රටේ උරුමය රකින්න කතා කරද්දී
අපට ග්‍රෝතිකයන් යෑයි ලේබල් ගහනවා

ඇමැති විඡේදාස රාජපක්‌ෂ

ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි


තිස්‌වසරක යුද්ධය අවසන් කර තම ජීවිත පූජා කළ රණවිරුවන් දංගෙඩියට ගෙනි යන්න දෙන්නේ නැහැයි කියලා මම කියනකොට අපේ අධිකරණය දැන් ස්‌වාධීනයි. ජාත්‍යන්තරව නඩු අහන්න නඩුකාරයෝ නීතිඥයෝ අපට අවශ්‍ය නැහැ. ජිනීවාවලට ගිහින් නඩුකාරයෝ ගන්න අපි ඉඩ දෙන්නේ නැහැයි කියන කොට ඒ මිනිහා ගෝත්‍රිකයෙක්‌ කියලා කියනවා යෑයි අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විඡේදාස රාජපක්‌ෂ මහතා පැවැසීය.

ඒ මහතා එසේ කියා සිටියේ පෙරේදා (19දා) ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල තිරියාය හංදියේ පිහිටි බෝධිරාජාරාමයේ ඉදිකළ ජල පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්‌ථාවට එක්‌වෙමිනි.

ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය චීන රජයේ ආධාර ඇතිව මෙම ජල පවිත්‍රාගාරය ඉදිකර තිබූ අතර විවෘත කිරීමට එක්‌වූ ඇමැතිවරයා බුද්ධ පිළිමයට මල් පූජා කර ආගමික වතාවත්වල නියෑළීමෙන් පසුව නව ජල පවිත්‍රාගාරය විවෘත කරමින් ලබා ගත් ජලයෙන් විහාරස්‌ථානයේ බෝධීන් වහන්සේ නැහැ විය.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැති

විඡේදාස රාජපක්‌ෂ මහතා - අපේ රටේ සම්පත් අනාගත දරු පරපුර වෙනුවෙන් ඉතිරි කළ යුතුයි. ඒ සඳහා අපි ලොකු අභියෝගයකට මුහුණ දී ඉන්නවා. අපි ගෝත්‍රිකයෝ කියන අයට අම්මෙක්‌ අප්පෙක්‌ නැහැ. අවුරුදු 2600 ක්‌ උරුම කම් කියන දේවල් අපේ අනාගතය ආරක්‌ෂා කරන්න අපි කතා කළහම අපි ගෝත්‍රිකයෝ කියලා ලේබල් ගැහුවාට අපි ලැඡ්ජා නැහැ.

දැන් තියෙන්නේ සංක්‍රාන්තික කාලයක්‌. බෞද්ධ භික්‌ෂුන් වහන්සේලා ජනතාව තීන්දු ගත යුතු කාලයක්‌. රට වෙනුවෙන් හිමිවරු ජනතාව පෙළ ගැසිය යුතු කාලයක්‌. ප්‍රශ්නයක්‌ ඇති වුණාම අපි ඒවා විසඳිය යුත්තේ ලිච්ඡවි රජදරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට. අද චතුරාර්ය සත්‍ය වෙනුවට දේශපාලන වේදිකාවල කතාකරන චතුරාර්ය සත්‍ය වෙලා තියෙන්නේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය හා ද්වේශය කියන ඒවායි.

අපේ රටට බත සපයන ගොවියෝ සහ ගොවි පවුල් වකුගඩු රෝගයෙන් මිය යනවා. එය අවම කරගන්න සෞඛ්‍ය බලධාරීන්ට සාර්ථක වැඩපිළිවෙළක්‌ නැහැ. ඩෙංගු මර්දනය කරන්න බැරිවෙලා තියෙනවා නමුත් ඒ අයට වෙන වෙන රාජකාරි තියෙන්නේ. වෛරය ක්‍රෝධය ඇති කරන්න තමයි මේ අය දන්නේ. රජරට ප්‍රදේශයේ මාස හයට වකුගඩු රෝගීන් 13457 ක්‌ ඉන්නවා. මාස හතක්‌ තුළ මරණ 127 ක්‌ වාර්තා වෙලා. සෞඛ්‍ය බලධාරීන් ක්‍රෝධය හා වෛරය පිරිමහ ගන්න පැය 24 ම වැඩ කරන කොට අසරණ ජනතාව දුක කියන්නේ කාටද.

තට්‌ටු මාරු දේශපාලනය වෛරී දේශපාලනය අවසන් කළ යුතුයි කියලා ඔබ ඡන්දය දුන්නා. තියෙන්නේ ජාතික ආණ්‌ඩුවක්‌ නිදහස්‌ පක්‌ෂයෙන් ජනාධිපති කෙනෙක්‌ ඉන්නවා එක්‌සත් ජාතික පක්‌ෂයෙන් අගමැති කෙනෙක්‌ ඉන්නවා. නීතියේ ආධිපත්‍ය ඇති ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත සංහිඳියාව බලාපොරොත්තුවෙන් පසුගිය මැතිවරණයේදී තනි ආණ්‌ඩුවකට ජනතාව බලය දුන්නේ නැති නිසා ජාතික ආණ්‌ඩුවක්‌ හැදුවා. ලොව අපි කොන්කළ බලවේග මර්දනය කළා. නැවත අපි ගෞරවාන්විත ජාතියක්‌ බවට පත්වුණා.

තිස්‌වසරක යුද්ධය අවසන් කර තම ජීවිත පූජා කළ රණවිරුවන්ව දංගෙඩියට ගෙනි යන්න දෙන්නේ නැහැයි කියලා මම කියනකොට සමහර තරුපහේ හෝටල්වලට යන දේශපාලනඥයෝ කියනවා ඒ මිනිහා ගෝත්‍රිකයෙක්‌ කියලා. අපේ අධිකරණය දැන් ස්‌වාධීනයි ජාත්‍යන්තරව නඩු අහන්න නඩුකාරයෝ නීතිඥයෝ අපට අවශ්‍ය නැහැ. දියුණු රටවල අධිකරණ පද්ධතියට අපේ අධිකරණ පද්ධතිය දෙවැනි නැහැ. ජිනීවාවලට ගිහින් නඩුකාරයෝ ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

වරාය ගුවන් සේවය එහෙම නැතිනම් ඉඩම් ටික කියන්නේ අපේ මුතුන් මිත්තන් අපට උරුම කරලා දීපු දේවල් නෙවෙයි අපට භාර කරපු දේවල්a. ඒවා අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්‌ෂා කරගන්න ඕන. අවුරුදු පහකට බලය ගත්ත අපි මේවා ආරක්‌ෂා කරගන්න කතා කරන කොට තරු පහේ දේශපාලනඥයෝ කියනවා මේ මිනිහා ගෝත්‍රිකයෙක්‌ කියලා.

ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති නීතිඥ අතිරේක සොලිසිටර් ජනරාල් සුමිත ධර්මවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලයේ සංස්‌කෘතික අංශයේ ප්‍රධානි ලූ ඩොම් එක්‌සත් ජාතික පක්‌ෂයේ සේරුවිල දෙක ආසන සංවිධායක සුනිල් ශාන්ත රණවීර යන මහත්වරුන්ද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.