රටට බත සැපයූ විද්වත්තු 04
ගොයමේ වයස හා උස අඩුකළ විද්වතා
ආචාර්ය එම්. පී. ධනපාල
ගොයමේ අස්‌වැන්න දැන් උපරිම තැනකට ඇවිත්

පාරම්පරික වීවලට එදා උනන්දු වූවානම්
අද ඒ ගතිගුණ තියෙන වැඩි අස්‌වනු වර්ග හදල ඉවරයි
රටේ අවශ්‍යතාව ගුණාත්මක සහල්

මීට අඩසිය වසරකට පමණ පෙර, එනම් 1969 වසරේ මැද භාගයේ දිනෙක, බතලගොඩ වී පර්යේෂණ ගොවිපළට අයත් කුඹුරක මඩේ ඇවිදිමින් සිටි තරුණයෙකි. බැසයන මළ හිරු රැසින් ගත නැහැවෙද්දී හෙතෙම ගොයම් ගසින් ගසට යමින් කුමක්‌දෝ නිරීක්‍ෂණය කරමින් සිටියේය. කාර්යාලීය වේලාව තුළත් ඩිජිටල් මෙවලම් වැළඳගෙන, සහෘදයන් හා චැට්‌ කරන ඇතැම් වර්තමාන නිලදරුවන් සේ නොව එදා ඔවුන් කාර්යාල වේලාවෙන් පසුව වුවද කුඹුරට බැස්‌සේ, රජයේ රැකියාවක්‌ ලබාගැනීම හරහා සිත් සතන් තුළට ආරෝපණය කරගත් භාරදූර වගකීම් සමුදාය නිසාය. තම ආයතන ප්‍රධානියා වූ විග්නරාජා මහතාගේ නිළ නිවාසය දෙසට ඇදෙන කහ පැහැති මෝටර් රථය ඔහුගේ ඇස ගැටුණේ අහම්බෙනි. එය හඳුනා ගැනීමට ඔහුට අපහසු වූයේ නැත. ඒ යමින් සිටියේ එවකට කෘෂිකර්ම ඇමැතිවරයා වූ එම්. ඩී. බණ්‌ඩා මහතාය. තම ප්‍රධානියා මේ මොහොතේ නිළ නිවසේ නොමැති බව දන්නා මේ ගැටවරයා කුඹුරෙන් ගොඩවී වාහනය දෙසට දිවයන්නට විය. මඩ තැවරී තිබුණත් හැඳ සිටි කොට කලිසම ඔහුගේ වේගවත් ගමනට මහත් රුකුලක්‌ ලබාදුනි. ඒ වන විටත් රථය අදාළ නිවසට ගොස්‌ හිමිකරු නැති බැවින් ආපසු එමින් තිබිණ. රථය ගැටවරයා අබියස නතර විණි. ඇමැතිවරයා විමසා සිටියේ ප්‍රධානියා කොහි සිටී ද යන්නයි.

'බොස්‌ නම් මේ වෙලාවේ නෑ සර්, ඒත් මට පුළුවන් දෙයක්‌ තිබේ නම් කියන්න, කරලා දෙන්නම්' තරුණයා වෙතින් තැනේ හැටියට ඇණයක්‌ ගැසුණි.

