දකුණු වෙරළබඩ තීරයේ තෙද බලපාන
සීනිගම දෙවොල් දෙවි 50 වැනි ඇසළ උදානය


දකුණු වෙරළබඩ තීරයේ තෙද බලපාන සීනිගම ශ්‍රී දෙවොල් දෙවිඳුගේ 50 වැනි වාර්ෂික ඇසළ මංගල්‍යය ජුලි මස 25 වැනි දින පෙ.ව. 10.05 ට කප් සිටුවීමෙන් ආරම්භ විය.

ගොඩ බිමෙන් මීටර් 300 ක්‌ පමණ දුරින් මුහුද මැද පාවෙන අයුරින් දිස්‌වන තරමක උස ගල් තලාවක්‌ මත නවීකරණය කරන සීනිගම ශ්‍රී දෙවොල් පුදබිම දර්ශනීය වේ. ඈත අතීතයේ ගොඩබිමේ පිහිටා තිබුණ සීනිගම දෙවොල් දේවාලය වසර ගණනක්‌ සමුද්‍ර ඛාදනයට ලක්‌වීම නිසා ක්‍රමක්‍රමයෙන් අද මීටර් තුන්සියයක්‌ දුරින් මුහුද මැද පිහිටා තිබේ.

ශ්‍රී දෙවොල් මහා දෙවිඳු අරක්‌ගත් සීනිගම දේවාලයේ ඉතිහාසය අනාදිමත් කාලයකට දිව යන්නකි. ඒ කෙසේද යත් සිංහල වර්ගයාගේ ව්‍යාප්තිය ලංකාවේ ඇති වීම පිළිබඳ ජන සම්මතයක්‌ පරිදි සැලකෙන විජය කුමරුගේ සම්ප්‍රාප්තියටත් පෙර දක්‌වාය. මේ ගෞතම බුදු රජුන්ගේ ජීවමාන කාලයයි. දෙවොල් කණ්‌ඩායමේ පැමිණීම සීනිගම තොටමුණෙන් සිදුවූ අතර එවකට මෙම තොටමුණේ පත්තිනි නම් කතක්‌ නායිකාව වූවාය. දේවත්වයෙහිලා එවකටත් පිදුම් ලැබූ ඇය පතිවත සුරැකි කුලඟනාවකි. මෙයද ලංකාවේ ගජබා රජුන් කල ඇදහීමට පාත්‍රවූ පත්තිනි මෑණියන්ගේ එක්‌ අවස්‌ථාව යයි සැලකේ. මේ අතින් බලන කල දෙවොල් කුමරුන්ගේ පැමිණීම දක්‌වා සීනිගම තොටෙහි ලාංකික පත්තිනියන් ඇදහීමේ දේවාලයක්‌ තිබූ බවට දෙවොල් කවි කියමන් තුළින් අද පැහැදිලිව සනාථ වේ.

සීනිගම පත්තිනි දේවාලය මුලින්ම ගොඩනඟා තිබුණ බැවින් එය රුහුණේ පැරැණිතම දේවාලය ලෙසටද සැලකිනි. මේ කරුණු බැවින් මෙගමවූ පවිත්‍රතාවය ඉපැරැණි කවියන් "සුද්ද සීනිගම" යනුවෙන් යෙදී මෙන්ම පැහැදිලිය. දෙවොල් දෙවියන්ගේ ආක්‍රමණයෙන් පත්තිනි දේවියගේ ස්‌ථානය පැහැර ගන්නා ලදින් ඔහුගේ යසෝ කීර්ති පතුරුවන කේන්ද්‍රස්‌ථානය බවට පත්වූයේය. දෙවොල් ශ්‍රී ලංකාවේ රාවණ පෙළපතින් පැවැතෙන්නෙක්‌ ලෙසටද සළකන්නෝ වෙති.

