බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම:
ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌

සිවමෝහන් සුමති
පරිවර්තනය - එරික්‌ ඉලයප්ආරච්චි

ග්‍රෙගරි සැම්සන් තව ස්‌වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිතභාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක්‌ (hill station) බව කිව හැකිය. ඔහුගේ පෙම්වතියන්ගෙන් කෙනකු වන ඇය, එනම් තානායමේ පිළිගැනීම් කවුන්ටරයේ සිටින්නිය ඔහුගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් සිටින්නා සේ ය. එසේ නැති නම්, ඔහු ඉක්‌මනින් අවබෝධ කර ගන්නා පරිදි ඔහු වෙනුවෙන් බලා සිට වෙනකෙකු සමඟ විවාහ වන්නට තීරණය කර ඇත. වඩාත් කුතුහලයට තුඩු දෙන කාරණාව වන්නේ ඇය ළඟ දී විවාහ වුණු සැමියාත් සමඟ රට හැර යැමට සූදානම් වී සිටීමයි. එය සිදු වන්නේ චිත්‍රපටය තුළ නොකියවෙන උඩරට දෙමළ ප්‍රජාවගේ ඡන්ද අයිතිය අහෝසි කළ 1948 පුරවැසි පනත නිසා ඇති වුණු පලවා හැරීමක්‌ ලෙසිනි.

අඳුරු පෙරනිමිති මැදින් උභතෝකෝටික ලෙස ස්‌වරූප ආරම්භ වන්නේ, මනුෂ්‍ය ප්‍රාණියකු ලෙස ග්‍රෙගරි සැම්සන්ගේ අඳුරු ඉරණම අපට හඳුන්වා දෙන මේ සුළු හා උපේක්‌ෂා සහගත සඳහනෙනි. එය ෆ්රාන්ස්‌ කෆ්කාගේ රූපාන්තරණය (මෙටමෆොaසිස්‌) කෙටි නවකතාවට නොගැලපෙන ආරම්භයක්‌ සේ ය. ඉතා ඉක්‌මනින් එය බොහෝ දුරට ඩිලුසියානු රයිසෝමයක්‌ (Deleuzian rhizome) ලෙස වෙනත් අවකාශයකට, එනම් ග්‍රෙගරි සැම්සන් ඒ රාත්‍රියේ නිදා ගන්නා හෝටලයේ අවකාශයට මාරු වෙයි. එහි ඔබට හමුවන්නේ මෙහෙකරුවෙකි. ඔහු ද උඩරට දෙමළ ප්‍රජාවේ සාමාජිකයකු බව කෙනකුට අනුමාන කළ හැකි අතර ඒ අවකාශය ද හෝටලයේ අඳුරු කොරිඩෝරයන්ට හෝ එසේ නැති නම් අවසානයේ දී සිදුවන පරිදි රෝහලේ අඳුරු අවකාශයන්ට හෝ මාරු වෙයි. ඖෂධ වෙළෙඳ නියෝජිතයකු වූ ග්‍රෙගරි සැම්සන් ඒ මෙහෙකරුවාට බෙහෙත් සාම්පලයක්‌ තිළිණ කරමින්, සමාජ කේන්ද්‍රයේ නොව ගැට්‌ටේ හා සීමාවේ සිදු කරන වචන විරහිත නාටකය අපට වෙළුම් ගණනක කතාවක්‌ කියයි.

'පංති සටන මිනිස්‌ ශරීරය තුළම සිදු වෙනවා. කාල් මාක්‌ස්‌ටත් ඒ වැදගත් කාරණය මගහැරුණා' යි මධ්‍යකාලීන කාය ව්‍යවච්ඡේදක (anatomist) මොන්ඩිනෝ න්‍යාය විස්‌තරාත්මකව පැහැදිලි කරමින් කාය ව්‍යවච්ඡේද විද්‍යා මහාචාර්යවරයා පවසයි. මේ චිත්‍රපටයේ සෑම හැරවුම් ලක්‌ෂ්‍යයක දී අපට පංතිය මුණගැසෙයි. එය මියෑදෙන වැඩවසම් රදල පංතියක්‌ සමාජ වෙනස්‌වීම්වලට එරෙහිව සිදු කරන අරගලය නිරූපණය කරන චෙකොවියානු දෝංකාරයන් සහිත ය. සිය නාට්‍යවල දී ඇන්තන් චෙකොව් පිරිහෙන පංතියක මරණය වෙනුවෙන් වැළැපීමත්, එය උත්සවාකාරයෙන් සැමරීමත් සිදු කරන නමුත් සැම්සන් පවුල රදල පංතියට අයිති නොවේ. එය ඉහළ පංතික සෝබනය සහ අපේක්‌ෂා සහිත බහුපරිමාණික සරණාගත පවුලකි.

