇමැතිතුමා බදුල්ලට ආවට පස්‌සේ ටිකක්‌ පාට වැටිලා වගේ" ඉන්දික කීවේය.

"අපි හිත හොඳ මිනිස්‌සුනේ මල්ලි. කොහේ ගියත් වරදින්නේ නැහැ" වෙල්ගම පැවසීය.

"අර ඩිලාන් මොකද වෙල්ගම පිටගම්කාරයා කියලා බැණ බැණ යන්නේ?" ප්‍රසන්න ඇසුවේය.

"ඩිලාන්ට තියෙන්නේ හීනමානය. එයා මට පිටගංකාරයා කියන්නේ එයා ඌවේ මිනිහෙක්‌ද. අපි දන්නවනේ පෙරේරලා සිල්වලා ඔක්‌කොම ආවෙ කොහෙන්ද කියලා. අනික ඩිලාන් ළඟට එන මිනිස්‌සු කවුරුවත් වැඩි කල් ඉන්නේ නැහැ. කාන්තාවක්‌ ආවත් ටික දවසයි. අපේ ළඟට එන අය අපිව දාලා යන්නේ නැහැ. ඒකේ හිතේ අමාරුව තමයි ඩිලාන්ට තියෙන්නේ" වෙල්ගම එසේ කීවේ පරිවාර කතාවක්‌ද කියමිනි.

බදුල්ල ගැන
වෙල්ගමගේ රහස


"ඩිලාන්ලා එක්‌සත් ජාතික පක්‌ෂයේ අය එක්‌ක වෝටර්ස්‌ ඒඡ් එකේ රෑට රෑට පාටි දදා ජොලියේ ආණ්‌ඩුවේ ඉන්න ගමන් අපිට වැදි බණ කියන්න එනවා." ප්‍රසන්න කීවේය.

"මං පිටගම්කාරයා නම් ඩිලාන් ගමේ මිනිහා වෙලත් ඇයි දන්නේ නැහැ ගිය පාර ඡන්දෙ ඉල්ලුවේ නැත්තේ? ඉල්ලුවා නම් එස්‌. බී.ලට වෙච්ච දේම තමයි වෙන්නේ" වෙල්ගම කීවේය.

"වෙල්ගම ඇමැතිතුමාට නම් බදුල්ල දාලා යන්න හිතක්‌ නෑ වගේ" ඉන්දික කීවේය.

"බදුල්ලත් එක්‌ක මට ලොකු සම්බන්ධයක්‌ තියෙනවා. ඒක මං පස්‌සේ කියන්නම්" වෙල්ගම පැවසීය.

"ඒ කාලේ වෙල්ගම ඇමැතිතුමා බස්‌වල, ලොරිවල එහෙම බදුල්ලට ආපු කාලේ පටන් ගත්ත එකක්‌ වෙන්න ඇති." චාමික කීවේය.

"අර විනය පරීක්‌ෂණ ගැන දැන් කතාවක්‌ නැහැ නේද? ඉන්දික ඇසුවේය.

"විනය පරීක්‌ෂණ ප්‍රසන්න කිව්ව කතාව හරියටම හරි. අපිට විනය පරීක්‌ෂණ තියන්න ගියොත් නිදහස්‌ පක්‌ෂයේ අපේක්‌ෂකයාට විරුද්ධව එක්‌සත් ජාතික පක්‌ෂයත් එක්‌ක එකතු වෙලා ජනාධිපතිවරණයට ඉල්ලපු මෛත්‍රිපාල මහත්තයාට විරුද්ධව විනය පරීක්‌ෂණ හතරක්‌වත් තියන්න වෙයි" වෙල්ගම පැවසීය.

"මට මේ ළඟදි මාර වැඩක්‌ වුණානේ. මම ගමනක්‌ යන කොට ටිකක්‌ හයියෙන් ගියා කියලා පොලීසියෙන් ඇල්ලුවා. අල්ලපු රාළහාමිට මම කිව්වා පොඩ්ඩක්‌ හයියෙන් නම් ආවා තමයි. මට දඩ කොළයක්‌ දෙන්න කියලා. රාළහාමි මට කිව්වා නෑ කමක්‌ නෑ සර් පරෙස්‌සමට යන්න. දඩ කොළ ඕනේ නැහැ. හැබැයි ඔය සීට්‌ එකේ සර්ගේ අයියා හිටියා නම් දඩ කොළයක්‌ නොදී යවන්නේ නැහැ කියලා. රාළහාමිගේ කතාවට මට කටඋත්තරත් නැති වුණා" ප්‍රසන්න කීවේය.

"අයියාගේ හැටි පොලීසියේ අය පවා දන්නවා ඇතිනේ. ඒකනේ එහෙම කියන්න ඇත්තේ" වෙල්ගම පැවසීය.

කතරගමයි නුවරයි
ඇමතිවරු පිරිලා


පසුගිය සති අන්තයේ රටේ ප්‍රධාන සිද්ධස්‌ථාන දෙකකට ජාතික ආගමික උත්සව පැවති බැවින් ආණ්‌ඩුවේ මෙන්ම විපක්‍ෂයේ දේශපාලනඥයන්ට වැඩ රාජකාරි අධික විය. බොහෝ දෙනෙක්‌ සති අන්තයේ කතරගම ගොස්‌ සිටියහ. කතරගම පෙරහැර මංගල්‍යය එක්‌ පැත්තකින් පැවති අතර අනෙක්‌ පැත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යය ද පැවැත්විණි.

මහින්ද 07 වැනි දා රාත්‍රිය ගත කළේ ලොහාන්ගේ නිවසේය. මහනුවර ඇසළ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යයට සහභාගී වීමට මහින්ද පසු දින අලුයම 4.30ට ගැටඹේ තොටට ගියේය. දිය කැපීමේ චාරිත්‍රයට එක්‌ වූ මහින්ද පෙරහැරේ ගිය නිලමෙලා ඇතුළු පිරිස සමඟ කතාබහක ද නියෑළුණේය. එම ස්‌ථානය අසල පිහිටි විහාරස්‌ථානයක ඉදිකරන ලද ඝාන්ඨාර කුලුන විවෘත කිරීමේ අවස්‌ථාවට මහින්ද එක්‌ විය.

මෙම ඝාන්ඨාර කුලුන ඉදිකර තිබුණේ බන්දුල ගුණවර්ධනය. ගන්නෝරුවේ සිට නන්දිකඩාල් කලපුව දක්‌වා සියලු සටන්වලදී රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ විරුවන්ට පිං පිණිස බන්දුල මෙම ඝන්ඨාර කුලුන සිය වියදමෙන් ඉදිකර තිබුණි. කුලුන විවෘත කිරීමේ අවස්‌ථාවට බන්දුල, කෙහෙළිය, ලොහාන් ඇතුළු පිරිසක්‌ සහභාගී වී සිටියහ.

විශ්වාසභංගය මගහරින
ආණ්‌ඩුවේ සැලැස්‌ම


ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ 08 වැනිදාය. රවි කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්‌ෂය විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන් විශ්වාසභංග යෝජනාවට දින නියම කිරීමේ පක්‌ෂ නායක රැස්‌වීම එදින පැවැත්වීමට නියමිතව තිබුණි. මන්ත්‍රීවරුන්ගේ මතය වූයේ විශ්වාසභංගය මඟහැරීමට ආණ්‌ඩුව කටයුතු කරමින් සිටින බවය.

"ආණ්‌ඩුව පුළුවන් තරම් විශ්වාසභංගය මඟඅරින්න තමයි බලන්නේ" මේ විශ්වාසභංගය ගෙනාවොත් රවිගේ විතරක්‌ නොවෙයි, ආණ්‌ඩුවේම සායම යවන බව රනිලුයි ජනාධිපතිතුමයි දෙන්නම දන්නවා. ඩලස්‌ පැවසීය.

