සරත් ෆොන්සේකා රණවිරුවන් පාවාදෙන
ප්‍රකාශ කළ පළමු අවස්‌ථාව මෙය නොවේ

ප්‍රසන්න රණතුංග

අනුර බාලසූරිය

සරත් ෆොන්සේකා ඇමැතිවරයා රණවිරුවන් පාවාදෙන ප්‍රකාශයක්‌ කළ පළමු අවස්‌ථාව මෙය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ (5 දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ප්‍රසන්න රණතුංග මහතා-

සරත් ෆොන්සේකා ඇමැතිවරයා ජෙනරාල් ජගත් ජයසූරිය හිටපු හමුදාපතිවරයාට විරුද්ධව සාක්‍ෂි දෙන බවට කරපු ප්‍රකාශය අද රටේ කතාබහට ලක්‌වන දෙයක්‌ බවට පත්ව තිබෙනවා.

සරත් ෆොන්සේකා ඇමැතිවරයා රණවිරුවන් පාවාදෙන ප්‍රකාශයක්‌ කළ පළමු අවස්‌ථාව මෙය නොවෙයි. පළමුවෙන්ම සුදු කොඩි කාරණාවත් සමඟ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කරපු ප්‍රකාශය නිසයි ඔවුන් මේ කාරණාව මතු කිරීමට කටයුතු කළේ.

ෆීල්ඩ් මාර්ෂල්වරයා ආණ්‌ඩුවේ ඇමැතිවරයෙක්‌ ලෙස කරන ලද මේ ප්‍රකාශය අපි දකින්නේ රට පාවාදෙන ප්‍රකාශයක්‌ ලෙසයි.

මේ ප්‍රකාශය සම්බන්ධ රටේ අගමැතිවරයාගේ නිහඬ ප්‍රතිපත්තියෙන් අපට හැඟී යනවා ඔහු දැනුවත්ව මෙම ප්‍රකාශය කරන්න ඇති කියලා. ඒ නිසා මෙය ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ගේ මතයක්‌ ලෙසයි ජනතාව හඳුන්වා දෙන්නේ.

ෆීල්ඩ් මාර්ෂල්වරයාට එදා බෝම්බ එල්ල වුණේ යුද්ධයට ගිහින් නොවෙයි. කොළඹ හමුදා මූලස්‌ථානයේදියි බෝම්බ වැදුණේ. එදා මරාගෙන මැරෙන කාන්තාවක්‌ හමුදා මූලස්‌ථානයට ආවේ කොහොමද?

රණවිරුවන් ගැන අද කතා කරන අය එදා අනුරාධපුරයෙන් එහාට ගිහිල්ල නෑ කියලා සරත් ෆොන්සේකා මහතා කියා තිබුණත් ඔහුත් කොළඹ ඉඳන් තමයි මෙහෙයුම් කළේ. ඔහු උතුරට ගියේ ආරක්‍ෂාව ඇතුවයි. අහිංසක රණවිරුවනුයි ජීවිත පූජාකරමින් සටන් කළේ.

නිවැරදි දේශපාලන නායකත්වයක්‌ දෙමින් සේනාධිනායක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළ නිසයි යුද්ධය ජයග්‍රහණය කිරීමට හැකි වුණේ. අමාරුවෙන් ලබාගත් ඒ යුද ජයග්‍රහණය පාවාදීමක්‌ සරත් ෆොන්සේකා ඇමැතිවරයා කරන්නේ.

මෙය පෞද්ගලික න්‍යාය පත්‍රයකට කටයුතු කරන්නක්‌. අද අපට පෙනී යනවා එල්ටීටීඊ දෙමළ ඩයස්‌පෝරාවේ මුදල් ලබාගෙන රණවිරුව පාවාදීමට සරත් ෆොන්සේකා ඇමැතිවරයා කටයුතු කරනවාද කියන කාරණය අද මේ රටේ ජනතාවගේ කතාබහට ලක්‌වෙනවා.

ආණ්‌ඩුව නියෝජනය කරන මෙම ඇමැතිවරයා කරන ලද මෙම ප්‍රකාශයත් සමග විජයදාස රාජපක්‍ෂ මහතාට ගනු ලැබූ ක්‍රියාමාර්ගය සරත් ෆොන්සේකා ඇමැතිවරයා සම්බන්ධයෙනුත් අනුගමනය කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක්‌.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 66 වැනි සමුළුවට සහභාගී වන ලෙස මට කිසිදු ආරාධනාවක්‌ ලැබුණේ නැහැ. අපි පැහැදිලිවම කිව්වා ආරාධනයක්‌ ලැබුණත් එජාප ආණ්‌ඩුවත් සමග සිටිනතාක්‌ අපට පක්‍ෂ සමුළුවට යන්න බැහැ එනවානම් ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කිරීමට ඉල්ලා සිටියා.

66 වන පක්‍ෂ සමුළුවේදී යෝජනාවක්‌ සම්මත කෙරෙනවා 2020 ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවක්‌ පිහිටුවනවා කියලා. එහෙම කියලා පැය 24 යාමට පෙර ජනාධිපතිවරයා අගමැතිවරයා සමග එක්‌ව කියනවා ආණ්‌ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ 2025 වනතෙක්‌ හදන්න කටයුතු කරනවා කියලා.