'තමුසෙට බෑ ළමයා' බලවතාගේ ප්‍රකාශය හමුවේ ළපටි සිත රිදෙන්නට ඇත. ඇමැතිවරයා යන්නට ගියේය. තරුණයා තම නවාතැනට ගොස්‌ මඩ සෝදාගෙන ඉස්‌තෝප්පුවේ පුටුවකට ඇලවුනි. ගොවිපළින් පිටවෙත්දී පිටස්‌තරයකුගෙන් ලැබුණු තොරතුරක්‌ මත වාහනය නැවත හරවාගෙන විත් තරුණයා සිටි නවාතැන ඉදිරියේ නැවතුණා පමණක්‌ නොව ඉන් බැසගත් එම්. ඩී. බණ්‌ඩා අමාත්‍යවරයා තරුණයා වෙතින් සමාව ඉල්ලා සිටියේ තම නොසැලකිල්ල පිළිබඳව තමාටම දොස්‌ නඟමිනි. ඔහු එදා පැමිණ ඇත්තේ ගොවියකුගේ ගැටලුවකට තාක්‍ෂණික උපදේශයක්‌ අපේක්‌ෂාවෙනි. ඒ එදා ඇමැතිවරුන්ගේ ගතිගුණය. එසේම රජයේ නිළ දරුවන්ගේ හැසිරීමය. ඉන් වසර 48 කට පමණ පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වසර 75 ක්‌ සැපිරීම නිමිත්තෙන්, විවිධ ක්‌ෂේත්‍රයන් උදෙසා තම ජීවිත කාලයම කැපකළ විද්වතුන් කිහිප දෙනකු තෝරාගෙන ප්‍රදානය කෙරුණු වජ්‍ර ජයන්ති සම්මානය, ශාක අභිජනනය උදෙසා ආචාර්ය එම්. පී. ධනපාල විද්වතාණන් වෙත 2017 ජූලි මස 06 වැනිදා පිරිනැමුණි. පෙර දිනකදී මඩ නාගෙන කෘෂිකර්ම ඇමැතිවරයාගේ රථය පිටුපස දිවගියේ ඔහුය. එදින ඇමැතිවරයා වැරදියට හඳුනා ගත්තද, මෙදින පේරාදෙණිය සරසවියට වැරදුණේ නැත. අඩ සියවසක්‌ මුළුල්ලේ රට සහලින් ස්‌වයංපෝෂණය කරන්නට සිදුකළ කාර්යසාධනය වෙනුවෙන් මෙම උපහාරය පුද දී තිබේ.

ඔහු සොයාගෙන පූගොඩ - හංවැල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි නිවසට ගොස්‌ ඔහු හා දොඩමළු වන විට මා දුටුවේ ලෝ සුපතළ කීර්තිමත් ශාක අභිජනන විද්‍යාඥයකු නොව සරල ගැමි චරිතයකි. එකම වෙනස නම් ඔහුගේ කතාබහ තුළ ඉලක්‌කගත අරමුණු හා විද්‍යාත්මක චින්තනය ගැබ්ව තිබීමයි.

'එක්‌දහස්‌ නවසිය තිස්‌ හතළිස්‌ ගණන්වල වී අස්‌වැන්න බලන්නකො. අද වෙනකොට අපි තුන් හතර ගුණයකින් ඒක වැඩිකරලා තියෙනවා. එහෙම නොවුණා නම් රට සහලින් ස්‌වයංපෝෂණය කරන්න බෑ.' හැම විටෙකම අපි යෑයි පැවසීමට ඔහු පරිස්‌සම් වේ. සහල් විප්ලවය තමා තනිවම කරගැසූ දෙයක්‌ නොවන බවත්, එය බතලගොඩ අභිජනන කණ්‌ඩායමේ ජයග්‍රහණයක්‌ බවත් ඔහු පවසයි. එම කණ්‌ඩායමට සහාය වීමට කීට විද්‍යා, ව්‍යාධි විද්‍යා වැනි ක්‌ෂේත්‍ර වලද විද්වතුන් සිට ඇත.

'අභිජනන කණ්‌ඩායමෙන් දැනට ජීවතුන් අතර ඉන්නේ මම විතරයි' හඬ බිඳීගොස්‌ මොහොතකට ඔහු නිහඬ වේ. වීරරත්න, සේනාධීර, සන්දනායක වැනි විද්වතුන්ගේ නම් සඳහන් කරන ඔහු ආචාර්ය විග්නරාජා ගැන විශේෂයෙන් මතක්‌කර දෙන්නේ බොහෝ දෙනකුට ඔහු අමතකව ඇති බව සඳහන් කරමිනි.