රවී මේ අවුරුදු දෙක තුළ මොන තරම් විනාශයක්‌ රටට කළාද කියලා බලන්න පුළුවන් රේගුවේ කරපු දූෂණ හෙළි වෙනකොට. මහා භාණ්‌ඩාගාරයට එන විදේශ විනිමය වළක්‌වලා වාහන ජාවාරම්කාරයන්ට වාහන ගේන්න දීපු හැටි, ග්ලෝබල් පාක්‌ ගුදමට හොර පාරේ කන්ටේනර් යවපු හැටි අන්න ඔක්‌කොම විස්‌තර තියෙනවා ෆයිල් පිටින් මහින්දානන්ද ළඟ. දැන් බලනකොට රේගුවේ ඉන්න ලොක්‌කයි දෙවැනියයි දෙන්නම රවිගේ මේ හොර වැඩවලට හවුල්නේ. විශ්වාස භංගය දුන්නා නම් අපි මේ ඔක්‌කොම ලස්‌සනට කියනවා. අගමැතිගේ සායමත් යන්න...

"රවිට ඉල්ලා අස්‌වෙන්න කියලා ජනාධිපති කිව්වයි කියලා පත්තරවල ගියාට රවි නම් කියන්නේ ඉල්ලා අස්‌වෙන්නේ නැහැ කියලයි. දැන් ඇත්ත කියන්නේ මෛත්‍රි ද රවි ද කියන ප්‍රශ්නය තමයි ජනතාවට තියෙන්නේ" ප්‍රසන්න කීවේය.

"අපිට නම් පේන්නේ දෙන්නම බොරු කරනවා කියලයි" කෙහෙළිය පැවසීය.

"මේකට වගකියන්න ඕනේ රවි විතරක්‌ නෙමෙයි" රවි ගත්තේ ගෙයක්‌නේ. රවි තමයි නිධානය ගන්න පෙන්නපු බිල්ල. එතකොට කවුද මේ නිධානය ගත්තේ. ප්‍රසන්න පෙන්වා දුන්නේය.

"මේ මංකොල්ලය සැලසුම් කළේ යහපාලන ආණ්‌ඩුව කැබිනට්‌ මණ්‌ඩලය පත් කරපු දවසෙමයි. එදා තමයි පළමු වතාවට මහ බැංකුව මුදල් ඇමැතිගෙන් ගලවලා අගමැතිගේ යටතට පත් කළේ" කෙහෙළිය පෙන්වා දුන්නේය.

"ඒ විතරක්‌ නෙමෙයි මහ බැංකු අධිපති විදියට සිංගප්පූරු ජාතිකයෙක්‌ පත් කළේ අගමැතිවරයා. ඒ පත්වීමේ ලිපිය දුන්නේ ජනාධිපතිගේ අතින්. ජනාධිපති බලන්නේ නැද්ද මේකා කොහේ එකෙක්‌ද කියලා. ඩිව් ගුණසේකරගේ කෝප් වාර්තාවෙන් මේ මගඩිය හෙළිවෙන කොට කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට එන එක වළක්‌වන්න ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පස්‌සේ එතුමම කියලා තිබ්බා රනිල්ව බේරගන්නයි පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කියලා. ඒ හින්දා මේකට ඔය කවුරු කවුරුත් වගකියන්න ඕනේ" බන්දුල පැහැදිලි කළේය.

"රනිල් මෛත්‍රි දෙන්නත් මේ මගඩියට සම්බන්ධයි. අපි මේ ආණ්‌ඩුවට එරෙහිව දෝෂාභියෝගයක්‌ ගේන්න ඕනේ" ප්‍රසන්න කීවේය.

"බැඳුම්කර මගඩියෙන් වෙච්ච පාඩුව රුපියල් ටි්‍රලියනයක්‌ විතර වෙනවා කියලා අර ලක්‍ෂ්මන් යාපාත් කියනවා. හම්බන්තොට වරාය විකුණලා ගත්තා වගේ දහගුණයක පාඩුවක්‌ මේකෙන් වෙලා තියෙනවා" බන්දුල පැවසීය.

මාධ්‍ය දුක
මහින්ද අසයි


පසුගිය සතියේ මාධ්‍යවේදියෝ පිරිසක්‌ මහින්ද රාජපක්‍ෂ හමුවන්නට පැමිණියේ මේ ආණ්‌ඩුවෙන් කෙරෙන අසාධාරණකම් ගැන කතා කරන්නටය. රජයේ මාධ්‍ය ආයතනවලට පත් කළ ප්‍රධානියෝ තමන්ගේ වැඩ කර ගත්තා මිස සේවකයන් ගැන බැලුවේ නැතැයි ඔවුහු චෝදනාවක්‌ද කළහ. .

"සභාපතිවරුන් තමන්ගේ වැඩ ටික කරගන්නවා මිසක්‌ අපේ මිනිස්‌සු ගැන හොයලා බලලා නැහැ. ඒක අපෙන් වෙච්ච ලොකු වරදක්‌. ආයේ නම් ඒ වගේ දේවල් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ." මහින්ද අවධාරණය කළේය.

"සර්ගෙන් අපිට වරදක්‌ වෙලා නැහැ. සර්ට ෙද්‍රaහිකම් කළේ සර් ළඟ හිටපු අයමයි." මාධ්‍යවේදියෙක්‌ පැවසීය.

"ඒක නම් ඇත්ත මම හැමෝවම විශ්වාස කළා. මාව ජනාධිපතිකමෙන් එළවන කුමන්ත්‍රණය පටන් ගත්තේ 2011 දී. 2010 ජනාධිපතිවරණය ඉවර වෙච්ච ගමන්ම මේ අය සංවිධානය වෙලා කුමන්ත්‍රණය කළා. රාජිතලා මං ළඟ ඉඳගෙනම තමයි ඕවා කළේ. කට්‌ටියම දන්නවා මම විතරයි ඕක නොදැන හිටියේ" මහින්ද පැවසීය.

"චමල් ඇමැතිතුමත් කියලා තිබුණා සර්ට උදව් කරපු මිනිස්‌සු ඈතින් ඉන්න කොට අවස්‌ථාවාදියෝ ටිකක්‌ වට වුණයි කියලා" ගාමිණී කීවේය.

"චමල් අයියගේ කතාව සීයට සීයක්‌ ඇත්ත. මට උදව් කරපු අය මගේ ළඟට ආපු නැති හින්දා තමයි අවස්‌ථාවාදියෝ ළං වුණේ. මට උදව් කරන අයගෙත් මතයක්‌ තියෙනවානේ අපි මහින්දට උදව් කළා මහින්ද දැන් අපි ගැන හොයලා බලන්න ඕනේ කියලා. එහෙම කරන්න පුළුවන් අවස්‌ථා වගේම බැරි අවස්‌ථාත් තියෙනවා" මහින්ද පැවසීය.

"දේශපාලනඥයෝ විදියට ඉතින් අපිට ඕවා අමුත්තක්‌ නෙමේනේ සර්. මිනිසුන්ගෙන් බැණුම් අහන එකමනේ අපේ වැඩේ" ප්‍රසන්න කීවේය.

"දැන් නාමල්ට වෙලා තියෙන්නෙත් ඕකමනේ. සමහරු නාමල් එක්‌ක තරහා වෙනවා නාමල් ගෙදරට ගොඩවෙන්නේ නැහැයි කියලා. මම දවසක්‌ එහෙම කියපු එක්‌කෙනෙක්‌ගෙන් ඇහුවා නාමල් ළඟට ඔයාලා යන්නේ නැත්තේ ඇයි කියලා, මිනිහා මට කියනවා මම මොකටද නාමල් ළඟට යන්නේ, මම නාමල්ගේ සීයටත් වැඩ කළා, තාත්තටත් වැඩ කළා. ඉතින් නාමල් මං ළඟට එන්න ඕනේ කියලා. පස්‌සේ මං නාමල්ට කිව්වා ඔය හැම ගේකටම ගිහින් මිනිස්‌සු ගැන හොයලා බලන්න කියලා" මහින්ද කීවේ සිනාසෙමිනි.

