ඉන්දියාවේ ජනපති
පුටුවට ආ දාලිත්වරයා
...

ජයරත්න දේවපතිරාජ


ඉදිරි පස්‌ වසරක කාලය ඉන්දියාව පාලනය කරන රාෂ්ට්‍රපති හෙවත් ජනාධිපතිවරයා ලෙස කෘතහස්‌ත රාජ්‍ය තාන්ත්‍රිකයෙක්‌ වන රාම් නාත් කෝවින්ද් මහතා පසුගිය ජුලි 25 දා නව දිල්ලියේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ මධ්‍යම ශාලාවේ දී එරට අග්‍රවිනිශ්චයකාර ජගදීස්‌ සිං කේහාර් ඉදිරියේ ව්‍යවස්‌ථානුකූලව දිවුරුම් දී වැඩ භාරගත්තේය. ඔහු ඉන්දියාවේ ජනාධිපති තනතුරට පත් වූ 14 වැන්නා වන අතර උග්‍ර කුලභේදයක්‌ ඇති එරට කේ. ආර්. නරායනන්ට පසුව කුලධූරාවලියේ පහළින්ම ඇති දාලිත් කුලය නියෝජනය කරමින් එකී තනතුරට පත් දෙවැන්නාය. එමෙන්ම භාරතීය ජනතා පක්‌ෂයෙන් පත්වූ පළමු වැන්නාය. ඊට පෙර 2002 වසරේ ජනාධිපතිවරණය පැවති අවස්‌ථාවේ ද බලයේ සිටියේ භාරතීය ජනතා පක්‌ෂයේ ආණ්‌ඩුවක්‌ නමුත් ඔවුන් එවර තරගයට ඉදිරිපත් කළේ සෘජුවම තම පක්‌ෂයට සම්බන්ධ පුද්ගලයෙකු නොව ඉන්දියාවේ න්‍යෂ්ටික අවියේ පියා ලෙස සමස්‌ත සමාජයේම අතිශය ගෞරවාදරයට පත් කීර්තිමත් විද්‍යාඥයෙකු වූ අබ්දුල් කලාම් ය. මේ නිසා ප්‍රධාන විපක්‌ෂය වූ ඉන්දීය ජාතික කොංග්‍රසය සමග තවත් බොහෝ දේශපාලන කණ්‌ඩායම්වල සහය ඔහුට හිමිවූ බැවින් ඔහු 90% කට වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජනාධිපති ලෙස තේරී පත්විය. ඉන්දියාවේ මීළඟ මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2019 දීය. අගමැති නරේන්ද්‍ර මෝඩි සිය ජනාධිපති අපේක්‌ෂකයා ලෙස කෝවින්ද් තෝරා ගැනීමට හේතුව තම බලය ශක්‌තිමත් කර ගැනීමට මෙන්ම එළඹෙන මැතිවරණයේදී කෝටි 22 කට අධික දාලිත් ප්‍රජාවේ සහයෝගය දිනාගැනීමේ අරමුණෙනි.