'අපේ සාම්ප්‍රදායික වී වර්ගවල අස්‌වැන්න අඩුයි. ඒ ගොයම් ගස්‌ උසයි. අනිත් කරුණ තමයි ඒවා මාස හතරක්‌ හෝ හතර හමාරක්‌ වයස්‌ ගතවෙන වර්ග. කාලය දිග වෙනකොට ආපදාත් වැඩියි. කන්න දෙකක්‌ වවන්නත් බෑ. මේ තත්ත්වයන් වෙනස්‌ කරන්නේ නැතුව අස්‌වැන්න වැඩි කරන්න බැරි බව අපිට තේරුණා. ඒ නිසා ගොයම් ගසේ උස අඩු කරන්නත්, වයස මාස තුන හෝ තුනහමාර දක්‌වා පහළ දාන්නත් තමයි මුලින්ම අපි අභිජනන වැඩසටහන් පටන් ගත්තේ. ආචාර්ය සේනාධීර තුනහමාරේ වයස්‌ කාණ්‌ඩය නිපදවන්න භාරගත්ත. මට වගකියන්න වුණේ මාස තුන වයස්‌ කාණ්‌ඩයට. එච්. හතර නමැති වී වර්ගය හදපු ආචාර්ය හෙක්‌ටර් වීරරත්න තමයි වැඩේ මෙහෙය වූයේ.'

ඔහු සඳහන් කරන පරිදි බතලගොඩ අභිජනන කණ්‌ඩායම එම ඉලක්‌කයන් සපුරාගෙන සාම්ප්‍රදායික වී වර්ගවලට වඩා දෙතුන් ගුණයක්‌ අස්‌වැන්න දෙන, කෙටි වයස්‌ කාණ්‌ඩයේ උස අඩු වී ප්‍රභේද ගණනාවක්‌ බී. ජී. සංකේත යටතේ ජාතියට දායාද කර තිබේ. ඒ අතරින් බී. ජී. 300 නමින් ගොවීන් අතර ජනප්‍රිය වූ මාස 3 වී වර්ගය ධනපාල විද්වතාණන්ගේ වැඩසටහනෙන් උපන් සුජාත දරුවෙකි. 1994 වසරේදී ශ්‍රී ලංකාවේ සම්පූර්ණ වී වගා වපසරියෙන් හතරෙන් එකක්‌ම වසා ගත්තේ මෙම වී ප්‍රභේදයයි. ඒ නිසාම 1996 දී කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාව විසින් කෘෂිකර්ම ක්‌ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩිම මෙහෙයක්‌ ඉටුකරන ලද විද්‍යාඥයාට හිමිවන සම්මානය ධනපාල මහතාට පිරිනමා තිබේ. දින 90 - 100 පමණ කෙටි කලකින් අක්‌කරයකට බුසල් 100 කට වැඩි අස්‌වැන්නක්‌ ලබාදෙන මෙම වී වර්ගය, කෘමි උවදුරු හා රෝගවලට පවා ඔරොත්තු දෙමින් විවිධ පරිසර තත්ත්වයන් යටතේ වගා කිරීමට හැකිවීම ගොවි ජනතාව ලැබූ මහඟු දායාදයකි.