"සර්ගේ හිත හොඳයි කියලා අපි කවුරුත් දන්නවා. සමහරු කියනවා සර් ජනාධිපති වෙලා ඉද්දි කාටවත් කතා කරන්න පුළුවන්කමක්‌ තිබුණේ නැහැ කියලා. හැබැයි මම අසනීප වෙලා ඉන්න වෙලාවක මම සර්ට කතා කළා. සර් මට කතා කළා විතරක්‌ නෙමෙයි මට උපකාරත් කළා. අපිට ගැටලුවක්‌ ආවාම සර්ට කතාකරපු අවස්‌ථාවක සර් කවදාවත් අහක බැලුවේ නැහැ." මාධ්‍යවේදියකු කීවේය.

"බලය නැහැයි කියලා නැහැ. මම මාධ්‍යවේදීන්ට කවදත් හිතවත්. ඔයාලට තියෙන ඕනෙම ප්‍රශ්නයක්‌ මට කියන්න. මගේ නම්බර් එකට ඕනේ වෙලාවක කෝල් කරන්න. මට පුළුවන් දෙයක්‌ තියෙනවා නම් උදව් නොකර ඉන්නේ නැහැ" කී මහින්ද මාධ්‍යවේදීන් සියලු දෙනාගේ ජංගම දුරකථන අංක සටහන් කරගන්නැයි නිලධාරියකුට උපදෙස්‌ දුන්නේය.

"සර්ව අපිට ඉඳහිටවත් හම්බවෙන්න අවස්‌ථාවක්‌ ලැබෙනවා නම් හොඳයි." මාධ්‍යවේදියකු ඉල්ලීමක්‌ කළේය.

"ඔහොම යමුකෝ. ඔහොම යමුකෝ" මහින්ද මාධ්‍යවේදීන්ට සමුදෙමින් කීවේ සිනාසෙමිනි.

ජුලම්පිටිය මංගල හිමියන් විසින් රචනා කළ දෙමළ ගැටපද විවරණය ග්‍රන්ථය එළිදැක්‌වීමට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මෙන්ම මහින්දත් විපක්‌ෂ නායක සම්බන්ධනුත් එක්‌ව සිටියහ. එහිදී මහින්ද සම්බන්ධට කීවේ "රටේ මතයක්‌ තියෙනවා විපක්‌ෂ නායකවරයා රටේ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා අඩුයි කියලා. මමත් විපක්‌ෂ නායක වෙලා හිටිය කෙනෙක්‌. විපක්‌ෂ නායක වුණාම ජනතාවගේ ප්‍රශ්න ගැනත් හොයලා බලලා මැදිහත් වෙන්න ඕනේ" කියාය. සම්බන්ධන් ඊට ප්‍රතිචාර දැක්‌වූවේ නැත.

ජනපති කවුදැයි
පොළොන්නරුවේ මතය


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්‌ත්‍රික්‌කයේ සම්මන්ත්‍රණ දෙකක්‌ පසුගිය සතියේ මනම්පිටිය සහ හිඟුරක්‌ගොඩ දී පැවැත් වුණේ බැසිල් රාජපක්‌ෂගේ ප්‍රධානත්වයෙනි. රොෂාන් රණසිංහ, ශෙහාන් සේමසිංහ, එස්‌. එම්. ඇතුළු පිරිසක්‌ ඊට එක්‌ව සිටියහ. මනම්පිටිය මංසන්ධියේ පැවැති රැලියේ දී මිනිසුන් කීවේ "අපිට අමතක නැහැ එදා කොටින්ගෙන් බැට කාපු හැටි. මහින්ද මහත්තයා හිටියේ නැත්නම් අපි මැරිච්ච තැන්වල ගසුත් පැළ වෙලා" කියාය.

බැසිල් සභාවට පැමිණි වහාම රැස්‌ව සිටි පිරිස කෑගසා කීවේ "ගොවි පුතෙක්‌ රජවුණා. රටේ ගොවියන්ට යන එන මං නැති වුණා" කියාය. බැසිල් කතාව කරගෙන යන අතරතුර වරක්‌ කීවේ "තමුන්නාන්සේලාගේ ජනාධිපති.... කියාය. අපෝ නෑ සර් ඒ අපේ ජනාධිපති නෙමෙයි. අපේ ජනාධිපති මහින්ද මහත්තයයි" පිරිස කෑගසා කීහ.

රට කණපිට ගැසූ
මූසල දෙවසර


ඒකාබද්ධ විපක්‌ෂයේ කටයුතු පවත්වාගෙන යැම සඳහා කමිටුවක්‌ පත් කිරීමට පසුගිය සතියේ පැවැති ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායක

රැස්‌වීමේ දී තීන්දුවක්‌ ගැනුණි. ඩලස්‌, බැසිල්, විමල්, පවිත්‍රා, ලොකුගේ සහ ගම්මන්පිලගේ සහභාගීත්වයෙන් යුත් කමිටුව පසුගිය බදාදා (09) නෙළුම් මාවතේ කාර්යාලයේ දී රැස්‌විය. ආණ්‌ඩුවේ වැරැදි සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට මෙහිදී යෝජනා කෙරිණි.

ඒ අනුව ජනතාව දැනුවත් කිරීම සඳහා පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබුණි. කතාබහ අතරතුර විමල් යමක්‌ කොළයක සටහන් කර බැසිල්ට දුන්නේය. එය කිය වූ බැසිල් ද සිනාවෙන් යුක්‌තවම කොළය ඩලස්‌ට දුන්නේය. ඩලස්‌ ද කොළය කියවා බලා එකඟතාව පළ කළේය. එහි සටහන් වූයේ විමල් පෝස්‌ටරයට යෝජනා කළ "මූසල දෙවසර" යන තේමාවය.

අනතුරුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සම්මන්ත්‍රණයක්‌ පැවැත්වීමටත් තීන්දු කෙරිණි. අගෝස්‌තු මස 15 වැනි දා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

"ඔබතුමාම මේකටත් නමක්‌ දාන්නකෝ" ගම්මන්පිල විමල්ට කීවේය. යළිත් වරක්‌ කොළයක යමක්‌ කුරුටු ගෑ විමල් එය බැසිල්ට පෙන්වීය.

එහි සඳහන් වී තිබුණේ "බැඳුම්කරේ - කාගේ කරේ, දිනේෂ්, ජී. එල්, ඩලස්‌, වාසු, විමල්, බන්දුල, ගම්මන්පිල ඔබ අමතන සම්මන්ත්‍රණයි" කියා සම්මන්ත්‍රණයට නිර්මාණය කර දුන් පෝස්‌ටරයය. එයටත් සැමගේ එකඟතාව ලැබීමෙන් පසුව සියලු කටයුතු මෙහෙයවීම බැසිල්ට පැවරීමටත් තීන්දු කෙරිණි.

බ්‍රහස්‌පතින්දා උදෑසන වෙල්ගම මහින්දට කතා කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා තිබීම ගැන දැනුම් දීමටය.

"සර් මධ්‍යම කාරක සභාව කැඳවලා තිබුණට මට ආරාධනා කරලා නම් නැහැ. මොකද සර් මම කරන්නේ යන්නද එපාද?" වෙල්ගම ඇසුවේය.

"ආරාධනාවක්‌ නොතිබුණාට කමක්‌ නැහැ. ඔයා කොහොම හරි දැනගත්තනේ. ඒ හින්දා ඕකට යන්න. පක්‌ෂය වැරැදි තීන්දුවක්‌ ගත්තොත් ඒවට විරුද්ධ වෙන්නත් එතැන ඉන්න එපැයි" මහින්ද වෙල්ගමට අවවාද කළේය.

"එහෙනම් මම යන්නම්. පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨම සාමාජිකයෙක්‌ වෙලා අපිට මධ්‍යම කාරක සභාව ගැන දැනගන්න වෙලා තියෙන්නෙත් පත්තරෙන්" වෙල්ගම කීවේය.

ඇමැති විඡේදාසට
එජාපයේ රතුඑළි


බ්‍රහස්‌පතින්දා උදේ රනිල් වික්‍රමසිංහ හෝමාගම ප්‍රදේශයේ උත්සවයකට යාමට පෙර අරලියගහ මන්දිරයට ආවේ විශේෂ රාජකාරියකටය. එහිදී රැස්‌ව සිටි ඇමැතිවරු සමඟ ටිකක්‌ කතා කරන්නටද රනිල් රැඳී සිටියේය.