සහස්‍ර තුනකට එපිට බිහිවූ විශිෂ්ට නාගරික ශිෂ්ටාචාරයකට උරුමකම් කියන, ලොව දෙවැනි විශාලතම ජනගහනය සහිත, ලොව තෙවන විශාලතම හමුදාව ඇති, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ, කලාපීය පමණක්‌ නොව ගෝලීය බලවතෙකු ද වන ඉන්දියාව යටත් විජිතවාදයෙන් හෙම්බත්ව දිගු කාලීන හා අති දුෂ්කර නිදහස්‌ අරගලයකින් පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස දිනාගත්තේ 1947 දීය. එසේ වුවත් නිදහස ලැබුණේ යටත් විණිතවාදීහු හැම තැනකදීම ක්‍රියාවට නැංවූ බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය අනුව යමින් දැවැන්ත රට දෙකඩ කිරීමෙන් හෙවත් ඉන්දීය උප මහද්වීපය තුළ ආගමික පදනම මත රටවල් දෙකක්‌ නිර්මාණය කරමිනි. ඉතිහාසයේ කිසිදු දිනෙක තනි රටක්‌ ලෙස නොපැවති ඉන්දියාව දේශපාලන හා පරිපාලන වශයෙන් ඒකීය රටක්‌ බවට පත්කළේ බ්‍රිතාන්‍ය පාලකයෝය. ඒ අනුව නූතන ඉන්දියාව නමැති ජාතික රාජ්‍යය බිහිකිරිමේ ගෞරවය ඔවුන්ට හිමි වේ. නමුත් ඔවුහු නිදහස දීමේ දී මුස්‌ලිම් බහුතරයක්‌ ජීවත්වන ප්‍රදේශ එකට එක්‌කර ඉන්දීය උප මහද්වීපය තුළ මුස්‌ලිමුන් සඳහා පාකිස්‌ථාන් නමින් අලුත් රටක්‌ නිර්මාණය කළ අතර ඊට 1947 අගෝස්‌තු 14 වැනි දින නිදහස ප්‍රදානය කළහ. හින්දු, ෂීක්‌, ජෛන, බෞද්ධ ආදී අනෙකුත් සියලුම ආගමිකයන් ඉන්දියාව නමැති ඉතිරි කොටසේ රඳවා එයට ඊට පසුදින එනම් අගෝස්‌තු 15 වැනි දින නිදහස ප්‍රදානය කෙරිනි. එය එරට ඉතිහාසය තුළ යටත් විජිතවාදය නිසා ඉන්දියාව මුහුණ දුන් අතිශය නින්දිතම ඉරණම ලෙස සැලකිය හැකිය.