ශ්‍රී විෂ්ණු කතරගම හා දැඩිමුණ්‌ඩ දෙවිවරු සීනිගමට පැමිණ පත්තිනි දේවිය සමග කතිකා කර ගන්නේ දෙවොල් සාමිට ලක්‌දිවට ඇතුළු වීමට අවසර දෙන්නටය. එහෙත් පත්තිනි කාන්තා දේවත්වයක්‌ නිසා ඇතිවුණ බියක්‌ නිසා මොහු පරීක්‍ෂාකර බැලීමට කල්පනා කළේය. වෙරළ ආසන්නයටම ළඟා වූ දෙවොල් සාමි "මගේ අක්‌කේ මට එන්නට අවසර දෙන්නයි කියා සිටියේය. කෙසේ වෙතත් පෙර අත් බවෙක දෙවොල් හූ වැඩිමහල් සහෝදරියක්‌ වූවාය. එහෙයින්ම පත්තිනිගේ පිවිසීමේ වරමක්‌ සක්‌ දෙවිඳු දෙවොල් නම් දුන් බවත් ඒ අනුසාරයෙන් ඔවුහු එක යහන කෙළි පුද ලබන්නට වූහ. මේ සම්ප්‍රාප්තියට හා පුදසත්කාර ලබනු ඔවුන්ට කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුරදුන්ට කඨ§න ආදී කොටැති විවිධ දාන මාන කිරීමේ දී පින්කම් හේතු භූත වූ බව සැලකේ. පත්තිනි දේවිය නිමේෂයකින් ඇයගේ පතිවත බලය දක්‌වා දකුණු පාදය හත්වරක්‌ පොළොවෙහි ගැසීම නිසා ගිනිකඳු හතක්‌ මවා ඔහු බිය වැද්දීම කළත් දෙවොල්ගේ පෙර පින් බලෙන් ලැබූ කුසලයෙන් එම ගිනිකඳු සිසිල් කරගෙන කටින් හපා කමින් ගොඩබිමට පැමිණි පසු පත්තිනි දේවිය රන් සලඹද රැගෙන නවගමුවට පදිංචියට ගිය බව පැරැණි පොත්පත්වල සඳහන් වේ. සේරමන් යුව රජුට දරා ගත නොහැකි හිසරුදාවක්‌ හටගත් අවස්‌ථාවේදී සීනිගම දෙවොල් දෙවියන් උදෙසා දින හතක්‌ "පත්තිනි කෝල්මුර" යාගයක්‌ පවත්වා සුවය ලබා ගත් බවද සීනිගම දේවාලයේ දෙවොල් මඩු යාගයේදී අදත් එය භාවිත කරති. මෙම හිසරුදාව සම්පූර්ණයෙන් සුව වූ පසුව කෝවිලක්‌ හෙවත් දේවාලයක්‌ තනවා දුන් බවද දෙවොල් පුරා වෘත්තයන් හි මෙසේ සඳහන් වේ.

සේරමන් රජහට - දමා ගිනි දැල් ලෙඩ කොට

කර කෝවිලක්‌ මට - දුනොත් ලෙඩ හොඳ වේවි හනිකට

ඒ එදා සීනිගම ජීවත් වුණු නායකයෙකු යෑයි සිතිය හැක.

විජය රජුගෙන් පසුව රාජ්‍ය භාරගත් පණ්‌ඩිත වාසුදේව රජුට වැළඳුණු දිවි දොaසයකි. ඊට මලය රජු රුසිවරුද සමගින් ගඟට බැස අෂ්ඨ මන්ත්‍රාදිය මගධ, එළු, සකු බසින් ව්‍යාකරණ නොබිඳවා කවි සිලෝ ස්‌ත්‍රොaත්‍ර ආදිය ගයමින් ශාන්ති පූජා යාගයක්‌ කොට ශාන්තිය ලබාදී ඇත. එය සිහිපත් කිරීම සඳහා සීනිගම දෙවොල් පෙරහැරේ "ශාන්ති පූනාව" ඉතා අලංකාර මණ්‌ඩපයක තබා අදත් ගෞරවාකාරයෙන් ගෙන යාමද සිරිතක්‌ කර ගෙන ඇත.