මද්දුම පතිරන්නැහැලාගේ ධනපාල සිසුවා මූලික අධ්‍යාපනය ලැබුවේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ කල්එළිය සහ හාපිටිගම මහා විද්‍යාලයන්ගෙනි. 1957 වසරේදී අධ්‍යාපන ඇමති ධුරය දැරූ ආචාර්ය විජයානන්ද දහනායක මැතිඳුන් විසින් ඇරඹූ අටවැනි ශේ්‍රණියේ විද්‍යා ශිෂ්‍යත්වයෙන් සමත්වන ඔහු වේයන්ගොඩ බණ්‌ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළුවී, සරසවි පිවිසුම් මංපෙත් හෙළි පෙහෙළි කරගනී. 1968 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කෘෂිකර්ම උපාධිය හිමිකර ගනිමින් පර්යේෂණ නිලධාරියකු ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බැඳී බතලගොඩට පැමිණෙන්නේ වී අභිජනනය සඳහා යටි සිතේ නලියමින් තිබූ ආශාව නිසාමය. එහි සේවා කාලය තුළදී 1978 දී ජපානයේ සාගා සරසවියෙන් ශාක අභිජනනය පිළිබඳ දර්ශනපති උපාධිය ද, 1990 දී ඇමරිකාවේ උතුරු ඩැකෝටා විශ්වවිද්‍යාලයෙන් ප්‍රවේණි විද්‍යාව හා ශාක අභිජනනයට අදාළව ආචාර්ය උපාධිය ද ලැබීම සඳහා ශිෂ්‍යත්ව ලබා විෂයානුබද්ධ පරිපූර්ණතාවය ඔහු අත්කර ගනී. පශ්චාද් උපාධි ශිෂ්‍යත්වයන් ලබාදෙමින් ශ්‍රී ලංකාව කළ ආයෝජනයේ අස්‌වැන්න නෙළාගැනීමට දේශීය ගොවිජනතාවට එතරම් කලක්‌ ගත වූයේ නැත.

'ඉස්‌සර අපි පූර්ණ කාලීනව අවධානය යොමු කළේ අස්‌වැන්න වැඩි කිරීමට. සාම්ප්‍රදායික මාදිලි වලින් බැහැරවෙලා බී. ජී. මාදිලි හරහා සහල් විප්ලවය සිදුකළා. අද ලොකු උනන්දුවක්‌ නැවතත් ඇතිවෙලා තියෙනවා සාම්ප්‍රදායික වී වර්ගවලට. මේවායේ තියෙන ගුණාත්මක බව, ඖෂධීය ගතිගුණ ගැන අද කතාකරනවා. ඕවා සේරෝම පාලනය වෙන්නේ ජාන මගින්. ඔය ජාන ගලවල අරගෙන වැඩි අස්‌වැන්න දෙන මාදිලිවලට දාල, වී වර්ග හදන්න කියල එදා කිව්ව නම් අද වැඩේ කෙරිලා ඉවරයි. ඉලක්‌ක දෙන්නේ සමාජය විසින්නේ, ඒකට වෛද්‍යවරු, පෝෂණ විද්වතුන්, දේශපාලන බලධාරීන්, වගේ විවිධ සමාජ තලයන්ගේ අය සහභාගී වෙනවා, වැඩේ කරන්නයි කෘෂි විද්‍යාඥයා ඉන්නේ, එදා කිව්වේ අස්‌වැන්න ගැන විතරනේ. අද වුණත් වැඩේ පටන් ගන්න පුළුවන්. හැබැයි හෙට එළිවෙනකොට කරන්න බෑ. අවුරුදු හත අටක්‌ යයි.'

ඔහුගේ හඬ හදිසියේම ප්‍රාණවත් වූවා සේ දැනේ. මා අබියස අසුන්ගෙන සිටින කුඩා මිනිසා ගලිවරයකු සේ කතාකරයි. ඇසිපිය නොහෙළා මා සවන්දුන්නේ ඔහුගේ මුවෙන් කලඑළි බසින තවත් සහල් විප්ලවයක දෝංකාරයටය.

'කවුරු මොනවා කිව්වත් සාම්ප්‍රදායික වී වර්ග උසයි, දිගු වයසක්‌ යනවා, අස්‌වැන්නත් අඩුයිනෙ, ඉතින් ඇයි අපි ඒක පස්‌සෙම යන්නේ. ඒ නරක ලක්‌ෂණ අතහැරලා, ඒවායේ තියෙන හොඳ ලක්‌ෂණවලට අයිති ජාන වෙන්කරගෙන, දියුණු මාදිලිවලට ඇතුල් කරන එකනේ ශාක අභිජනනය කියල විශ්වවිද්‍යාලවල ළමයින්ට උගන්නන්නේ. මට හිතාගන්න බෑ, අලුත් පරපුරේ විද්‍යාඥයන්ට මෙය පෙන්වා දීල අපිට අවශ්‍ය වී වර්ග හදවන්නේ නැත්තේ ඇයි කියල, ඒක කෙරෙනතුරු පුළු පුළුවන් විදියට පාරම්පරික වර්ග එක්‌ක යමු, හැබැයි තිරසාර අනාගතයක්‌ සඳහා මේ වැඩේ කෙරෙන්න ඕනැ'