එහෙම නම් 2020 වාමාංශික බලවේග සමග ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ එජාපය සමගද යන ගැටලුව අපට තිබෙනවා. බණ්‌ඩාරනායක මහතා එදා එජාප ප්‍රතිපත්ති අනුමත නොකළ නිසයි පක්‍ෂයෙන් ඉවත් වුණේ. ඉන්පසු පංච මහා බලවේගය හදලා ශ්‍රීලනිප ප්‍රතිපත්ති හැදුවා. අද නැවත වරක්‌ මේ ශ්‍රීලනිප එජාපයේ ගැට ගහලා. ජාතික ආණ්‌ඩුව හදාගෙන ශ්‍රීලනිපය අද කර ඇත්තේ බණ්‌ඩාරනායක මහතාට කරපු ලොකුම අගෞරවයයි.

ශ්‍රීලනිප ප්‍රමුඛ සභාග ආණ්‌ඩුවලට වැඩියෙන්ම හිරිහැර අපහාස කළේ එජාප ආණ්‌ඩු විසින්. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. එවැනි පසුබිමක්‌ තුළ බණ්‌ඩාරනායක ප්‍රතිපත්ති ගැන මේ අය කතා කිරීම ගැන අපි කණගාටු වෙනවා.

ශ්‍රීලනිප ප්‍රතිපත්ති 66 වැනි සමුළුවේ කතා කළත් ක්‍රියාත්මක වන්නේ එජාප ප්‍රතිපත්තිවලට සමාන දේවල්. ජාතික සම්පත් විකිණීම ශ්‍රීලනිප ප්‍රතිපත්තියක්‌ නොවෙයි. පසුගිය අවුරුදු දෙකහමාර තුළම ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරු මේවාට අත ඉස්‌සුවා.

සම්මේලනයට ගිය සමහරුන් කෑ ගැසුවේ රනිල් අපිට අපි රනිල්ට කියලයි. ඒ නිසා මෙය අපි දකින්නේ ශ්‍රීලනිප 66 වැනි සමුළුවට වඩා 2015 ජනවාරි 8 වැනිදා හංසයාට වැඩකරපු අයගේ සමුළුවක්‌ ලෙසයි. අපි අදටත් එජාප විරුද්ධ බලවේගයක්‌ ලෙසයි කටයුතු කරන්නේ.

සරත් ෆොන්සේකාගේ ඇමැතිවරයාගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක්‌ අනුව ඔහු කටයුතු කරන්නේ. ඔහු හමුදාපතිව සිටියදී ඔහුගේ පාසල් අවධියේ හිටපු අය සමග තිබූ තරහ මරහ පිරිමසා ගන්නේ හමුදාපතිට සිටියදී මේ වගේ අය පාර්ලිමේන්තුවට සුදුසු නෑ.

එල්ටීටීඊ දෙමළ ඩයස්‌ පෝරාවේ අවශ්‍යතාවය ඉටුකිරීමට මෙවැනි ප්‍රකාශ කළාද? මේ ගැන සොයා බැලීම ආණ්‌ඩුවේ වගකීමක්‌.

2015 ජනවාරි 8 ශ්‍රීලනිපය බෙදුණේ. නමුත් පාක්‍ෂිකයෝ බහුතරය සිටින්නේ අප සමගයි. පක්‍ෂයේ ප්‍රතිපත්ති රකින පාක්‍ෂිකයෝ සිටින්නේ අපිත් සමග.

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් මහතා-

ශ්‍රීලනිපය සමග අපට ඇත්තේ ඓතිහාසික බැඳීමක්‌. අපි හැමවිටම පක්‍ෂය හා පාක්‍ෂිකයා ආරක්‍ෂා කර ගනිමින් කටයුතු කරන පිරිසක්‌. ශ්‍රීලනිප නිල තනතුරු ලබාගෙන තිබෙන පිරිස පුන පුනා කියා සිටියා පක්‍ෂ සමුළුවට අපට ආරාධනාපත් කුරියර් සේවයකින් එව්වා කියලා. ඒ තනතුරු ලාභීන්ට අපි මතක්‌ කර දෙනවා කුරියර් සේවයකින් ලියුමක්‌ එව්ව පමණින් සමුළුවට එන්න පුළුවන් කමක්‌ නැහැ කියලයි.

ශ්‍රීලනිප ශක්‌තිය දුන්න පෝෂක බලවේගය මේ වන විට අත්හැරලා ඉවරයි. කවදාහරි දිනක පක්‍ෂයට තේරෙයි පක්‍ෂයට කරන හානිය.

අපි තවදුරටත් ශ්‍රීලනිපය පෝෂණය කරපු බලවේගයන් සමග එක්‌වෙලා නැවත වරක්‌ පොදුජන යුගයක්‌ බිහි කිරීමේ සටන ආරම්භ කර තිබෙනවා. ඒ සටන විජයග්‍රහණයක්‌ කරා ගෙන යනවා.

පක්‍ෂයේ විනය කඩ කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ අපට පෙර විනය කඩ කරපු අයට අපට එරෙහිව විනය පරීක්‍ෂණ කිරීමට සාදාචාරත්මක අයිතියක්‌ නැහැ. අපි පක්‍ෂයට පණටත් වැඩිය ආදරය කළ පිරිසක්‌.

ශ්‍රීලනිපයේ දැන් කණ්‌ඩායම් හතරක්‌ ඉන්නවා. ඒ උරුමක්‌කාරයෝ, කරුමක්‌කාරයෝ, පන්දම්කාරයෝ හා යූඑන්පීකාරයෝ කියලා. පාක්‍ෂිකයාට අද පක්‍ෂය ගැන හැඟීමක්‌ නැතුව ගිහින්.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.