මහවැලි මහවැලි මහාවැලී

ස්‌වභාවධර්මය විසින් රටකට දායාද කරනු ලබන අනගි පාරිසරික සම්පත් අතර ගංගාවන්ට හිමිවන්නේ අතිශය ප්‍රමුඛ තැනකි. ගංගාව යනු ශිෂ්ටාචාරයේ පැවැත්මයි. උතුරු උතුර මැද ප්‍රදේශ ජල හිඟයෙන් පීඩා විඳීම සැබැවින්ම මනුෂ්‍ය පැවැත්මට බාධාවකි. මහවැලි ගඟ ලංකාවේ දිගම ගඟ වන්නේ එය කිලෝමීටර් 335 ක දුරක්‌ ගමන්කර මුහුදට එක්‌වන නිසාය. ශ්‍රී ලංකාවේ මුළු භූමි පරිමාණයෙන් පහෙන් එකක වපසරියක්‌ ආවරණය කරන මේ මහවැලිය සැබැවින්ම රටට සම්පතකි.

එහෙත් අද මහවැලියට අත්ව තිබෙන ඉරණම ඉතා කනගාටුදායකය. මහවැලි ගඟ දූෂිත වීම සමස්‌ත රටටම ප්‍රශ්නයක්‌ නොවන්නේද? එය දූෂිත කළෝ කවුරුහුද? ලක්‌වැසියන් විසින්ම නොවේද? මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ප්‍රකාශ කරන්නේ මහවැලි ගඟ අසූචි ගොඩක්‌ බවට පත්ව ඇති බවයි. රටේ ප්‍රධානතම ගංගාවට 98.3% අසූචි මිශ්‍රවන බව ආණ්‌ඩුකාරතුමිය කියයි. මේ පිළිබඳ ප්‍රවෘත්තිය ඊයේ අප පුවත්පතේ පළ වී තිබිණි. මහවැලි ගඟ දෙපස වෙසෙන අකෘතඥයන් පරිසරය ගැන නොසිතා වැසිකිළි කැසිකිළි ගඟට හරවා තිබීම මේ ප්‍රශ්නයට හේතුවයි. පරිසරය ගැන නොසිතා කටයුතු කිරීමෙන් මහජනයාට යහපතක්‌ අත්ව තිබේද? මහවැලි ගඟෙන් බීමට ජලය ලබාගන්නා පිරිස කොපමණද? ඒ සියලු දෙනාට බීමට සිදුවන්නේ අසූචි මිශ්‍ර ජලයද? අපිරිසිදු ජලය පානය කිරීමෙන් මාරාන්තික රෝග පැතිරෙන බව අපි දනිමු. එසේ නම් ඒවාට වගකිව යුත්තේ කවරකුද?

මධ්‍යම පළාත් ආණ්‌ඩුකාරතුමිය වහාම කළ යුත්තේ මහවැලි ගඟ අපවිත්‍ර කරන සියලු දෙනා නීතියේ රැහැනට හසුකරගන්නා ලෙස අදාළ අංශවලට නියෝග දීම නොවේද? වැසිකිළි කැසිකිළි ගඟට හැරවීම පාරේ කුණු දමා යැමටත් වඩා බරපතළ වරදකි. මේ පරිසර දූෂකයන්ට දැඩි දඬුවම් දීම අනාගත පරම්පරාව වෙනුවෙන් කළ යුතු යුතුකමකි. ඉදිරියේදී මහවැලි ගඟත් කුණු ඇළක්‌ බවට පත්වුවහොත් එය බරපතළ ෙ€දයක්‌ නොවන්නේද? වර්තමානයේ කසළ ප්‍රශ්නය නිසා රටම කැලඹී ඇති බව පැහැදිලි ඇත්තකි. කුණු කඳු ජනයා මතට ඇද වැටෙන විට එය මානුෂික ෙ€දවාචකයක්‌ බවට පත්වේ. කුණු ප්‍රශ්නය සඳහා කඩිනම් විසඳුම් සොයන්නට රජයට සිදුවූයේ මහජනයා මේ නිසා බලවත් පීඩාවට පත්වන නිසාය. කුණු ප්‍රශ්නයත් සමඟ ඩෙංගු උවදුර මහා වසංගතයක්‌ ලෙස පැතිර ගියේය. මින් පෙර කිසිදු වසරක වාර්තා නොවූ ආකාරයට ඩෙංගු රෝගීන් මෙන්ම ඩෙංගු මරණ ද වාර්තා විය. කසළ මල්ල මහමඟ දමා පැනගිය ද බොහෝ දෙනකුට ඩෙංගු මදුරුවාගෙන් බේරීමට නොහැකි විය.

එසේම මහවැලි ගඟ අපවිත්‍රවීම ද තවත් වසංගතයක්‌ පැතිරීමට මඟ පාදන බව නම් පැහැදිලිය. නියඟයෙන්, ගංවතුරෙන්, ඩෙංගු වසංගතයෙන් පීඩා විඳි ජනතාව මීළඟට පීඩා විඳින්නේ මහවැලියේ අසූචි මිශ්‍ර ජල ප්‍රවාහනය නිසාද? එදා මහගම සේකරයන් මහවැලි ගීතය රචනා කරමින් සිරිදුව හෙට මෙහි වඩනා මඟුලට - මඟ පාදා පියවිලි අතුරා - ඔබ බැස එනු දැක හිනැහෙයි සිරිලක - අනාගතය කිරිදිය උතුරා යනුවෙන් පද රචනය කළේය. එහෙත් මහවැලි ගඟට අසූචි මිශ්‍රවෙද්දී අනාගතය කිරිදිය උතුරන්නේ කෙසේද?

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.