හිල් වූ ක්‍රිකට්‌ බැලුමට හුළං ගැසීම...

ජීවිතය යනු කරදර ගොඩකි. එහෙත් ඒ සියලු කරදර මැද්දේ හිතේ සුවය සොයා එක එකා විවිධ වූ සතුටු සොයා යති. මෙරට පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්‌වා වෙසෙන සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ගේ සියලු ප්‍රශ්නවලට කෙටි විසඳුමක්‌ තිබුණි. ඒ ක්‍රිකට්‌ තරග නැරඹීමයි. මෙරට බහුතර වැසියෝ මොහොතකට හෝ සතුටු වූ ක්‍රීඩාවක්‌ තිබුණේ නම් ඒ ක්‍රිකට්‌ය. ගමේ කඩේ සයිමන් සීයාටත් එදා වේල සොයන අබරන් මාමාටත් මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව ගෙන දුන්නේ එකම වින්දනයකි.

නමුත් ක්‍රිකට්‌ උගසට තබා තමන්ගේ මානසික සුවය සෙවීමට විපරීත මනසකින් යුත් පිරිසක්‌ ක්‍රිකට්‌ සුක්‌කානම කරකවන්නට ගොස්‌ මෙරට ක්‍රිකට්‌ ගැඹුරු ප්‍රපාතයකට තල්ලු වෙමින් තිබේ. එබැවින් ක්‍රිකට්‌ තරග ප්‍රතිඵල මෙරට ප්‍රේක්‍ෂකයන්ගේ රතු කට්‌ට පැන යන තරමටම නන්නත්තාර වී තිබේ. එක පවුලක්‌ ලෙස පිටිය මැදදී රට දිනවපු අයියලා දැන් ක්‍රිකට්‌ වලින් පැන්ෂන්ගොස්‌ එක එකාට ඇඟිල්ල දිගු කර ගනියි. පරිපාලනය පතුරු ගසයි. පරිපාලකයෝ තවත් අයියලා ටිකක්‌ එකතු කරගෙන නැගිටින්නට උත්සාහ කරයි. කෙසේ හෝ ක්‍රිකට්‌ දැන් අච්චාරු වී ඇත. එබැවින් වෙනත් ප්‍රතිවාදීන්ගේ 'බයිට්‌' එක බවට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පත්වෙමින් තිබේ.

දශක තුනක යුද්ධයක්‌ තිබුණ රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාව අපූරුවට තිබුණි. එකල ලෝක කුසලානද දිනා ගත්තේය. නමුත් මෙරට ක්‍රිකට්‌ තරගවලට යුද්ධයෙන් අබමල් රේණුවක හෝ කරදරයක්‌ නොවුණි. ලේ පිපාසයෙන් සිටි ප්‍රභාකරන් ඇතුලු ත්‍රස්‌තයෝද 1996 ලෝක කුසලාන අවසන් මහා තරගය නරඹා හුරේ තියූ බව පසුකාලීනව දැනගන්නට ලැබුණි. එබැවින් මෙරට ක්‍රිකට්‌ උන්මාදය යනු එකම පවුලක එකම සෙල්ලමක්‌ බවට පත්විය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ජය පතා බංග්ලාදේශ වැසියෝ මීට වසර 15 කට පෙර යාච්Cඳා කළ බවද එහි සිටින ශ්‍රී ලාංකිකයෝ සහ භික්‌ෂුන් වහන්සේලා 'දිවයින' ට පැවසූහ. ඒ තරමට මෙරට ක්‍රිකට්‌වලට හතර වටින්ම ආදරය සහ දිරි ගැන්වීම ලැබුණු යුගයක්‌ තිබුණි. එසේ තිබුණ ක්‍රිකට්‌ හරියට කවුරු හෝ උස්‌සා කොඳු ඇට කැඩෙන්නට පොළොවේ ගසා ඇති සෙයක්‌ දැන් දක්‌නට තිබේ. ඒ තරමට පරාජයන් ගොඩ වැඩිවී ජයග්‍රහණය යනු නියඟයක්‌ බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණියේ පල්ලමට තල්ලුවී හමාරය.

මේ වසරේ අවසන් වූ මාස අට තුළදී ශ්‍රී ලංකාව සහභාගි වූ ටෙස්‌ට්‌ තරග හතෙන් පහක්‌ම පරාජයට පත්විය. ඒ එක්‌ පරාජයක්‌ බංග්ලාදේශය හමුවේය. ගතවූ මාස හත ඇතුළත සහභාගි වූ එක්‌දින තරග 16 න් 11 ක්‌ම පරාජයෙන් බැට කෑ ශ්‍රී ලංකාව ජය ලැබුවේ තරග හතරක්‌ පමණි. ඉන් තරග දෙකක්‌ සිම්බාබ්වේ හමුවේත්, එක්‌ තරගයක්‌ ඉන්දියාව හමුවේත් අනෙක්‌ තරගය බංග්ලාදේශය හමුවේත් ශ්‍රී ලංකාව ජය ලබා තිබේ. කෙසේ හෝ සිම්බාබ්වේට සහ බංග්ලාදේශය හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාව එංගලන්තයේදී ස්‌කොට්‌ලන්තය හමුවේ තරගයක්‌ද පරාජය වූ කතාව දැන් කොයි කාටත් මතක්‌ වෙමින් තිබේ. මේ වාර්තා බැලීමේදී මෙහෙම වෙන්නෙ ඇයි? යනුවෙන් සියල්ලෝම ක්‍රිකට්‌ පරිපාලනයට ඇඟිල්ල දිගු කරති.

