රංගේ බණ්‌ඩාර සහ ජගත් කුමාරට
විනිසුරු ඉදිරියේ අධි චෝදනා කියවා දෙයි

ඇමැති රංගේ බණ්‌ඩාරට එරෙහි වාහන නඩුව

ඒ. ඡේ. ඒ. අබේනායක

අමාත්‍ය පාලිත රංගේ බණ්‌ඩාර හා ජගත් කුමාර ලියනගේ යන විත්තිකරුවන් දෙදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේදී ඊයේ (23 දා) අධිචෝදනා කියවා දුන්නේය.

නීති විරෝධී ලෙස එකලස්‌ කරන ලද වාහනයක්‌ නිර්ව්‍යාජ වාහනයක්‌ ලෙස හැඟවීම සඳහා වෙනත් වාහනයක ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කිරීම, ඒ සඳහා පෙළඹවීම, ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම යන අධිචෝදනාව යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව කැඳවූ අවස්‌ථාවේදී විවෘත අධිකරණය හමුවේදී විත්තිකරුවන්ට එලෙස අධිචෝදනා කියවා දුන්නේය. අධිකරණයේ නියෝගය පරිදි මහාධිකරණ භාෂණ පරිවර්තක මංජුල ප්‍රසාද් ජයසිංහ මහතා විසින් එලෙස අධිචෝදනාව කියවා දුන් අතර තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කිරීම නිසා පැමිණිල්ලේ පළමු වන සාක්‍ෂිකරුගේ සාක්‍ෂිය ලබාගනිමින් පැමිණිල්ලේ නඩු විභාගය ආරම්භ කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

එහිදී දෙවන විත්තිකාර අමාත්‍ය පාලිත රංගේ බණ්‌ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සවිත්‍රි ප්‍රනාන්දු මෙනවිය කරුණු දක්‌වමින් පැමිණිල්ලේ පළමුවන හා දෙවන සාක්‍ෂිකරුවන් එම නඩුව සම්බන්ධයෙන් සාක්‍ෂි දීමට උනන්දුවක්‌ නොමැති බව දැනුම්දී ඇති බැවින් හා සිය සේවාදායකයාට පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිවීමට නියමිතව ඇති බැවින් සාක්‍ෂි විභාගය සඳහා වෙනත් දිනයක්‌ නියම කරන ලෙස ඉල්ලා සිටියාය.

පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් දෙදෙනා ඒ බව දිවුරුම් ප්‍රකාශ මගින් නීතිපතිවරයා වෙත දැනුම්දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් පවතින බවත් එහිදී පෙන්වා දුන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා එම සාක්‍ෂිකරුවන් එකී දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ ස්‌වෙච්ඡාවෙන් ද යන කරුණු අනාවරණය කරගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක්‌ ආරම්භ කොට ඇතැයිද පැවැසීය.

පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට අවශ්‍ය විටෙක නඩු පැවරීමට හෝ නඩු ඉවත් කරගැනීමට තම අධිකරණය සූදානම් නොමැති බව එහිදී පෙන්වා දුන් විනිසුරුවරයා නඩු විභාගය ආරම්භ කිරීමට තම අධිකරණය විසින් මේ වනවිටත් දින නියම කර ඇති බැවින් සාක්‍ෂි කැඳවන ලෙසට නියෝග කළේය.

ඒ අනුව එම නඩුවේ පළමුවන සාක්‍ෂිකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර මහතා තීරු බදු සහන යටතේ ආනයනය කළ සුඛෝපභෝගි ජීප් රථය රුපියල් ලක්‍ෂ 54 ක්‌ ගෙවා මිලදී ගත්තේ යෑයි කියන වාහන ව්‍යාපාරිකයකු වන දිනේෂ් ප්‍රදීප් රත්නායක නමැත්තා සාක්‍ෂි ලබාදීම ආරම්භ කළේය.

සත්‍ය ප්‍රකාශ කරන බවට දිවුරුම් ලබාදී ඇති බැවින් තමන් දන්නා සියලුම සත්‍ය කරුණු ප්‍රකාශ කරන ලෙසටත් අසත්‍ය ප්‍රකාශ කළහොත් විත්තිකරුවන් නිදහස්‌ වී සාක්‍ෂිකරුට දඬුවම් විඳීමට සිදුවිය හැකි බවත් පෙන්වා දෙමින් විනිසුරුවරයා එහිදී සාක්‍ෂිකරුට අවවාද කළේය.

පළමු සාක්‍ෂිකරුගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීම සඳහා විත්තියට ඉඩකඩ සලසමින් එම නඩුව ලබන 25 වැනිදා (හෙට) යළි කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.