ඊයේ ඔබතුමයි ජනාධිපතිතුමයි රවියි කතා කළේ මොනවද කියල අපිත් දැනගන්න කැමතියි. කිරිඇල්ල කතාවට මුලපිරුවේය.

රවි එයාට කියන්න ඕන ටික ජනාධිපතිතුමාට කිව්වා. ඊට පස්‌සේ ගන්න තීන්දුව මොකක්‌ද කියලා ජනාධිපතිතුමාටයි මටයි කියනවා කිව්වා. එච්චරයි.

හැබැයි රවි වැදගත් දෙයක්‌ කිව්වා. ඔහු කිව්වා මම නිර්දොaෂයි. හොරු බලපෑම් කළාට මම බය නැහැ. නමුත් පක්‍ෂයයි ආණ්‌ඩුවයි ගැන හිතලා ප්‍රතිපත්තිමය තීන්දුවක්‌ ගමු කියලා ඔහු කිව්වා. මේ තීන්දුව පරක්‌කු නොකර ගන්නවා කියලත් කිව්වා.

එතකොට විශ්වාසභංගයට මොකද වෙන්නේ. දයා ගමගේ හිනාවෙමින් ඇසුවේය.

ඒක ඉතින් කථානායකතුමාට භාර දෙයක්‌. ස්‌ථාවර නියෝග අනුව බැරි නම් ඒවා අත්හිටවලා හරි කරන දෙයක්‌ කරමු කියලයි අගමැතිතුමා කිව්වේ. කිරිඇල්ල පිළිතුරු දුන්නේය.

මහින්ද රාජපක්‍ෂ ඔබතුමාට කතා කළේ එහෙම නැද්ද. වජිර ඇසීය.

මට මොකටද එයා කතා කරන්නේ. රවිට කතා කළාද දන්නේ නෑ. රනිල් කීවේය.

විශේෂ උසාවියක්‌ ගෙනල්ලා හරි දූෂිතයන්ට එරෙහිව තියෙන නඩු ටික ඉක්‌මන් කරමු කියලා අජිත් පෙරේරා ගෙනෙන අදහසට අපේ විඡේදාස රාජපක්‍ෂ ඇමැතිතුමා විරුද්ධයි. රන්ජන් කීවේ ඔහුගේ හිතේ තියෙන ටිකකුත් එකතු කරමිනි. ඒත් ජනතාව ඉන්නේ අජිත් පෙරේරා සමඟයි.

යාපනේ විද්‍යා දැරිය දූෂණය කරපු එක විසඳන්න විශේෂ අධිකරණයක්‌ ගෙනාවා නම් රටට විනකරපු හොරු ගැන බලන්න විශේෂ අධිකරණයක්‌ ඇති කළාම මොකද වෙන්නේ. හැරිසන් එහෙම කීවේ මිනිස්‌සු එහෙම අහනව කියමිනි. විඡේදාස ඇමැතිතුමා ඉතින් හම්බන්තොට වරාය බදු දීල රට ණය බරින් මුදා ගන්න එකටත් විරුද්ධයිනේ.... රන්ජන් කීවේය.

බිත්තරය දැම්මා විතරයි. පැටියා එළියට එනතුරු ඉවසන්න ඕන. අනවශ්‍ය දේවල් කතා කරන්න හොඳ නෑ. විපක්‍ෂයේ ඉඳන් කියන කියන දේවල් ආණ්‌ඩුවේ ඉඳන් කරන්න යන එක වැරදියි. හරි අපි මේ රවිගේ ප්‍රශ්නය ඉවර කරල දාමුකෝ.... අගමැති රනිල් තරමක්‌ කේන්තියෙන් කීවේය.

රවි ඇමැතිතුමා එල්ටීටීඊකාරයෙක්‌ ගානට අරන් ප්‍රශ්න අහපු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා ලිංගික හා මුදල් දූෂණ රැසකට සම්බන්ධ කෙනෙක්‌ලු නේද... කබ්රාල් යුගයේ මහ බැංකුවේ උපදේශකයෙක්‌ විදියට ඉඳලා කෝටි ගණන් මුදල් ගරලත් තියෙනවා කියල ආරංචියි. එයාල තමයි රාජපක්‍ෂලාගේ තොරතුරු හොය හොයා නඩු අවුරුදු ගණන් අදින්නේ. ඒවා අවුරුදු ගණන් හොයනවා. නමුත් ඇලෝෂියස්‌ලගේ පිටු 8600 ක දුරකථන වාර්තාව දින 2 න් 3 න් සම්පූර්ණ කරල පුදුම කාර්යක්‍ෂම බවක්‌ තමයි පෙන්නුම් කරන්නේ. රන්ජන් කීවේය.

මේ කතා බහ ටිකකින් අවසන් විය. ඉන් පසුව සියල්ලෝම පාර්ලිමේන්තුවට යන්න ගියේ එදින සවස කුමක්‌ හෝ විශේෂ දෙයක්‌ සිදුවන බවට තිබූ විවිධ නිල නොවන ආරංචි නිසාය.

වාර්තා-පනත් අස්‌සේ
රවි නැගිටියි



බ්‍රහස්‌පතින්දා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් වී තිබුණේ 2016 වසරේ මහ බැංකු වාර්තාව පිළිබඳවය. උදේ පටන් මේ පනත් ගැන විවිධ තර්ක විතර්ක තවත් තිබෙන අතර පාර්ලිමේන්තුවේ විවිධ ආරංචි ද පැතිර යන්නට පටන් ගත්තේය.

රවි ඉල්ලා අස්‌වෙනවා. මිනිහා ලොකු ලියුමක්‌ කියවලා ඉල්ලා අස්‌වෙන්න ලු යන්නේ. පාර්ලිමේන්තුවේ ලයිව් ටෙලි කාසට්‌ එක දෙන වෙලාව තියෙනවනේ. ඒ කිව්වේ 1.00 ඉඳලා 3.00 වෙනතුරු. ඒ වෙලාව අල්ලලා රවි මේ ලියුම කියවලා ඉල්ලා අස්‌වේවි. ඊට පස්‌සේ රවි ජයන්තිපුර රජමල්වත්තේ තියෙන ගෙදරට යනවා. දැනටමත් ඒ ගෙදරට පොලිස්‌ ආරක්‍ෂාව දාලා. පත්තර වලටයි ටීවී ස්‌ටේෂන් වලටයි දැනුම් දීලලු සවස 1 න් පස්‌සේ කැමරාකරුවෝ රජමල්වත්ත නිවසට එවන්න කියලා. එතන පාක්‍ෂිකයන්ගේ ලොකු පිළිගැනීමක්‌ තියන්නත් ලෑස්‌තියි.

එක්‌තරා මන්ත්‍රීවරයෙක්‌ ඒ බැව් ආලින්දයකදී තවත් හිතමිතුරු මන්ත්‍රීවරු පිරිසකට කීවේ එජාපයේ රවිට හිතවත් තරුණ මන්ත්‍රීවරයෙකු ගෙන් දැනගන්නට ලැබුණ ආරංචියකට අනුවය.

කෙසේ වෙතත් ආණ්‌ඩු පක්‍ෂයත් විපක්‍ෂයත් රවිගේ මේ ඉල්ලා අස්‌වීම බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තුවේ රැඳී සිටියහ. සවස 1.00 ට සියලුදෙනාම පාහේ සභා ගැබට එක්‌වූයේ මේ සිදුවන විශේෂ දේ මොකක්‌ද කියා බලාගන්නටය.

රවි නිසි වේලාවට සභා ගැබට ආවේය. කථානායකවරයා ගෙන් තමන්ට විශේෂ ප්‍රකාශයක්‌ කරන්නට ඇති බව දන්වා අවසර ගෙන සිය ලිපිය දිග හැරගෙන කතාව සිංහල භාෂාවෙන් පටන් ගත්තේය.

