වැලිගඟ අලකලංචියක්‌
කුපිත වූ පිරිසක්‌ පහර දෙද්දී ගම්මු කැලයට රිංගති
කැති පොලු අරන් පහර දෙන්න පටන් ගත්තා

මට බබා හම්බවෙලා සතියක්‌ නෑ; ළමයින් එක්‌ක කැලේට රිංගුවා
කාන්තාවක්‌ කියයි

ගම්පොල - සුරංග දිල්හාන්

ගම්පොල වැලිගඟ ගම්මානයට 29 දා රාත්‍රි පැමිණි කිසියම් පිරිසක්‌ නිවාසවලට හා පුද්ගලයින්ට පහරදීම නිසා එම ගම්මානයට පොලිස්‌ ආරක්‌ෂාව යෙදවීමට පියවර ගෙන තිබුණි.

එම ගම්මානයේ පදිංචිකරුවන් පවසා සිටියේ 100 - 150 ක්‌ පමණ පිරිසක්‌ කැති පොලු රැගෙනවිත් මෙසේ තම නිවාසවලට හා තමන්ට පහරදුන් නිසා කැලයට ගොස්‌ සැඟවුණු බවයි. වැලිගඟ ගම්මානයට ආසන්නව පිහිටි ගමක්‌ වන මාවතුර ප්‍රදේශය සොරුන්ගේ ග්‍රහණයට හසුව තිබීම සමඟ සිදුකළ පොලිස්‌ පරීක්‌ෂණවලදී පොලිස්‌ සුනඛයකු ඒ අසල ඇති මෙම වැලිගඟ ගම්මානයට පැමිණීමත් සමඟ කුපිත වූ මාවතුර ගම්මානයේ පිරිසක්‌ මෙම පහරදීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

පසුගිය කාලයේ මාවතුර ප්‍රදේශයේ නිවාස හා වෙළෙඳසැල් 41 ක්‌ සොරුන් විසින් බිඳ රන් භාණ්‌ඩ, මුදල් ඇතුළු දේපළ සොරාගෙන ගොස්‌ තිබුණි.

ඒ අතර 29 දා අලුයම යළිත් මාවතුර නගරයේ වෙළෙඳසල් 4 ක්‌ බිඳ තිබීමත් සමඟ එම ගම්වැසියෝ හා වෙළෙඳසල් හිමියෝ මෙම සොරුන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් හා ප්‍රදේශයට පොලිස්‌ මුරපොළක්‌ ඉල්ලා ගම්පොල - කොත්මලේ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් 29 දා උදැසන උද්ඝෝෂණයක නිරත වූහ.

ඔවුන්ගේ ඉල්ලීම ඉටු කරමින් ගම්පොල පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාද මාවතුර ප්‍රදේශයට පොලිස්‌ මුරපොළක්‌ ලබා දී එදිනම සැක කටයුතු තිදෙනකු සොරකම් කරන ලද සිගරට්‌ සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒa සඳහා සී. සී. ටී. වී. දර්ශනද උපයෝගි කොට ගෙන තිබුණි. පසුව 29 දා සවස පොලිස්‌ සුනඛයන් යොදා සිදුකළ පරීක්‌ෂණවලදී මාවතුරට කිලෝමීටර් 2 1/2 ක්‌ පමණ දුරින් පිහිටි වැලිගඟ ගම්මානයේ නිවෙස්‌වලට මෙම සුනඛයා පැමිණ තිබේ.

එම පොලිස්‌ පරීක්‌ෂණ අවසන්ව පොලිසිය ගිය පසු කුපිත වී සිටි පිරිසක්‌ 29 දා රාත්‍රි පැමිණ මෙසේ මෙම වැලිගඟ ගම්වාසීන්ට පහර දී තිබේ.

මීට පෙරද මෙම නිවාස හා වෙළෙඳසල් බිඳීමට සම්බන්ධ කීප දෙනෙකු ගම්පොල පොලිසිය මගින් මෙම ගම්මානයේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ පිළිබඳව අදහස්‌ පළ කළ එම ගම්මානයේ කාන්තාවක්‌,

අපි රෑ ගෙවල්වල ඉන්න කොට 150 ක්‌ විතර පිරිසක්‌ කැති පොලු අරන් ඇවිත් ගමට ගහන්න පටන් ගත්තා. මම සීසර් සැත්කමෙන් බබා හම්බවෙලා සතියක්‌වත් නෑ. අපි ළමයිනුත් අරන් භයට කැලයට පැන්නා. දැන් අපේ ගෙවල්වලට ගහලා. අපි කියන්නේ හොරු ඉන්නවා නම් ඒ අය අල්ලා ගන්න අපට හිරිහැර කරන්න එපා කියලයි."

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ ගම් වැසියෝ,

මේ ගමේ කුඩු තිබුණා, ගංජා තිබුණා ගම්පොල පොලිස්‌ ස්‌ථානාධිපතිතුමා ඒවා නැති කරලා මේ ගම බේරලා. ඒ නිසා අපි පොලිස්‌ ස්‌ථානාධිපතිතුමා ඇතුළු ඒ සැමට ස්‌තුති කරනවා. ඒ වගේම මේ ගමේ හොරු ඉන්නවා නම් ඒ අයටත් දඬුවම් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඉස්‌සර මේ ගම් දෙක සමඟිව සිටියා. මේ හොරකම් නිසා ගම් දෙකේ මේ විදිහට ගැටලු ඇති වුණා.

ගම්පොල පොලිසිය පැමිණ මෙම ගමේ ආරක්‌ෂාව තහවුරු කළ අතර පහරදීමට සම්බන්ධ අය ඇල්ලීමට පරීක්‌ෂණ ආරම්භ කළේය. මෙම ගම්මාන දෙක අතර ඇති බම්පර් හන්දියේ තාවකාලික ජංගම පොලිස්‌ මුරපොළක්‌ද යොදවනු ලැබීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.