ඉන්දියාව සහ පාකිස්‌ථානය නමැති රටවල් දෙකම 1947 දී දිනා ගත්තේ පූර්ණ නිදහසක්‌ නොව බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ ඩොමීනියන් තත්ත්වයේ නිදහසකි. මේ අනුව රටවල් දෙකේම නාම මාත්‍රික විධායක ප්‍රධානියා ලෙස බ්‍රිතාන්‍යයේ 6 වන ජෝර්- රජු කටයුතු කළ අතර ඔහුගේ නියෝජිතයා ලෙස එකී වගකීම් ඉටුකිරීම සඳහා රටවල් දෙකෙහිම අග්‍රාණ්‌ඩුකාර නමින් තනතුරු දෙකක්‌ ස්‌ථාපිත කෙරිනි. කෙසේ වෙතත් ඉන්දියාව ඉතා ඉක්‌මනින්ම ඩොමීනියන් තත්ත්වයෙන් මිදී පූර්ණ ස්‌වාධීන ජනරජයක්‌ බවට පත්වීම සඳහා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරගත් අතර එය 1949 නොවැම්බර් 26 වන දින සම්මත කරගන්නා ලදුව 1950 ජනවාරි 26 වන දින සිට ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ කිරීටය සමග පැවති සියලු සම්බන්ධතාවලින් ඉවත්ව අග්‍රාණ්‌ඩුකාර තනතුර වෙනුවට රටේ රාජ්‍ය නායකත්වය සඳහා ජනාධිපති ධුරයක්‌ ස්‌ථාපිත කෙරිනි. මහත්මා ගාන්ධි සමග නිදහස්‌ සටන් ව්‍යාපාරයේ සිටි නායකයෙකු වූ ආචාර්ය රාෙ-න්ද්‍ර ප්‍රසාද් නව ඉන්දීය ජනරජයේ පළමු ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගන්නා ලදී. ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භය ක්‍රි. පූ. 5 වැනි සියවසේ දී පමණ ග්‍රීසියේ පෞර රාජ්‍ය පදනම් කරගෙන සිදු වූ බව පිළිගන්නා නමුත් ඇත්ත වශයෙන්ම මහජන පාලන තන්ත්‍රයන් පිළිබඳ මුල්ම ආදර්ශයන් හමුවන්නේ ග්‍රීසියෙන් නොව ඉන්දියාවෙනි. එනම්, බුද්ධ කාලීන භාරතයේ හෙවත් ක්‍රි. පූ 6 වන සියවසේ දක්‌නට ලැබුණු ගණ තන්ත්‍රයන්ය. ගණ තන්ත්‍ර යනු මහජන රාජ්‍යයන්ය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව පිළිබඳව දිගු ඉතිහාසයක්‌ ඉන්දියාවට ඇත. අදටත් ලෝකයේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන්නේ ඉන්දියාවයි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දැක්‌වෙන පරිදි ඉන්දියාව යනු ස්‌වාධීන, සමාජවාදී, අනාගමික හා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි. නමුත් පාකිස්‌ථානය යනු ව්‍යවස්‌ථාවෙන්ම ඉස්‌ලාමීය රාජ්‍යයකි. පාකිස්‌ථානයේ නිරන්තරයෙන්ම පාහේ හමුදා කුමන්ත්‍රණ හා අධිකරණ මැදිහත්වීම් මගින් ඇතිවන බලපෙරළි සිදුවුවත් ඉන්දියාවේ එවැන්නක්‌ කිසිදාක සිදු වී නැත. ඊට හේතුව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අවංක නැමියාවක්‌ නිදහස්‌ සටනේ පුරෝගාමීන්ගේ පටන්ම පැවතීමයි. බහු පක්‌ෂ ප්‍රජාතන්ත්‍රවාදය අනුව පිළිගත් ජාතික දේශපාලන පක්‌ෂ 7 ක්‌ හා ප්‍රාදේශීය මට්‌ටමේ දේශපාලන පක්‌ෂ 40 කට වැඩි ගණනක්‌ එරට පවතියි. ආරම්භයේ පටන් 1977 - 1980 අතර කෙටි කාලයක්‌ හැරුණු විට 80 දශකය අවසානය දක්‌වාම සමස්‌ත ඉන්දියාව පුරාම ආධිපත්‍යය දැරුවේ නේරු - ගාන්ධි පරපුරෙන් පැවත ආ ඉන්දීය කොංග්‍රස්‌ පක්‌ෂයයි. නමුත් 1990 න් පසුව භාරතීය ජනතා පක්‌ෂය සහ ප්‍රාදේශීය පක්‌ෂ ජාතික දේශපාලනය හසුරුවන තැනට පත්විය. කොංග්‍රසය මධ්‍ය වාමාංශික වන අතර හින්දුත්ව සංකල්පය මත පදනම් වන බී. ෙ-. පිය අන්ත දක්‌ෂිණාංශික වේ. 1989 න් පසුව කිසිදු පක්‌ෂයකට ලොක්‌ සභාව තුළ නිරපේක්‌ෂ බහුතරයක්‌ දිනා ගැනීමට නොහැකි වූ අතර ආණ්‌ඩු පිහිටුවීම සඳහා කුඩා පක්‌ෂවල සහය සෙවීමට සිදුවිය. මේ අනුව පක්‌ෂ දේශපාලනය අභිභවා සන්ධාන දේශපාලනය ඉස්‌මතු විය. මේ තත්ත්වයේ පැහැදිලි වෙනසක්‌ සිදුවන්නේ 2014 මහා මැතිවරණයේ දීය. ඒ ගුජරාටයේ මහ ඇමතිවරයා වශයෙන් කටයුතු කළ නරේන්ද්‍ර මෝඩි ගේ නායකත්වය යටතේ තනි පක්‌ෂයක්‌ වශයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ නිරපේක්‌ෂ බහුතරයක්‌ දිනා ගැනීමට බී. ෙ-. පිය සමත් වීමයි.

ඉන්දියාවේ ජනාධිපති යනු රාජ්‍ය නායකයා, විධායකයේ ප්‍රධානියා මෙන්ම සන්නද්ධ හමුදාවල උත්තරීතර අණ දෙන්නාය. එහෙත් මේ තත්ත්වය හුදු ව්‍යවස්‌ථානුකූල තත්ත්වයක්‌ පමණි. සැබෑ විධායක බලය දරන්නේ අගමැතිවරයාය. ඔහු ආණ්‌ඩුවේ මෙන්ම පාර්ලිමේන්තුවේ ද නායකයා ය. මේ අනුව ජනාධිපති යනු නාම මාත්‍රික විධායක තත්ත්වයක්‌ උසුලන ගෞරවාන්විත, අපක්‌ෂපාතී සහ ස්‌වාධීන තනතුරකි. මේ නිසා ජනාධිපතිවරයකුට එම තනතුරට පත්වීමට පෙර දේශපාලන මතයක්‌ තිබිය හැකි මුත් පත් වූ පසුව එසේ විය නොහැක. මේ තත්ත්වය මත මුල් කාලයේ ජනාධිපති පදවියට තරග කර ජයගත් සියලු දෙනාම පාහේ ඉදිරිපත් වූයේ ස්‌වාධීන අපේක්‌ෂකයන් වශයෙනි. එහෙත් 1974 ඉන්දිරා ගාන්ධි අගමැති පදවිය දැරූ සමයේ දී පළමු වරට පක්‌ෂ පදනම මත ජනාධිපතිවරයෙක්‌ තෝරා පත්කර ගත්තේය. ඒ අනුව අද ජනාධිපති අපේක්‌ෂකයන් සෘජුවම දේශපාලන පක්‌ෂ අනුව තරග කරන තත්ත්වයක්‌ ඇති වී තිබේ.