මේ චිත්‍රපටය තමා විසින් නිර්මාණය කර ගන්නා ලද විවේචනාත්මක යථාර්ථවාදයක්‌ තහවුරු කරයි. පවුල පැහැදිලිව සිටින්නේ ගැට්‌ටේ, මායිමේ හෙවත් මාජිනයේ ය (margin). පවුල භාවිත කරන්නේ ප්‍රධාන භාෂාව නොව සුළු භාෂාවකි (minor language). එය එක්‌තරා ඉංග්‍රීසි හැඩයක්‌ ගත් සිංහල (Anglicized Sinhala) වන එය අවශ්‍යයෙන්ම ඉංග්‍රීසි කතා කරන මධ්‍යම හා පහළ මැද පංතියක්‌ කතා කරන බසක්‌ නොවූවත් එම පවුලේ පංතික හා වාර්ගික මූලයන් වනිත කරයි. ඉංග්‍රීසි - කේන්ද්‍රීය සමාජය සහ සීමාවාසී ආන්තිකතාව (Anglo and marginality) අප සාමාන්‍යයෙන් එකට එක සම්බන්ධ කර දකින පැතිකඩවල් නොවේ. ශ්‍රී ලංකාවේ පංතීන් ගැන කතා කරන සෑම චිත්‍රපටයක්‌ම පාහේ ඉංග්‍රීසි සමාජය ඉහළ මැද පංතියේ පවුලක්‌ සමඟ ගැටගසයි. එනමුත් මේ චිත්‍රපටයේ අපට සිටින්නේ තමා තවමත් රාජකීය ගොල්ෆ් සමාජයේ සාමාජිකයකු බවත්, බෲනායි රජු සමඟ එකට අධ්‍යාපනය ලැබූ ආදිත්‍ය තමාගේ ව්‍යාපාරික හවුල්කාරයා බවත් කියමින් කෙළවරක්‌ නැති පුරසාරම් දොඩවන හිටපු හමුදා නිලධාරියකු වූ හර්මන් ය. කටුක ජීවන අරගලයේ යෙදුණු හර්මන්, ඔහුගේ බිරිඳ මාර්තා, සොහොයුරිය ගේ්‍රටා සහ ග්‍රෙගරි පවා යෑපෙන්නේ ඖෂධ වෙළෙඳ සේවකයකුගේ සුළු ආදායමෙනි. එනමුත් ගේ්‍රටාට වෘත්තීය වයලීන වාදිකාවක්‌ වීමටත්, ඒ සඳහා ටි්‍රනිටි විද්‍යාල විභාග සමත් වීමටත්, හර්මන්ට දිගටම රෝයල් ගොල්ෆ් සමාජයේ සාමාජිකත්වය රඳවා ගන්නටත් වුවමනාය. රජ පවුලක්‌ ලෙස ජීවත් වීමට වුවමනාව ඇති එම පවුලට වැඩ කිරීමට සිදු වන අතර මව මාර්තාට ඇඳුම් මැසීමේ රැකියාව කරන්නටත්, වයලින් වාදිකාවක වීමේ අභිලාෂයෙන් හෙබි ගේ්‍රටාට පවුලේ මිතුරකුගේ සමාගමක සේවය කරන්නටත් සිදු වේ. කලින් හමුදාවේ රැකියාව කිරීම ප්‍රයෝජනයට ගනිමින් පියා රාත්‍රි මුරකාරයෙක්‌ වෙයි.

ස්‌වරූප මගින් ඉංග්‍රීසි කතා කරන පහළ මැද පංතියේ කතෝලික පවුලක්‌ සිය පශ්චාත්-යටත්විජිත (post - colonial) දේශයෙහි සිදු කරන ගැඹුරු සාකච්ඡා සභාවේ මධ්‍ය කේන්ද්‍රය ලෙස ස්‌ථාපනය කර ගැනීම රැඩිකල් පියවරකි. අශුභ පෙරනිමිති පෙන්වන ඖෂධ කොම්පැණි මගින් පෙන්නුම් කරනු ලබන නැගී එන ධනේශ්වර වෙළෙඳපොළ දොරකඩටම පැමිණ තිබේ. කාය ව්‍යවච්ඡේද දේශන ශාලාව හා තියටරය මරණය පෙන්වන ස්‌ථානයක්‌ වන අතරේම වෛද්‍ය සංස්‌ථාපිතය පංති අරගලයේ නව බිම වන්නේ කෙසේ දැයි පෙන්වයි. කාය ව්‍යවච්ඡේද පංති කාමරයේ සහ දේශන පීඨයේ විචිත්‍ර පරිසරය පුරවැසි ව්‍යqහයේ (civic public structure) නිරූපණයක්‌ බව පෙනෙන අතරේ මහා විද්‍යා පුනර්ජීවන කලාවේ (Renaissance art) කාව්‍යමය නිරූපණයන් සහ මුල්-නූතනත්වයේ (early modernity) කතිකාවන් ද, පොදු මහජන වෙළෙඳපොළ ඇතුළු පුරවැසි ව්‍යqහයන් සහ මහජන අවකාශය (public space) ද සිහිපත් කරවයි. සමගාමී ලෙසත්, පෙරළිකාරී ලෙසත් කෙනකුට මුල්-නූතනත්වය සහ පශ්චාත්-යටත්විජිතත්වය (postcoloniality) ආවර්ජනය කළ හැකි වේ.