තරමක්‌ වේගවත් ස්‌වරයෙන් ඔහු තර්ක කරයි. දසමහ යෝධයන්ට පවා යෝධ බල යෝධ වීර්ය ලබාදුන් පාරම්පරික වී වර්ග වල ගුණය පිළිබඳව විවාදයක්‌ නැත. එදා 'බතලගොඩ කණ්‌ඩායම' අත්කරගත් සහල් විප්ලවයේ ජයග්‍රහණ පවා අද දියාරු වෙමින් යන්නේ සහල් පුරවාගත් විදේශික නෞකාවන් කොළඹ වරායේ නැංගුරම් දමන පරිසරයකය. පාරම්පරික වී වගා ප්‍රචලිත කිරීමට ඇතැම් පාර්ශ්වයන් යත්න දැරුවද ගොවියා ලබන සුළු අස්‌වැන්න හමුවේ ඒවාහි මිල අනිවාර්යයෙන්ම අධික වේ. මිල නියම වන්නේ රුපියල් සියයේ ගුණාකාර වලිනි. ලස්‌සන කවරවල අසුරා සුපිරි වෙළෙඳසැල්වල රාක්‌ක සරසන මෙම සහල් පැකට්‌ වෙත කිට්‌ටුවීමටවත් සාමාන්‍ය පාරිභෝගිකයා අසමත් වේ. බහුතර ජනතාවකට ඇත්තටම අවශ්‍ය වන්නේ පැරැන්නන් භාවිත කළ සහල් වර්ගයක නම යෙදූ බත් පතක්‌ නොවේ. පැරණි වී වර්ගවලින් තෝරාගත් ලක්‍ෂණ එක්‌තැනකට ගොනුකොට නිපදවූ අලුත් සහලකින් පිසූ බතකි.

Ñපරණ ජාති වලින්ම ගොඩයන්න හිතුවොත්, සාමාන්‍ය ජනතාවට ඒවා කන්න ලැබෙන්නේ නෑ. වැඩිවෙන ජනගහණය, අඩුවෙන කුඹුරු ඉඩම්, මිනිසුන් ගොවිතැනින් ඈත්වීම වැනි කරුණු ගැන හිතල දැන්වත් දෙවැනි සහල් විප්ලවය පටන්ගන්න ඕනෑ. ඒ තමයි හාල්වල ගුණාත්මක බව දියුණු කිරීමේ විප්ලවය. අස්‌වැන්න තවත් වැඩි කරන්න අමාරුයි. ඕනෙ නම් කරලේ බර ටිකක්‌ වැඩි කරල පොඩි තල්ලුවක්‌ ගන්න පුළුවන්. නමුත් රටට අද අවශ්‍ය වන්නේ ගුණාත්මක සහලේ විප්ලවයක්‌. මට ඒක දකින්න ලැබුණොත් මම හරි වාසනාවන්තයි.'

