ටෙනිස්‌: සුද්දන් ගිය පසු 'ජාතික' ශූරතාව?

එක්‌ බහුතර පන්තියකට බොරු සෝබනයක්‌ මෙන්ම විකාරයක්‌ ද වන තවත් සුළුතර පන්තියකට ආභරණයක්‌ මෙන්ම ජීවන ආශ්වාදයක්‌ ද වන ශ්‍රී ලාංකේය ටෙනිස්‌ ක්‍රීඩාවේ උත්කෘෂ්ඨම තරගාවලිය පසුගිය සතියේ කොළඹ හතේදී ඇරඹුණා. ඒ තමයි 102 වැනි ශ්‍රී ලංකා ජාතික ටෙනිස්‌ ශූරතාවලිය. රුපියල් දහදාහට වඩා වටිනා නයික්‌ සපත්තු, පනස්‌දාහට එහා ටෙනිස්‌ පිති හා අධි සුඛෝපභෝගී මෝටර් රථ විසින් වටකර ගත් ශ්‍රී ලංකා ටෙනිස්‌ මූලස්‌ථානයේ කෘත්‍රිම, ඝන මතුපිටක්‌ සහිත පිටිවල සැරිසරන සුපුරුදු මුහුණු රාශියක්‌ මෙවරත් එක්‌ එක්‌ කාණ්‌ඩවල ජාතික ශූරයා වීමේ උණුසුම් තරගයක යෙදී ඉන්නවා. රටේ බහුතර පන්තියේ සහභාගිත්වයත්, ආශිර්වාදයත් නැතත් මේ තමයි ටෙනිස්‌ 'ජාතික' ශූරතාව. අද මේ, ඒ පිළිබඳවයි.

වර්ෂ 1888 වතු වගාවට හා රජයේ සේවයට මෙහි ආ සුද්දන් විසින් තමයි සීතල නුවරඑළියේදී පළමු ටෙනිස්‌ ජාතික ශූරතාව ආරම්භ කරල තියෙන්නෙ. දෙවැනි ලෝක විම්බ්ල්ඩන් ශූරතාව දිනූ ස්‌පෙන්සර් ගෝර්, මෙරට පළමු ජාතික ශූරයා සී. එච්. ඒ. රොස්‌ හා මුල් යුගයේ ප්‍රබලම පිරිමි ක්‍රීඩකයා ලෙස වැජඹුණු ඊ. ද ෆොන්බ්ලෑන්ක්‌ මෙරට ටෙනිස්‌ පුරෝගාමීන් විදිහට පිළිගැනෙනවා. 20 වැනි සියවසේ මුල් කාර්තුවේ ටෙනිස්‌ මෙරට පතුරුවන්න ආර්. ජී. කුම්බ් නම් තවත් මහතෙක්‌ වෙහෙසුණා. ඔහු තමයි මෙරට ජාතික ටෙනිස්‌ සංගමයේ නවසිය විසි ගණන්වල සිටි ලේකම්වරයා. මේ හැමෝම සුද්දො. ඉතින් මේ සුදු ආධිපත්‍ය මුල්වරට බිඳින්නේ උසස්‌ ලාංකීය පවුලක දක්‌ෂ ක්‍රීඩකයකු වුණු ඊ. ආර්. ද සේරම්. 1919 දී නුවරඑළියේ පැවති ජාතික ටෙනිස්‌ ශූරතාවේදී ඩබ්. බී. බාට්‌ලීට්‌ව අවසන් තරගයේදී පරාජය කරමින් ඔහු ලංකාවේ පළමුවැනි 'ලාංකික ටෙනිස්‌ ශූරයා' බවට පත්වුණා.

පසුකාලීනව මෙරට මතුවුණු ජාතික ශූරයන් වන එෆ්. සී. ද සේරම් (මෙයා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායකයෙක්‌ ද වෙනවා) හා එෆ්. ඡේ. ද සේරම්. මේ ප්‍රබල සේරම් පෙළපතේ පසුකාලීන ටෙනිස්‌ ශූරයන්. ලංකා යුද හමුදාවේ සේවය කළ ඉහත කී එෆ්. සී. හෙවත් සිසිල් ඩෙරෙක්‌ 1962 සිරිමා රජයට එරෙහි කුප්‍රකට හමුදා කුමන්ත්‍රණයේ නායකත්වය ගත්තෙක්‌.

කාන්තා ටෙනිස්‌ අංශයේත් ආධිපත්‍ය මේ කාලය පුරාවටම දැරුවේ සුද්දන් සමඟ මෙහි ජීවත්වුණු ඔවුන්ගේම බිරියන් හා ඒ පවුල්වල ඥාතීන්. ජී. ඩී. එච්. ඇල්ස්‌ටන් හා ඩොරීන් සන්සෝනි දිග මේස්‌ ඇඳ, දණහිසින් පහළට දිවෙන සුදු සායින් යුතුව ටෙනිස්‌ ගැසූ අතර මෙරටට නිදහස ලැබෙන කාලය තෙක්‌ ටෙනිස්‌ තම දැඩි ග්‍රහණයට නතු කොටගෙන තිබුණා. 1934 දී නේද්‍රd ඔබේසේකර, ජාතික කාන්තා ටෙනිස්‌ ශූරතාවට අත තැබි පළමු ලාංකීය කාන්තාව බවට පත්වන්නේ මේ අතරතුරයි.

නේද්‍රdගෙන් පටන්ගත් මේ 'ස්‌වදේශීය අරගලයේ' ඉතිරි පිමි, සන්සෝනි, ශීලා රොබර්ට්‌ස්‌, රන්ජනී ජයසූරිය, ශ්‍රියා ගුණරත්න ආදීන් අතින් සම්පූර්ණ වනවා. ලිස්‌බෝ පින්ටෝ තමයි 20 වැනි සියවස මුල ප්‍රබලම නමක්‌ හිමිකර ගත් ජාතික පිරිමි ටෙනිස්‌ ශූරයා. ඉතින් විසිවැනි සියවස අග වන විට අර්ජුන් ප්‍රනාන්දු, මනීෂා පෙරේරා, ලිහිණි වීරසූරිය, සාරංගා සංගක්‌කාර (කුමාර් සංගක්‌කාරගේ වැඩිමල් සහෝදරිය) ආදීන් සිය අණසක ජාතික ටෙනිස්‌ ශූරතා තරඟාවලිය පුරා විහිදුවනවා. මේ අතර නවසිය හැත්තෑ ගණන් වත්දී තමයි මේ තරගාවලිය නුවරඑළියේ සිට කොළඹ 07 ට පැමිණෙන්නේ.

වසර 120 කට එහා ගියත් ශ්‍රී ලංකාවේ ටෙනිස්‌ අඩු - වැඩි වශයෙන් තාම සිය ප්‍රභූ පංති ග්‍රහණයෙන් හරියටම මිදුනේ නැති බව ඔබට මෙවරත් ජාතික ශූරතාව බැලීමට ගියොත් නිරීක්‌ෂණය කළ හැකියි.

රේවත එස්‌. සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.