එය හුදෙක්‌ම තමන් පක්‍ෂයට රජයට හා රටට කරන ලද සේවය මතක්‌ කරමින් පටන් ගන්නා ලද්දකි. තම නිර්දොaෂී භාවය ඊළඟට ඉදිරිපත් කළ රවි තෙවනුව පෙන්වා දුන්නේ මෙම කොමිෂන් සභාවේදී තමන්ට විඳින්නට සිදුවූ අසාධාරණය ගැනය. නීතිපති දෙපාර්තමේන්තුවේ අනියම් නිලධාරීන් ඔවුන් මතු කාලයේදී බලාපොරොත්තු වන උසස්‌වීම් ගැන සිතාදොa අනවශ්‍ය පීඩනයක්‌ එක්‌ කරමින් තමන්ගෙන් ප්‍රශ්න කළ බව රවි පෙන්වා දුන්නේය.

මෙම චෝදනා තමන් පිරිහෙන නිසා නොව රජයේ හා පක්‍ෂයේ ගෞරවය ආරක්‍ෂා කරනුවස්‌ තමන් මේ පරීක්‍ෂණවලට පහසුවන ලෙස ඉල්ලා අස්‌වන්නට තීරණය කළ බව අවසානයේ ප්‍රකාශ කළේය.

මේ රටේ ඉතා තීරණාත්මක අවස්‌ථාවලදී චෝදනාවලට ලක්‌වී ඉල්ලා අස්‌වූ රාජ්‍ය නායකයෝ පවා සිටිති. ඩඩ්ලි එවැන්නෙකි. රවි මෙම ලිපිය තුළ තමන්ද ඒ ගෞරවණීය ලැයිස්‌තුවට අයත් අයෙකු බව හුවා දක්‌වන්නට ද උත්සාහ කර තිබිණි.

රවිගේ ඉල්ලා අස්‌වීමට පසු විවිධ අය විවිධ මත පළ කළහ. විපක්‍ෂ නායක සම්බන්ධන් එය අගය කළේය. මහත්මා ගුණයක්‌ බව කීවේය. සුනිල් හඳුන්නෙත්ති එදා විවාදයේ මාතෘකාවට අදාළව කතා කරන අතරේ රවි ගැනත් යම් සඳහනක්‌ කරන්නට අමතක නොකළේය. විශ්වාස භංගයෙන් නිසැකවම පරදින බව දැන ඊට පෙර ඉල්ලා අස්‌වෙන්නට තීරණය නොකොට මුලදීම ඉල්ලා අස්‌වූයේ නම් මැනවැයි ඔහු කීවේය. මහත්මා ගුණයට හා යහපාලනයට ඔබින්නේ එසේ කළා නම් බව ඔහු පෙන්වා දුන්නේය.

ඊටත් පසුව රවිට හිතවත් කණ්‌ඩායමේ නලින් බණ්‌ඩාර ආවේගශීලී කතාවක්‌ කළේය. ඔහු බැණ වැදුණේ නීතිපති දෙපාර්තමේන්තුවටය. නීතිපති දෙපාර්තමේන්තුවේ අසාධාරණ බව කියන ක්‍රියා කලාපය විවේචනය කරමින් ඔහු කතා කරන විට එය අසා සිටින්නන්ට සිතුනේ ඇත්තටම නීතිපති දෙපාර්තමේන්තුව රජයේද නැත්නම් මහින්ද රාජපක්‍ෂලාගේද කියාය.

කෙසේ වෙතත් අවසානයේදී එක්‌ දෙයක්‌ පැහැදිලි විය. නීතිපති දෙපාර්තමේන්තුව හා එහි ක්‍රියාකාරී ජ්‍යෙෂ්ඨ නීතිඥ දප්පුල ලිවේරා එල්ලකර පුළුල් ප්‍රහාරයක්‌ දෙන්නට එක්‌සත් ජාතික පක්‍ෂය දැඩි තීන්දුවකට එළඹ ඇති බව මෙහිදී හෙළිදරව් විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය සති අන්තයේ මහනුවර ගොස්‌ ජනාධිපති මැඳුරේ නතරව සිටියේ පෙරහැර දැක බලා ගැනීමට සූදානමිනි. පෙරහැර පෝදා රාත්‍රියේ හිතේ හැටියට නැරඹූ ජනාධිපතිවරයා පසුදා අඟහරුවාදා පාන්දරම දළදා වහන්සේ වැඳපුදා ගන්නට ද ගියේය.

දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යය අවසන් කෙරුනේ ඒ පිළිබඳ සංදේශය රාජ්‍ය නායකයාට බාරදීමෙන් පසුවයි. නිලංග දැල දියවඩන නිලමේවරයා තම පෙරහැර රාජකාරි නිලමේවරුන්, සමග මහ පෙරහැරින් මේ සඳහා ජනාධිපති මන්දිරයට පැමිණ සිටියහ. සංදේශය ජනාධිපතිවරයාට බාරදුන් පසුව ලොකු රාජකාරි කටයුතු රැසක්‌ ද ජනාධිපතිවරයාට ඉටු කරන්නට තිබිණි. පෙරහැරේ ප්‍රමුඛ නිලමේවරුන්ට හා ශිල්පීන්ට සම්මාන ප්‍රදානය හා ත්‍යාග ප්‍රදානය ද ඒ අතර තිබිණි.

මේ සියලු රාජකාරිවලට සහභාගි වූ ජනාධිපතිවරයා ඉතා ඉක්‌මනින් කොළඹට ගියේ තවත් වැඩ රාජකාරි රැසක්‌ම ඒ වන විට කොළඹ ද පැවැත්වෙමින් තිබුණ නිසාය.

ජනාධිපති මෛත්‍රි කොළඹ එන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආණ්‌ඩු පක්‍ෂයේ සිටි මැති ඇමැතිවරු වෙනම සාකච්ඡාවක නිරතව සිටියේ රවිගේ ප්‍රශ්නය ගැනය. රවි කරුණානායක මේ ප්‍රශ්නය නිසා අනිවාර්යයෙන්ම ඉල්ලා අස්‌විය යුතුය යන ස්‌ථාවරයේ බොහෝ දෙනා සිටියහ. ඉල්ලා අස්‌නොවන්නේ නම් ජනාධිපතිවරයා ඔහුව වහාම අස්‌කර දැමිය යුතුය යන දැඩි ස්‌ථාවරයක ඔවුහු පසුවූහ.

රවි කරුණානායක ඉල්ලා අස්‌වෙන්නේ නැති බවට ඒ වන විටත් ප්‍රකාශ නිකුත් වී තිබිණි. එජාපය එම ඉල්ලා අස්‌වීම අනුමත නොකරන බවද කියෑවිණි. එජාපයේ ස්‌ථාවරය එය නම් ශ්‍රීලනිපයේ ඇමැතිවරු බදාදා උදේ පැවැත්වෙන කැබිනට්‌ රැස්‌වීම වර්ජනය කරන්නටත් තීරණයක්‌ ගෙන තිබිණි.

ජනාධිපති කොළඹට පැමිණි වහාම ඔහු මේ සාකච්ඡාවට එක්‌ විය. කලබල නොවී ඉන්නැයි ඔහු ඇමැතිවරුන්ට කීවේය.

මේ වන විට රාජිත ඇමැතිතුමාත් ඒ ගැන රවිත් එක්‌ක කතා කරනවා. රවි ඉන්නේ ඉල්ලා අස්‌වෙන්න කැමැත්තෙන් බව රාජිත මට දැනුම් දීල තියනවා. හෙට කැබිනට්‌ එක වර්ජනය කරන්න එපා. කැබිනට්‌ එකෙන් පස්‌සෙ මමයි රවියි අගමැතිතුමයි මේ ගැන කතා කරල අවසන් විසඳුමකට එනවා. එයාල අකමැති වුණොත් දැඩි තීන්දුවක්‌ ගන්න වුණත් මම ඔයාල එක්‌ක එකඟයි. ජනාධිපති කීවේය. සියල්ලෝම විසිර ගියේ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය විශ්වාස කරමිනි.

විඡේදාස මෙවරත්
තනිව සටනක


කැබිනට්‌ මණ්‌ඩලයේ ප්‍රධාන මාතෘකාව වූයේ ද රවි කරුණානායකගේ සිද්ධියයි. මෙහිදී ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමු කරමින් කතාබහ කරන්නට ඇමැතිවරු පෙළඹ සිටියහ.