ග්‍රෙගරි මිනිස්‌ වංශය තුළ තව දුරටත් සිටින්නේ ද නැද්ද යන්න පිළිබඳ තෝරා ගැනීමක්‌ සිදු කරන අතර (මේ අදහස මා සමඟ පැවසුවේ පසුගිය අගෝස්‌තු 15 වැනිදා චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයට සහභාගි වූ නිකොලා පෙරේරා විසිනි), එසේ කිරීමෙන් ජාතියෙන්ම තමන් සමුගන්නේ ද නැද්ද යන්න පිළිබඳව ද තෝරා ගැනීමක්‌ කරයි. එය උත්ප්‍රාසාත්මක ලෙස අඩු වැඩි වශයෙන් ඔහු තමා අනතුරට යොමු කිරීමකි. එය තොරා ගැනීමක්‌ ලෙස හැඳින්විය හැකි නම් ඔහු කරන්නේ තෝරා ගැනීමකි. එනම්, තමන් වැඩ කරන තැන අහුමුලුවල, බෝතල් කුප්පි අතරේ, තීන්ත කූඩුවේ, අල්මාරිවල, දින පොත්වල, කාමරයේ කුණු කසළ ආදිය අතරේ නොපෙනී යැමකි. මනුෂ්‍යයකු ලෙස මිය නොයන ඔහු කුරුමිණි ජීවියෙක්‌ ලෙස මියයන අතර කසළ බාල්දියට දමා පසුව කුණු කන්දට රැගෙන ගොස්‌ වීසිකර දමනු ලැබේ. කසළකරණයට පාත්‍රවන ඔහු මනුෂ්‍ය කසළ කන්ද තුළට උරා ගනු ලැබේ. මීතොටමුල්ල ෙ€දවාචකයෙන් පසු මේ චිත්‍රපටය නරඹන්නකු එහි ඇතුළත් වී තිබෙන අනාගතවාදී වනිය දැක තිගැස්‌සෙනු ඇත.

අධියථාර්ථවාදී (Surreal) පැත්ත අතින් ස්‌වරූප, පාර දිගේ චිත්‍රපටයට බෙහෙවින් සමීප ය. මිනී කපන මේසය උඩ බාවා තිබෙන මළමිනියේ ඇසක්‌ අඩක්‌ විවෘත වන විට සාප්පු කවුළුවක තබා තිබෙන විලාසිතා ඩමියක්‌ පාරේ නැවතී එදෙස බලා සිටින්නකු වෙත ඇසින් ඉඟි කරනු දුටු මතකයෙන් කෙනකුගේ සිත ගැස්‌සෙයි. පාර දිගේ චිත්‍රපටය පශ්චාත්-යටත්විජිත ජාතියක උප්පත්ති මොහොත හා එහි කාංසාභරිත අන්තර්ගතය ඒ අයුරින්ම නිරූපණය කරන අතර උපදින්නටත් කලින් කඩා වැටුණු පශ්චාත්- යටත්විජිත ජාතියක්‌ දෙස ස්‌වරූප චිත්‍රපටය නෙත් හෙළයි. තිස්‌ අවුරුදු යුද්ධයකින් හා නිදහස ලැබීමෙන් හැත්තෑ අවුරුද්දකට පසු ජාතියේ ප්‍රගතිය ලෙස අපට දීමට තිබෙන්නේ කුමක්‌ ද ? ප්‍රබන්ධ යථාර්ථයක්‌ නොවන කායිකතාව, ස්‌පර්ශ කළ හැකි ප්‍රතිරූප සහ දේශපාලන ගුප්තාර්ථය අතින් ස්‌වරූප නරඹන කෙනකුට තර්කොව්ස්‌කි සිහිපත් වෙයි. එනමුත් ස්‌වරූප තර්කෝවස්‌කියානු චිත්‍රපටයක්‌ නොවේ. එය තර්කෝව්ස්‌කියානු සිනමා ව්‍යවහාර සම්ප්‍රදායක්‌ උසුලා නොසිටියි. චිත්‍රපට කලාව පිළිබඳව අපගේ මතිමතාන්තර විභාග කිරීමටත්, සමකාලීන සිනමා නිර්මාණ භාවිතය විභාග කරන්නටත් එය අප පොළඹවයි.

(සිවමෝහන් සුමති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව සේවය කරන අතර සිනමාකාරියක්‌ ද, වේදිකා නාට්‍ය ක්‍රියාකාරිනියක්‌ ද වේ)

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.