මෙතෙක්‌ වියළි පෙනුමක්‌ ගෙන තිබූ ඔහුගේ දෙනෙත දීප්තිමත්ව දිලිසෙන්නේ කඳුළින් පෝෂණය වූ නිසා දැයි මට සිතේ. 1982 වසරේදී ජනාධිපති සම්මානය හිමිකරගත් 'බතලගොඩ කණ්‌ඩායමේ' එක්‌ සාමාජිකයකු වූ මොහු එම වසරේදීම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පිරිනැමූ 'සෙරස්‌' පදක්‌කමින්ද ඔප වැටුණි. මීට අමතරව 1989 හා 1990 වසර දෙකෙහිදීම ඇමරිකාවේ උතුරු ඩැකෝටා විශ්වවිද්‍යාලයේ විශිෂ්ටතම පශ්චාද් උපාධි අපේක්‍ෂකයාට හිමිවූ ත්‍යාග දිනා ගනිමින් ජාත්‍යන්තරයේ ද ජයකෙහෙළි නැංවීය. 90 දශකයේ මුල් භාගයේදී සිදුවූ කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රතිව්‍යqහගත කිරීම හරහා අලුත් නමක්‌ යටතේ බිහිවුණු බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රථම අධ්‍යක්‌ෂ වන්නේද ඔහුය.

හුදකලා නිවසක, දරු මුණුපුරන්ගේ ගෞරවාදරය ලබමින් අනාගත සුබ සිහින දකින මෙම විද්වතාණන්ගේ ඉදිරි දැක්‌ම ගැන අසන්නට අද කෙනෙක්‌ නැත. රටේ අවාසනාව එයයි. මෙරට තත්ත්වය එසේ වුවත් ජාත්‍යන්තර ප්‍රජාව මෙවැනි හපනුන් තෝරා බේරා ගන්නේ හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා පරිද්දෙනි. තම කණ්‌ඩායම් සගයාවූ ආචාර්ය සේනාධීරගේ හදිසි වියෝවත් සමගම නිසි වයස පිරෙන්නටත් පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ලැබූ ආචාර්ය ධනපාල ජාත්‍යන්තර වී පර්යේෂණායතනයේ ආරාධනය පිළිගෙන පිලිපීනයට යන්නේ අනුබද්ධිත විද්‍යාඥ තනතුරක්‌ වසර දෙකහමාරකට භාර ගනිමිනි. එය අවසානයේ යළි දිවයිනට පැමිණ ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ ටික කලක්‌ සේවය කර, ජයිකා ආයතනයට බැඳී ජපානයට ගොස්‌ ආපසු එන්නේ වසර අටකට පසු 2012 වසරේදීය. ඒ සෑම තැනකදීම විදේශිකයන් ඔහුගේ වියත් සාරයෙන් පෝෂණය වූ බවනම් නොරහසකි.

Ñඅද කෘෂිකර්මයට අවිද්‍යාත්මක බලපෑම වැඩියි. අනාදිමත් කාලයක සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවියා සඳහාම රැකගෙන ආ සම්පත් පවා අද අහිමි වීමේ තර්ජනයක්‌ තියෙනවා. අපේ ගොවිපළවල් කාර්යක්‌ෂම කරන්න ඕනෑ. මේවයේ වටිනාකම අතීතයේ පවා තේරුම්ගෙන තිබුණ. බතලගොඩ වැවේ අන්තිම වතුර අඩි හය පිට ගොවිතැන්වලට මුදාහරින්න කලින් වාරිමාර්ග ඉංජිනේරුවරයා ඇවිත් පර්යේෂණායතනයෙන් අවසර ගන්න ඕනැ. ඒ අඩි හය වෙන් කරලා තියෙන්නේ පර්යේෂණ ආයතනයට. අදටත් ඒ නීතිය තියෙනවා. එදා ඒ වගේ නීති දැම්මේ කෘෂිකර්ම පර්යේෂණවල වටිනාකම දේශපාලන බලධාරීන් ඇතුළු සියලු දෙනා පිළිගත් හින්දයි. වැටත් නියරත් ගොයම් කනවා වගේ අද වැඩි හරියක්‌ වගකීම් පැහැර හරින්නේ අපේම කට්‌ටිය. කැපවීමෙන් පර්යේෂණ කරලා ඵලදායී දෙයක්‌ එළියට දාන්න අද බොහොමයක්‌ පර්යේෂකයන්ට ඕනෙකමක්‌ නෑ.'