රුහුණේ රජකළ දප්පුල නම් රජෙකු දෙවුන්දර දේවාලය සහ නගරය ඉදි කිරීමට පෙරාතුව සීනිගම දේවාලයේ ඓතිහාසිකත්වය සලකා පස්‌ මහල් දෙවි මැඳුරක්‌ තනවා දෙවි රජුගේ නමට පුද කරන්නට යෙදිනැයි සැලකේ. ඊට කරුණු වනුයේ දෙවුන්දර දේවාලයේ උපුල්වන් දෙවිරුව නෙළුE කිsහිරි කොටය දෙවුන්දර මුහුදු වෙරළට ගොඩ ගැසූ බව පුරා වෘත්තවල සඳහන් වේ.

ක්‍රි.ව. 1505 දී පෘතුගීසින් මෙරටට පැමිණ මුහුදුබඩ වෙහෙර විහාර විනාශ කිරීමේ භයානකම ප්‍රතිඵලය වූයේ ක්‍රි.ව. 1580 දී පෘතුගීසි නාවුක හමුදාපති සූසා විසින් සීනිගම දේවාලය කඩා බිඳ දමා විනාශ කිරීමය. මුහුදට ගොඩබිමෙන් මහා ගල් තලාවක්‌ මත පිහිටි මෙම දේවාලයට පූජා පැවැත්වීම සිදුවූයේ අල්ප ලෙසය. මහණ කමක්‌ නොමැතිව සිවුරු පොරවාගත් හීරළුවන්ගෙන් භික්‍ෂු ශාසනය රැක ගන්නා ලෙසට මහ බින්නගොඩ විචින්තාවාරතිස්‌ස නාහිමියන් ක්‍රි.ව. 1912 දී ලියන ලද හීරළු සංදේශය යවා ඇත්තේ මෙම සීනිගම දේවාලයටය. එහි අරමුණ වූයේ භික්‍ෂු ශාසනයට අවැඩක්‌ කරන පිරිසට දඬුවම් ලබාදීමටය. එය එසේම සිදුවී කෙටි කාලයකින් හීරුළුවන් සම්පූර්ණයෙන්ම වඳවී ගියහ.

ක්‍රි.ව. 1922 දී සිදුවූ භයානක මුහුදු ඛාදනයත් මුහුදු ගොඩ ගැලීමත් නිසා සීනිගම දේවාලය ගොඩබිමෙන් වෙන්ව මුහුදු දේවාලයක්‌ බවට පත්විය. එදා මෙම දේවාලයට කිසිදු හානියක්‌ සිදු වී නොමැත. දෙවොල් දෙවියන් පැමිණි ගල් පවුර තවමත් දේවාලයට ශක්‌තිය ලබා දෙමින් පවතී. විශ්‍රාමලත් සිවිල් සේවකයෙකු වූ හියූ නෙවිල් මහතා ක්‍රි.ව. 1886 දී ලියනලද ලංකාවේ දෙවි දේවතාවුන් පිළිබඳ විස්‌තරයේ මේ දේවාලය ගැන සඳහන් වේ. මේ පිළිබඳ තොරතුරු හා විස්‌තර ඇතුළත් පුස්‌කොළ පොත් කිහිපයක්‌ ජාතික පුස්‌තකාලයේ තැන්පත්ව ඇත.

මුහුදු දේවාලයට ගොස්‌ පුද පූජා පැවැත්වීමට ඔරු පාරු යොදා ගැනීමට සිදුවීමක්‌ අද සිට සිදු වුවත් එදා ගොඩබිමේ සිට සිදුකිරීමට හැකියාව තිබුණි. අද ගොඩබිමේ සිට සෙත් ශාන්ති ගොඩබිමේ පංච මහා දේවාලයේ සිදුකිරීමට හැකි බවත් මුහුද මැද පිහිටි දේවාලයට ගොස්‌ අබ, ගම්මිරිස්‌, සුදු ලූනු අඹරමින් කපුරු පත්තු කර පොල් ගැසීමෙන් අවලාද කිරීමෙන් දඬුවම් පැමිණවීමටත් අනුහස්‌ ඇති දේවාලයක්‌ බවට සීනිගම දෙවොල් දේවාලය මුළු දිවයිනට ප්‍රසිද්ධියක්‌ උසුලයි.