පරදින විට ක්‍රිකට්‌ ආයතනයේ 'ඩීල්' ගසන්නටද අමාරුය. ගැසූ 'ඩීල්' ද එමටය. ක්‍රිකට්‌ ආයතනයේ ඉහළ තනතුරක්‌ දරන පුද්ගලයකුගේ ක්‍රීඩා සමාජයක්‌ තරග පාවාදීමේ සිද්ධියකට අතටම කොටුවී තිබේ. නමුත් නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ යන කියමන මේ සඳහා කදිම උපහැරණයක්‌ වී තිබේ. ඊට අමතරව ලාභයි ලාභයි ලේබලය එල්ලා ඇති ක්‍රිකට්‌ ලාභ තියෙද්දී බැංකු ණය සඳහා උත්සාහ කරන්නේ මොන විඡ්ජුම්බරයකටදැයි සොයා බැලිය යුතුය. ක්‍රිකට්‌ රජ කරවන්නට පැමිණි ජයන්ත ධර්මදාස මහතාද මේ පරිහානියත් සමග ඉල්ලා අස්‌විය. කොයි කවුරු ඉල්ලා අස්‌වුවත් තිලංග ඇතුලු ක්‍රිකට්‌ ලොක්‌කන් වගේ වගක්‌ නැතිව ප්‍රියසාදවලට සහභාගි වෙමින් ක්‍රිකට්‌ ඔසවා තබන්නට වලි කති. නමුත් ක්‍රිකට්‌ නම් ගොඩ ගිය වගක්‌ පෙනෙන්නට නැත.

රටේ හතර දිග්භාගයේ සිටින ප්‍රේක්‍ෂකයන්ගෙන් දැන් ක්‍රිකට්‌ ගැන ඇසුවොත් ඔවුන් කියන්නේ එකම පොදු වචනයකි. 'අයියෝ ක්‍රිකට්‌ නම් දැන් ඉවරයි. බංග්ලාදේශයටත් පැරදුනා. ඒ මදිවට සිම්බාබ්වේටත් පැරදුණා. දැන් ක්‍රිකට්‌ එපා වෙලා. අපි නම් බලන්නේ නෑ.' යනුවෙනි. එක දිගට පරදින විට ප්‍රේක්‍ෂකයෝ හිතේ වේදනාවට මොන දේ දෙඩුවත් ඔවුන් සෑම තරගයකම අවසන් ප්‍රතිඵලය ගැන ඇස යොමුකර සිටියි. අකැමැත්තෙන් හෝ ක්‍රිකට්‌ නරඹයි. ක්‍රිකට්‌වලට බැණ බැණ ක්‍රිකට්‌ සමග සිටියි.

දිනක්‌ මාතර සයිලන්සර් කඩයක බාස්‌ කෙනෙක්‌ මුණ ගැසුණි. ඔහු කීවේ අපූරු කතාවකි. "අපි ඉස්‌සර ක්‍රිකට්‌ වලට කොයි තරම් කැමතිද. ඒත් දැන් මුන්ට කැච් එකක්‌ අල්ල ගන්න බැහැ. හැමදාම බැටින් විකට්‌ කියනවා බෝලින් විකට්‌ කියනවා. අපි ගහන වෙලාවට හැමදේම අනිත් පැත්ත. අපරාදෙ මේක කාල දැම්මා."

යහපාලනය යනු දැන් ජනතාවට හුරු පාලනයකි. ඒ යහපාලනයේ ඇමැතිවරයකු වන අර්ජුන රණතුංගද කියන්නේ මෙරට ක්‍රිකට්‌ නැති කළේ යහපාලනය බවයි. ඒත් පාලකයනුත් නිහඬව සිටිද්දී ක්‍රිකට්‌ සෝදා පාලුවට ලක්‌වෙද්දී කොයි අයියාටත් කරන්නට තියෙන්නේ තවදුරටත් ක්‍රිකට්‌ පතුරු ගසා රටකරවන ඉහළ නිලධාරීන්ට ඇහෙන්නට අයියෝ... ක්‍රිකට්‌ බේර ගනිල්ලා... කියන්නය. ඒ ඇරෙන්නට ක්‍රිකට්‌ පරදින විට උද්ඝෝෂණ කරන්නට හෝ පෙළපාලි යන්නට මෙරට ප්‍රේක්‍ෂකයෝ කිසිදාක ඉදිරිපත් වන්නේ නැත.

ලෝකයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක්‌ ඇති ක්‍රිකට්‌ නිලවරණය තිබෙන්නේ ශ්‍රී ලංකාවේය. ඡන්ද 150 කට ආසන්න සංඛ්‍යාවක්‌ මෙරට ක්‍රිකට්‌ නිලවරණය සඳහා තිබේ. ඒ ඡන්ද දායකයන්ව සතුටු කරන්නේ නැතිව ඊළඟ නිලවරණය දිනා ගන්නට පරිපාලකයන්ට නොහැකිය. රටේ ක්‍රිකට්‌ නැති කර දමන්නේ මෙම ඡන්ද ක්‍රමය වේ. ඉන්දියාවේ ක්‍රිකට්‌ නිලවරණයට ඇත්තේද ඡන්ද පනහකටත් අඩු සංඛ්‍යාවකි. එබැවින් මෙරට ක්‍රිකට්‌ 'ජරාවට' හුරුවී ඇති බව ඡන්ද සංඛ්‍යාවෙන් පැහැදිලි වේ.

පළමු පෙළ ක්‍රීඩා සමාජ 24 කි. එය ලොව විහිලුවක්‌ බවට පත්ව තිබේ. පළමු පෙළ ක්‍රීඩා සමාජයක කඩුලු දඩයමේ යන පන්දු යවන්නකුව ජාතික කණ්‌ඩායමට තේරුණොත් ඔහුට වන්නේ ප්‍රතිවාදී පිතිකරුවන්ගෙන් නට්‌ටන් වීමටයි. තරගකාරී පාසලක වාර විභාගයකට ලකුණු පන්සියයක්‌ ලබාගෙන පන්තියේ අන්තිමයා වන ශිෂ්‍යයා ලියූ ප්‍රශ්න පත්‍රයම තවත් පාසලක ළමයකු ලකුණු 500 ක්‌ ලබා ගෙන පළමු වැනියා වේ. ඊට හේතුව තරගකාරී බවක්‌ නොමැති වීමයි. අද ක්‍රිකට්‌ ඇනගෙන ඇත්තේද මේ තරගකාරී බව නැති නිසාවෙනි.

පසුගියදා මොයින් පික්‌ හෝටලයේදී හෝරා දෙකකට ආසන්න කාලයක්‌ ක්‍රිකට්‌ ලොක්‌කන් සාකච්ඡාවක නිරතවිය. අරවින්ද, සනත්, ගුරුසිංහ, තිලංග, පුහුණු මඬුල්ල, මැතිව්ස්‌, තරංග සහ චන්දිමාල් ඇතුලු පිරිස අදාළ සාකච්ඡාවට සහභාගි වී තිබේ. මොන උපදෙස්‌ ලැබුණද පිටිය මැදට ගොස්‌ ක්‍රීඩකයන්ද නා ගනිති. ඔවුන්ට සටනක්‌ දෙන්නට පිටි පස්‌සෙන් කිසිවකුත් නොමැත. මෙරට ක්‍රිකට්‌ තරග සැලැස්‌මට සංගක්‌කාර, මහේල සහ මුරලි වැන්නන් දෙහි කපති. එය සැබෑය. ලෝකයේ ක්‍රිකට්‌ දියුණු වෙන්නේ වෙනස්‌ වීම් මගිනි. අපේ ක්‍රිකට්‌ යන්නේ හණමිටි අදහස්‌ ගොන්නක්‌ පොදි බැඳගෙනය. මේ පරිපාලනය කරන්නේ හිල් වී ඇති ක්‍රිකට්‌ නම් බැලුමට හුළං ගැසීමක්‌ වැනි දෙයකි. අන්තිමට හුළංද නැති වීමට පෙර 'පැච්'එකක්‌ දමා හුළං ගැසීම ඥානාන්විත යෑයි අපි අදාළ පාර්ශ්වවලට දන්වා සිටිමු.

ඉන්දියාව අයි.පී.එල්, පකිස්‌තානය, පකිස්‌තාන් ප්‍රිමියර් ලීග්, බංග්ලාදේශය, බී.පී.එල්, එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාව බිග් බෑෂ් සහ ෆේ‍ර‍රන්ට්‌ ප්‍රොවින්ස්‌ යන තරගමාලා ඔස්‌සේ එරට ක්‍රිකට්‌ කදිමට ඩිමාන්ඩ් කරයි. නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ද ඒ සැලැස්‌ම කරගෙන යයි. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ බොරු ෂෝ එකකි. පරණ තැටිය දමා පෙන්වන්නේ පරාජයේ ගොඩ වැඩි කරවන න්‍යායකි. තිලංග සුමතිපාල දැන්වත් ඡන්ද අහේනිය පසෙක දමා ක්‍රිකට්‌ සැලැස්‌ම වෙනස්‌ කරමින් මෙරට ක්‍රිකට්‌ ඔසවා තැබීමේ මෙහෙයුමක නිරත විය යුතුය. නැතිනම් එසේ කළ හැක්‌කෙකුට ක්‍රිකට්‌ කරවන්නට රජය මැදිහත් විය යුතුය. මේ දෙකම සිදුවන බවක්‌ තවමත් පෙනෙන්නට නැත. එeවින් ක්‍රිකට්‌ 'සම්බෝල' වන තෙක්‌ අපි බලා සිටිමුද?

අසේල විතාන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.