ගොවිතැන නඟා සිටුවීමේ තම මූලික මෙහෙවර අමතක කර ජනතාවගේ භෝජන සුඛ විහරණය ගැන අවධානය යොමු කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උත්සුක වන බවක්‌ මගතොටේදී දකින්නට ඇත. ජනතාවගේ පෝෂණය සහ සනීපාරක්‌ෂක ආහාර පුරුදු ගැන සොයා බැලිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි. තම කාර්යභාරය ඉටුකර අවසන් නම් මෙවැනි අතිරේක වැඩට කරගැසුවාට කමක්‌ නැත. මෙම අරුමෝසම් සංදර්ශන නවතා අයාලේ යන නෞකාව යහ මගට ගැනීමට සමත් වන ආචාර්ය ධනපාල වැනි ධනාත්මක චින්තනයක්‌ සහිත බුද්ධිමතුන් කීප දෙනෙක්‌ තාමත් තැන තැන විසිරී සිටී. කුඹුරට නොබසින ඩිජිටල් කෘෂි විද්‍යාඥයන්ගෙන් අහිංසක දේශපාලනඥයාවත්, ඒ හරහා සමස්‌ත ගොවි ජනතාවත් මුදවා ගැනීමට මෙවැනි විද්වතුන්ගේ අනුශාසකත්වය ලැබීමට කාලය එළඹ තිබේ. එදා ගෞතම බුදුරදුන් එක දිශාවකට ජලධාරාද, තවත් පැත්තකට ගිනිදැල්ද මවමින් ශාක්‍ය වංශිකයන්ගේ පුහු මානය බිඳීමට යමාමහ පෙළහර පෑවාසේ, තම වගකීම පසෙකලා තාන්න මාන්නවලට පොරකමින්, දෙපාර්තමේන්තුව සමඟ නඩු හබවලට පැටලෙමින් සිටින ඩිජිටල් කණ්‌ඩායමේ ආටෝපය බිඳ දැමීමට, මහා පොළොවේ පය ගසා සිටින ආචාර්ය ධනපාල වැනි බුද්ධිමතුන් පෙරට ආ යුතුය. පෙළහර පෑ යුතුය. දේශපාලන බලධාරීන්ද දෙවරක්‌ නොසිතා එයට ආශීර්වාද කළ යුතුය.

ආචාර්ය ධනපාලයාණන්ගෙන් සමුගෙන ආපසු ඒමට සැරසෙද්දී තමා 1982 දී ලැබූ ජනාධිපති සම්මාන ඵලකය අතට ගත් ඔහු, එහි සඳහන් කර තිබූ වැකිය නැවතත් කියවා බලන ලෙස මට බලකර සිටී. එහි මෙසේ සඳහන් විය.

'ශ්‍රී ලංකාව සහලින් ස්‌වයංපෝෂණය කිරීම සඳහා දේශීය හරිත විප්ලවයට පාදක වූ අසිරිමත් දේශීය වැඩි දියුණු කළ වී වර්ග නිපදවීම සහ වී වගා තාක්‌ෂණය ජනනය හා ප්‍රචාරණය කිරීම සඳහා නායකත්වය ලබාදීමෙන් ජාතියට කළ උදාර මෙහෙවර වෙනුවෙන් දේශීයව හා ජාත්‍යන්තරව කීර්තියට පත් කෘෂි විද්‍යාඥ ආචාර්ය එම්. පී. ධනපාල මහතාට ජාතියේ උපහාරය මෙයින් පුදකෙරේ."

ගුණාත්මක සහලින් පිසුණු දේශීය බතක රස බලන්නට සමස්‌ත ශ්‍රී ලාංකිකයාට දොරගුළු විවර කරමින් දේශීය හරිත විප්ලවයේ දෙවැනි ඉනිමේ මංපෙත් පෙන්වා දෙන්නට, ආචාර්ය ධනපාල මැතිඳුනි ඔබට අවසර....

සනත් එම්. බණ්‌ඩාර

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.