තුන්වැනි භාරකරු සරත් දිසෙන්තුවාහන්දි මහතා නව සැලැස්‌මක්‌ මත ඉදිරි කාලයේදී දේවාලය දියුණු කිරීමට කටයුතු කරන බවත් මෙවර දේවාල ඇසළ උළෙලට රාජ්‍ය අනුග්‍රහයද ලබාගෙන ඇති බව සතුටින් දන්වමි.

ඓතිහාසික ශ්‍රී දෙවොල් මහා දේවාලය ක්‍රමවත්ව දියුණු කිරීමේ අභිලාෂය පිණිස ක්‍රි.ව. 1968 සැප්තැම්බර් මස 01 දා රැස්‌වී ගමේ තරුණ වැඩිහිටි පිරිස සීනිගම කුසුමාරාමවාසී ශාස්‌ත්‍රවේදී පූජ්‍ය තිත්තගල්ලේ සුදස්‌සී මාහිමිපාණන්ගේ සභාපතිත්වයෙන් සීනිගම ශ්‍රී දෙවොල් දේවාල භාරකාර මණ්‌ඩලය නමින් නව සංවිධානයක්‌ පිහිටුවාගන්නා ලදී. එහි සම ලේකම්වරු වශයෙන් කාව්‍ය කීර්ති සාම විනිසුරු ඒ. පී. ඥණදාස කථිකාචාර්ය මහින්ද තිලකාරවසම්, භාණ්‌ඩාගාරික ජනමාධ්‍යවේදී ග්‍රන්ත කර්තෘ සාම විනිසුරු සීනිගම මහානාම මංගලසිරි යන මහතුන් ඇතුළු මණ්‌ඩලයක්‌ ඔක්‌තෝම්බර් මස 01 දිනට යෙදෙන පළමු පුරපසළොස්‌වක පොහෝදා දේවාලයේ සිට සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරයට මල් පෙරහැර පවත්වා ක්‍රි.ව. 1969 දුරුතු පොහෝදා ජනවාරි මස 02 දේවාලයේ සිට පෙරහැරින් තෙල්වත්ත පුරාණ රත්පත් රජමහා විහාරයට ගමන් කර ශ්‍රී මහා බෝධි අංකුරයක්‌ රැගෙනවිත් රෝපණය කිරීමෙන් පසු එදා සිට මෙදා දක්‌වා වසර 49 ක්‌ පුරා පෙරහැර මංගල්‍යය වාර්ෂිකව පවත්වනු ලබති. 2017 වර්ෂය වෙනුවෙන් 50 වන වාර්ෂික ඇසළ මංගල්‍යයට ජුලි මස 25 දින පෙරවරු 10.05 ට කප් සිටුවා අගෝස්‌තු මස 24 වන දින පෙරවරු 9 ට උදා සමුළුව පවත්වා එදිනම රාත්‍රි 8 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පවත්වා අගෝස්‌තු මස 25 වැනි දින පෙරවරු 7 ට මහා සංඝරත්නයට හීල දානය පිරිනමා පෙරවරු 9 ට දේවාභිෂේක නානුමුර මංගල්‍යයද පවත්වනු ලබයි.

අගෝස්‌තු මස 26 වැනි දින පස්‌වරු 1 ට යෙදෙන සුබ මොහොතින් පළමු දිවා මහා පෙරහැර තෙල්වත්ත පුරාණ රත්පත් රජමහා විහාරයට ද අගෝස්‌තු මස 27 වැනි දින පස්‌වරු 1 ට දෙවන දිවා මහ පෙරහැර හික්‌කඩුව ජනන්දාරාම විහාරය දක්‌වා ද අගෝස්‌තු මස 28 සහ 29 යන දෙදින රාත්‍රි 9 ට රාත්‍රි මහා පෙරහැර තෙල්වත්ත සහ තොටගමුව දක්‌වා වීදි සංචාරය කරනු ලැබේ.

සීනිගම මහනාම මංගලසිරි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.