මේ බැඳුම්කර විශ්ලේෂණයට නීති විනිසුරුවන් විතරක්‌ මදි. ආර්ථික විශ්ලේෂකයෝත් ඕන කියලා මට ආර්ථික විශේෂඥයෝ කිහිප දෙනෙක්‌ දැනුම් දුන්නා. ඒ සඳහා ජාත්‍යන්තර විශේෂඥයෝ හෝ ගෙන්වා මේ කාරණා ගැඹුරින් විශ්ලේෂණය කළ යුතුයි. රාජිත පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව එජාපයේ ඇමැතිවරු හා රාජිත නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය විවේචනය කරන්නට පටන් ගත්තේය.

මේ අතර අමාත්‍ය විඡේදාස රාජපක්‍ෂ කතා කළේ හම්බන්තොට වරාය චීනයට පවරා දීමේ ගිවිසුමේ ඇති දුර්වලතා ගැනය.

මේ ගිවිසුම අත්සන් කළා වැරැදියි. අපි ජනාධිපතිවරයා සමග එකඟ වුණේ පළමුව පාර්ලිමේන්තුවේ විවාදයක්‌ කරලා එයින් මතුවෙන කරුණු විශ්ලේෂණය කරලා සංශෝධන ඇතුල් කරල අන්න ඒ සශෝධන ගිවිසුම චීනය සමග අත්සන් කරන්නයි. නමුත් සංශෝධන කිසිවක්‌ නැතිව ඒ ගිවිසුම සෙනසුරාදා අත්සන් කළා. මේ ක්‍රමවේදයම වැරැදියි. අපට එකඟ වෙන්න බෑ.

මේ අදහසට දයාසිරි ජයසේකර ද පක්‍ෂව කතා කළේය. ඔහු ද කීවේ එම ක්‍රමවේදය කලින් තිබූ එකඟතා උල්ලංඝනය කර ඇති බවයි.

අනිත් පැත්තෙන් රාජිත, අමුණුගම, මහින්ද සමරසිංහ, මලික්‌ සමරවික්‍රම තර්ක කරන්නට වූහ.

මේක ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්‌ නම් කළා. එහි නිර්දේශ ඇතුළත් කරන්නත් ජනාධිපති උපදෙස්‌ දුන්නා. ඒ නිර්දේශ විඡේදාස ප්‍රශ්න කළේය.

කමිටු සාමාජිකයෝ ලෙස අමුණුගම කතා කළත් නිර්දේශ ගැන කිසිවක්‌ කීවේ නැත. නිර්දේශ ලබන වර කැබිනට්‌ මණ්‌ඩලයට ගෙන එන්නට ඔහු එකඟතාව පළ කළේය.

අපට මේ ක්‍රමවේද උල්ලංඝනය කළ ගිවිසුමකට එකඟ වෙන්න බෑ. විඡේදාස රාජපක්‍ෂ කීවේය. ඔහු සමඟ තවත් කිහිප දෙනෙක්‌ම එකතුව අදහස්‌ පළ කරන්නට වූහ.

මේ අතර යළිත් කතාබහ රවි ගේ ප්‍රශ්නය දෙසට කැරකී ගියේය. රවිගෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ජනාධිපති නීතිඥයකු වන දප්පුල ලිවේරා ප්‍රශ්න කළ ආකාරය ඔහු දැඩි විවේචනයට ලක්‌ කළේය.

මේ ගැන ඇමැතිවරු අතර තර්ක විතර්ක මතු විය. මේ අතර රාජිත ළමා ආරක්‍ෂක අධිකාරිය සඳහා කරන ලද ඉහළ ගණයේ පත් කිරීමක්‌ සම්බන්ධයෙන් ඇමැතිනී චJද්‍රdනි බණ්‌ඩාරට ද චෝදනාවක්‌ එල්ල කළේය.

කවුද මේ අධිකාරියේ සභාපතිකමට චරිනි ද ලිවේරා කියන කෙනාව පත් කළේ.

මෙහිදී නැගුණු තර්ක විතර්කවලදී රාජිත පෙන්වා දී තිබුණේ චරිනි ද ලිවේරා දප්පුල ලිවේරාගේ බිරිඳ බවය. රජය අපහසුතාවයන්ට ලක්‌ කරමින් කටයුතු කරන එබඳු පුද්ගලයන්ගේ පවුල්වල අයට එවැනි රජයේ තනතුරු ලබාදීමේ අවදානම ගැන රාජිත ප්‍රශ්න මතු කළේය.

එහෙත් චන්ද්‍රdනි බණ්‌ඩාර පවසා තිබුණේ තාමත් එබඳු පත්වීම්වලට සුදුස්‌සන් පත් කිරීමේදී අදාළ තනතුරට සුදුසු අය පත් කරනවා මිස ඔවුන්ගේ පවුල්වල අය පිළිබඳ නොසලකන බවයි.

උණුසුම් තර්ක විතර්ක මැද එදා කැබිනට්‌ මණ්‌ඩල සාකච්ඡාව අවසන් වූයේ ඒ අයුරිනි.

ඉන් පසුව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් රවි කරුණානායක ඇමැතිවරයාත් රාජිත ඇමැතිවරයාත් අතර විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්විණි. පැයක කාලයක්‌ පැවති මේ සාකච්ඡාවේදී මතු වූ අදහස්‌ උදහස්‌ ගැන එවේලේ හෙළිදරව් වූයේ නැත.

මේ අතර රාජිත ඇමැතිවරයා හා තිනියාවල පාලිත හිමි මැදිහත්ව වෙනම සාකච්ඡා වටයක්‌ රවි සමග පවත්වනු ලැබූහ. මේ සියලු සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලය වූයේ රවි කරුණානායක ඉල්ලා අස්‌වීම සඳහා සිය කැමැත්ත පළ කිරීමයි. එමගින් විශ්වාස භංගය අනවශ්‍ය කාරණයක්‌ ලෙස ඉවත දමා පාර්ලිමේන්තුවේ නැගෙන්නට තිබූ බරපතළ විවාදයක්‌ වලකා ගන්නට ද රජයට හැකි විය.

පක්‌ෂයේ හොරු ගැනත් බලන්න ඕනලු

අඹේවෙල සත්ත්ව ගොවිපළට නව උපකරණ හා තාක්‌ෂණික යන්ත්‍ර සූත්‍ර ලබාදී එම කර්මාන්ත ශාලා විවෘත කිරීමේ උත්සවයක්‌ පසුගිය සතියේ පැවැත්විණි. ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ අතර පී. හැරිසන් හා නවීන් දිසානායක ඊට සහභාගි වී සිටියහ. නවීන් ප්‍රදේශයේ දේශපාලන බලවතා ලෙස සියල්ල සංවිධානය කරනු ලැබුවේය.

උත්සවය පැවැත්වූ ජන හමුවේදී රනිල් කතාව අතරතුර හොරුන් ගැනත් කතාවක්‌ කීවේය. අපේ ආණ්‌ඩුව හොරු ආරක්‌ෂා කරන්නේ නැතැයි ඔහු කීවේය.

ආණ්‌ඩුවේ විතරක්‌ නොවෙයි.....අපේ පක්‌ෂය ඇතුලේ හොරු ඉන්නවටත් අපි විරුද්ධයි. ඒ වගේම රාජ්‍ය තන්ත්‍රය ඇතුලේ ඉන්න හොර නිලධාරීන් අල්ලලා දඬුවම් කරන්න ඕන....නවීන් කීවේය.

කොහොමද නවීන් නුවරඑළියේ දේශපාලනය? රනිල් නවීන්ගෙන් අතරතුර ලද විවේකයකදී ඇසුවේ දේශපාලන කටයුතු ගැනයි.

නුවරඑළියේ තියෙනවා අගමැතිතුමනි හෙක්‌ටයාර් 1000 ක විතර ඉඩම්. මේවා මේ පළාතේ ජනතාවට වගාකරන්න බෙදාදෙන්නයි මට ඕන. පිටින් ගෙනත් නුවරඑළියේ පදිංචි කරනවාට මම විරුද්ධයි.

