මඩකලපුව මූලස්‌ථාන පොලිසියෙන්
නීතිය හරියට ඉටුවන්නේ නැහැ

මඩකලපුව මංගලාරාමාධිපති හිමියෝ පවසති

සුසන්ත අමර බන්දු - අම්පාර විශේෂ මඩකලපුවේ සිට


මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව පොලිසියෙන් තමන්ට අසාධාරණයක්‌ සිදුවන බව පවසමින් මාධ්‍ය සාකච්ඡාවක්‌ 23 වැනිදා දහවල් මඩකලපුව මංගලාරාම විහාරස්‌ථානයේදී පවත්වා ඉන්පසුව විහාරස්‌ථානය ඉදිරිපිටට පැමිණ පොලිස්‌ නිලධාරියකුගේ අනුරුවක්‌ ගින්දර දමා පුළුස්‌සා දමන ලදි.

මඩකලපුව පොලිසිය මගින් මේ වන විට සුමනරතන හිමියන්ට එරෙහිව පොලිස්‌ නිලධාරීන්ට පහර දුන් බව පවසමින් නඩු 03 ක්‌ ගොනු කර ඇත.

ආරක්‌ෂාවට සිටි බීමත් පොලිස්‌ නිලධාරීන් විසින් පහරදීම පිළිබඳව පැමිණිලි කර තිබුණත් ඒ ගැන කිසිදු විමර්ශනයක්‌ සිදු නොකර මඩකලපුව මංගලාරාමයට එරෙහිව මඩකලපුව මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂකවරයා අසාධාරණ ලෙස පළිගනිමින් කටයුතු කරන බව මෙම අවස්‌ථාවේදී සුමනරතන හිමි පැවසීය.

ආරක්‌ෂාවට සිටි පොලිස්‌ නිලධාරිවරයා බීමත්ව සිටි බව වෛද්‍ය පරීක්‌ෂණයෙන්ද සනාථව තිබෙන බවත් මේ වන විටත් ඔවුන් පොලිසියේ රාජකාරි කටයුතුවල යෙදෙන බවත් පොලිසියේ වරද වසා ගනිමින් නීතිය නවමින් කටයුතු කරමින් මඩකලපුව මංගලාරාමයට එරෙහිව මඩකලපුව මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂකවරයා කටයුතු කරන බව සුමනරතන හිමි පවසයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.