මෙම හමුවීමට පසුව නැවත වරක්‌ නවීන්ට අගමැතිවරයාව හමුවුණේ පසුගිය බදාදා කොළඹදී ආරම්භ වුණු ජාත්‍යන්තර තේ සම්මේලනයේදී ය. බදාදා පැවති සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ රනිල් වික්‍රමසිංහයි. රටවල් 40 ක නියෝජිතයන් මෙම සම්මේලනය සඳහා පැමිණ සිටීම විශේෂත්වයකි.

පසුගිය කාලේ තේ කර්මාන්තයේදී ලාභ ලබන්නේ කොළඹ ඉන්න ව්‍යාපාරිකයෝයි. ජාත්‍යන්තර කළමනාකරුවොයි විතරයි. හැමදාම තේ ගහ වටේ කැරකි කැරකි දුක්‌විඳින කම්කරුවාට මුකුත් නෑ. අපි නව කළමනාකරණ ක්‍රමය යටතේ මේ ක්‍රමය වෙනස්‌කරනවා. තේ ගහ රැකගන්න තේ දල්ල රැකගන්න දුක්‌විඳින අයටත් ප්‍රතිලාභ ලැබෙන අයුරින් අපි මේක නවීකරණය කරනවා......නවීන් කීවේය.

ඔන්න ඔය වෙනස කරන්න තමයි අපි මේ පළාතේ මිනිස්‌සුන්ගේ දුක ගැන දන්න දක්‌ෂ ඇමැතිවරයකුට අපේ වැවිලි කර්මාන්ත විෂය භාරදුන්නේ......රනිල් කීවේය.

පාර්ලිමේන්තුවට ගෙනා ආචාර ධර්ම පද්ධතිය

පාර්ලිමේන්තුව තුළ හරි හරි දේවල් සිදුවුණ පසුගිය සතියේ කථානායක කරු ජයසූරිය නව ආචාර ධර්ම පද්ධතියක්‌ ද ගෙන ආවේය. පාර්ලිමේන්තුවට පැමිණි දිනයේ සිටම මේ සඳහා ලොකු උනන්දුවක්‌ දක්‌වමින් කරු මෙම ආචාර ධර්ම පද්ධතියේ කෙටුම්පත නිකුත් කළේය. එහි අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුව හමුවේ තැබුණේ පසුගිය සතියේය.

මම මේක පාර්ලිමේන්තුවට ගේන්නේ ව්‍යවස්‌ථාදායකයේ ගෞරවය ආරක්‌ෂා කරන්න විතරක්‌ නොවෙයි, අභිමානයත් රැකගන්න බලාගෙනයි. ඒ වගේම අපි ව්‍යවස්‌ථාදායකයෙන් බලාපොරොත්තු වන විශිෂ්ටතා මට්‌ටමක්‌ තියෙනවා. අන්න ඒ මට්‌ටම ගැන මහජන විශ්වාසය ආරක්‌ෂා කරගන්නත් මේ ආචාරධර්ම පද්ධතිය ඉවහල් වෙයි....මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව සඳහා කැපවෙන තරම හා කැපවෙන ආකාරය ගැනත් මෙහි ආචාර ධර්ම සඳහන් වෙලා තිබෙනවා. මේ රටේ වගේම වෙනත් රටවල ජනප්‍රිය හා අත්දැකීම් සහිත පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ උගතුන්ගේ අදහස්‌ උදහස්‌ අපි මේ ලියෑවිල්ල සඳහා ලබාගන්න කටයුතු කළා......කරු ජයසූරිය වැඩිදුරටත් විස්‌තර කළේය.

ඒ අතර පාර්ලිමේන්තුවේ ඉතාමත්ම සංකීර්ණ දේශපාලන කාරණා කිහිපයක්‌ පිළිබඳව ද රටේ ජනතාවගේ හා මාධ්‍යවල ලොකු අවධානයක්‌ දිනා තිබූ සතියක්‌ ලෙස පසුගිය සතිය කැපී පෙනිණි. කථානායකවරයා මේ හැම අවස්‌ථාවකදීම උත්සාහ කළේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‌ෂා කර දීමටය.

මේ සතියේ පාර්ලිමේන්තුව හමුවට ආ බරපතළ දේශපාලන මාතෘකා අතර රවි කරුණානායකට එරෙහිව ආ විශ්වාසභංග යෝජනාව ද ප්‍රධාන තැනක්‌ ගත්තේය. මේ යෝජනාව සමඟ පාර්ලිමේන්තුව රත්වූ යකඩයක්‌ මෙන් උණුසුම් වන්නට පටන් ගත්තත් කථානායකවරයා හැම විටම ඒ උණුසුම සමනය කරන්නට උත්සාහ කළේ සෑම පාර්ශ්වයකටම එකලෙස සවන් දෙමිනි.

මධ්‍යම කාරක සභාවේ
20 වැන්න පරාදයි



ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මධ්‍යම කාරක සභා

රැස්‌වීම බ්‍රහස්‌පතින්දා රාත්‍රියේ පැජට්‌ පාරේ නිවසේ දී පැවැත්විණි. පළමුවෙන්ම අවධානය යොමු කෙරුණේ සැප්තැම්බර් මස 02 වැනි දා රත්නපුරයේ පැවැත්වීමට නියමිත පක්‌ෂ සංවත්සරය සම්බන්ධයෙනි. ජනාධිපතිවරයාට අමතරව දුමින්ද සහ අමරවීර ද ඒ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූහ.

අනතුරුව නැගී සිටි ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා... "සමෘද්ධිය ගැන ලොකු ප්‍රශ්නයක්‌ මතුවෙලා තියෙනවා. මේ විදියට කරන්න ඉඩ දෙන්න බැහැ."

ඒ වන විට සමෘද්ධිය භාර එස්‌. බී. නොසිටි බැවින් වහාම දුරකථන ඇමැතුමක්‌ දී ඔහු ගෙන්වා ගන්නට ජනාධිපතිවරයාට සිදුවිය.

"මේ වගේ වැඩ හින්දා ගම්වල මිනිස්‌සු අපි ගැන කලකිරිලයි ඉන්නේ" ජෝන් පැවසීය.

"මේක වැරැදි තීරණයක්‌. මේ වගේ වැඩ හින්දා වෙන්නේ අපිට ගම්වලට යන්න බැරි වෙන එකයි." නිමල් ලන්සා කීවේය.

"එහෙම දෙයක්‌ නැහැ. අපි හදන්නේ සමෘද්ධිය කපන්න නෙමෙයි." එස්‌. බී. විස්‌තර කර පෙන්වා දුන්න ද ජෝන් සහ ලන්සා ඊට එකඟ වූයේ නැත.

"එහෙනම් මොකටද ඔය තරම් වියදම් කරලා සමීක්‌ෂණයක්‌ කළේ?" ලන්සා ඇසුවේය.

ලන්සා එසේ අසත්ම කේන්ති ගිය එස්‌. බී. "ඔයා දන්නේ නැති දේවල් නොකියා කට වහගෙන ඉන්න" කියා බැණ වැදුණේය.

"එහෙම කියන්න එපා ඇමැතිතුමා. අපිට තේරෙන දේ තමයි අපි කියන්නේ. අපි දන්නේ නැහැ ඔබතුමා මොන අරමුණකින් මේක කළාද කියලා." ජෝන් කීවේය..

"මේ සමීක්‌ෂණය කළේ ඉහළම ආයතනයකින්. මේක හින්දා කාටවත් සමෘද්ධිය නැතුව යන්නේ නැහැ." එස්‌. බී. කීවද ජෝන් සහ ලන්සා එය පිළිගැනීමට සූදානම් වූයේ නැත.

'අපි කියන්නේ සාමාන්‍ය මිනිස්‌සුන්ට තියෙන ප්‍රශ්නයක්‌. ඒකට උත්තරයක්‌ නොදුන්නොත් අපිට ගම්වලට ගිහින් වැඩ කරන්න වෙන්නේ නැහැ.' ලන්සා කීවේය.

මේගොල්ලා මේ ඇවිත් තියෙන්නේ වෙන වෙන ගේම් වලට. අපි ඕවට අහුවෙන්නේ නෑ. අපි දන්නවා මෙයාලා කොතනද ඉන්නේ කියලා... එස්‌. බී. ලන්සාට හා ජෝන්ට බැණවදින්නට පටන් ගත්තේය. එස්‌. බී. එක පසෙක තනිව සිටිද්දී අනිත් සාමාජිකයෝ වරින් වර නැගිට එස්‌. බී.ගේ යෝජනාව විවේචනය කරන්නට පටන්ගත්හ.

"මේ වෙලාවේ අලුත් ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහැ. අපට මේ තියෙන ප්‍රශ්න හොඳටම ඇති. ඔන්න ඔය වැඩේ අතහැරලා දාන්න" කී ජනාධිපති සංවාදය නිමා කරන්නට කටයුතු කළේය. අනතුරුව පළාත් සභා මැතිවරණය එකම දිනක පැවැත්වීමට හැකි වන පරිදි ඉදිරිපත් කරන්නට යන 20 වැනි සංශෝධනය ගැන බෝම්බය පත්තු කළේ අනුර යාපාය.

"පළාත් සභා මැතිවරණය එකම දවසක පවත්වන්න ඕනේ කියලා ගේන්න යන යෝජනාවට මම නම් ඡන්දේ දෙන්නේ නැහැ. මේ වෙලාවේ එහෙම කරන්නේ ඇයිද කියලා ජනතාව දන්නවා. මේක ලොකු ප්‍රශ්නයක්‌ වෙනවා." අනුර යාපා කෙළින්ම කීවේය.

"ඔව් ඔව් ඒ කතාව ඇත්ත. මටත් ඕකට එකඟ වෙන්න බැහැ." අමුණුගම ද කීවේය.

"ඔය 20 වැනි සංශෝධනයට එරෙහිව අධිකරණය හමුවට ගියොත් අපි අනිවාර්යෙන්ම පරදිනවා. එහෙම වුණොත් අපිට ඡන්දයට යන්න වෙන්නේ

පැරැදිලයි. එතකොට අපි ඡන්දෙට ඉස්‌සෙල්ලම පරාදයි." සුසිල් ද පැවසීය.

නෑ නෑ. මේකේ තියෙන වටිනාකම සමහරු තේරුම් අරන් නෑ. මේ හොඳ යෝජනාවක්‌. මේක අපි... කියමින් ෆයිසර් මුස්‌තාෆd කතාව ආරම්භ කරන විටම අනුර සහ සුසිල් ඊට එරෙහිව අදහස්‌ දක්‌වන්නට වූහ.

"මම මැතිවරණ කොමිසමේ සභාපති එක්‌කත් මේ ගැන කතා කළා. එතුමත් කිව්වේ අධිකරණය හමුවට ගියොත් මේක වැරැදියි කියලා කියන්න වෙනවා කියලයි. එහෙම වුණොත් අපට තුනෙන් දෙකෙන් සම්මත කර ගන්න වෙනවා. හැබැයි මේ තියෙන තත්ත්වය යටතේ තුනෙන් දෙකක්‌ ගන්න අපට අමාරුයි. ඒ හින්දා හොඳම දේ තමයි මේ තියෙන පළාත් සභා කල් නොඇර මැතිවරණය තියන එක. ඒ හින්දා ඔයාලා ඡන්දයට ලෑස්‌ති වෙන්න" මෛත්‍රි අවසානයේ දී කීවේය.

රවීගේ අස්‌වීම
කාලකණ්‌ණි සතුටක්‌ලු


මේ අතර රෙජිනෝල්ඩ් කුරේ අදහස්‌ දක්‌වන්නට වූයේ රවීගේ ඉල්ලා අස්‌වීම ගැනය. "මම හරිම කාලකණ්‌ණි සතුටක්‌ ලබනවා අද වෙච්ච දේ ගැන. ජනාධිපතිතුමා බලයට ආවේ දූෂිතයන්ට දඬුවම් දෙන්නයි. හැමදාම බල්ලට ගහන්න පොල්ල වන වන හිටියොත් අන්තිමට බල්ලා පැනලා පොල්ල හපා කනවා. තව ටිකක්‌ හිටියා නම් අපිට වෙන්නෙත් ඒකයි. ඒ හින්දා මේ ගත්ත පියවර හොඳයි. කලින් කරපු හොරකම්වලටත් මේ පියවර ගන්න ඕනේ" රෙජිනෝල්ඩ් කීවේය.

මේ අතර තව වැඩක්‌ විය. ශ්‍රී ලංකා නිදහස්‌ වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම්වරයා මෙන්ම ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ද වන ලෙස්‌ලි දේවේන්ද්‍ර මධ්‍යම කාරක සභාවේදී අමුතු කතාවක්‌ කීවේය. සමහරුන්ට ඊට යකාම නැග්ගේය. කතාබහක්‌ යන සෑම විටකම අතරමැදින් පනින ලෙස්‌ලි කියන්නට වූයේ "බය වෙන්න එපා සර්... වෘත්තීය සමිති අපි එක්‌ක ඉන්නවා. හැබැයි ඔක්‌කොම වෘත්තීය සමිතිකාරයෝ කැමැති මහින්දට" යනුවෙනි. ලෙස්‌ලි පාලනය කර ගැනීමට මධ්‍යම කාරක සභිකයන්ට බොහෝ වෙහෙසෙන්ට සිදුවිය. අවසානයේ සියල්ලොම විසිර ගියේ ඊළඟට කළ යුතු දේවල් ගැනද කතාබහ කර ගැනීමෙන් පසුවය.

විඡේදාසටත් එරෙහිව විශ්වාස භංගයක්‌

පසුගිය සති අන්තයේ අපේ දේශපාලන කරලියේ තවත් විශ්වාස භංගයක්‌ ගැන කතාබහ කරන්නට පටන් ගත්තේය. ඒ විශ්වාස භංගය ගෙන ආවේ ආණ්‌ඩු පක්‍ෂයේම ඇමැතිවරු හා මන්ත්‍රීවරු පිරිසක්‌ ඇමැති විඡේදාස රාජපක්‍ෂට එරෙහිවය.

ඇමැතිවරයා කැබිනට්‌ මණ්‌ඩලයේ සාමූහික වගකීම බිඳ දමා තිබීම හා මහින්ද රාජපක්‍ෂලාට අදාළ නඩු කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව යොදා ගනිමින් ප්‍රමාද කිරීම ආදී කරුණු කිහිපයක්‌ චෝදනා ලෙස ගොනු කර මෙම විශ්වාස භංගය ගොඩනගා තිබිණ.

ඇමැති රාජිතගේ මෙහෙයවීමෙන් රජයේ සිටින මුස්‌ලිම් ඇමැතිවරු පිරිසක්‌ මේ සඳහා පෙරමුණ ගෙන සිටියහ. කබීර් හෂීම්, මුජිබර් රහුමාන්, එස්‌. එම්. මරික්‌කාර් මෙම විශ්වාස භංගයේ පිටපත් රැගෙන මන්ත්‍රීවරුන් හමුවෙමින් අත්සන් ලබාගන්නට පටන්ගෙන තිබිණ. ආශු මාරසිංහ ද මෙම උත්සාහය පසුපස සිටින බව පැහැදිලි විය. දේශපාලන ලෝකයේ මේ වෑයම කතාබහට ලක්‌වූයේ ආණ්‌ඩු පක්‍ෂය විසින් ආණ්‌ඩු පක්‍ෂයටම ගොනු කළ සම්ප්‍රදාය විරෝධී විශ්වාස භංගයක්‌ ලෙසය. සාමාන්‍යයෙන් විශ්වාස භංගයක්‌ ගෙනෙන්නේ විපක්‍ෂය විසින් විපක්‍ෂයට ඉවත්කර ගත නොහැකි පුද්ගලයකු ඉවත් කිරීම සඳහා මිසක වෙනත් කරුණක්‌ සඳහා නොවන බව සාකච්ඡාවට බඳුන් විය.



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.