එක්‌ පුද්ගලයෙකුට ජනාධිපති පදවිය දැරිය හැකි වාර ගණන පිළිබඳ සීමාවක්‌ ඉන්දියාවේ නැත. එබැවින් හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජිම දෙවන වතාවේත් තරග කරනු ඇතැයි මුලින් අපේක්‌ෂා කළ ද සෞඛ්‍ය හේතුමත ඔහු ඊට අකමැති විය. මේ අනුව ඔහුගේ නිල කාලය ජූලි මස 24 වන දා අවසන් විය. භාරතීය ජනතා පක්‌ෂය ප්‍රමුඛ පාලක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (NDA) උත්තර් ප්‍රදේශ්හි කන්පූර් දේහත්වල උපන් බිහාර් හි ආණ්‌ඩුකාර පදවිය දරන 71 හැවිරිදි රාම් නාත් කෝවින්ද් තම ජනාධිපති අපේක්‌ෂකයා ලෙස නම් කළ අතර ඉන්දීය ජාතික කොංග්‍රසය ප්‍රමුඛ කරගත් එක්‌සත් ප්‍රගතිශිලී සන්ධානය (UPA) බිහාරයේ පැට්‌නාවල උපන් පාර්ලිමේන්තුවේ හිටපු කථානායිකාවක වන 72 හැවිරිදි මෙයිරා කුමාර් තරගයට ඉදිරිපත් කළේය. මොවුන් දෙදෙනාම දාලිත් ප්‍රජාවට අයත්වීම මෙහි ඇති විශේෂත්වයයි. කෝවින්ද් අයත් වන්නේ සාම්ප්‍රදායික රෙදි වියන්නන්ගෙන් යුත් කෝරි නැමති කුලයටය. ජූලි 17 වැනි දින පැවති ඡන්ද විමසීමේ ප්‍රතිඵල ජූලි 20 වැනි දින ප්‍රකාශයට පත්විය. ඒ අනුව කෝවින්ද් මහතා වලංගු ඡන්දවලින් 65.65 ක ප්‍රතිශතයක්‌ එනම් 2/3 කට ආසන්න ප්‍රමාණයක්‌ ලබා ගනිමින් ජනාධිපතිවරණය විශිෂ්ට ලෙස ජයගැනීමට සමත්විය.

කුලභේදය

මුළු මහත් හින්දු සමාජයම ගර්හිත විභේදනයකට ලක්‌ කළ කුලභේදය හෙවත් වර්ණභේද වාදය ඉන්දියාවට හඳුන්වා දුන්නෝ ආරයයෝ ය. එෙŒර ගෝත්‍රික ආර්ය ජන කණ්‌ඩායම් මධ්‍යම ආසියාවේ ස්‌ටෙප්ස්‌ තණබිම්වල සිට ඉන්දියාවේ සින්ධු නදිය අසබඩ පන්ජාබයට පැමිණ පැළපදියම්වීමට පටන් ගන්නේ ක්‍රි. පූ. 1500 ට ආසන්න කාල වකවානුවකදීය. ඔවුන්ගේ ආගමික ඇදහිලි හා විශ්වාස ඇතුළත් ප්‍රබන්ධ වේද ග්‍රන්ථ නමින් හැඳින්වෙන අතර සෘග් වේදය එකී වෛදික සාහිත්‍යයේ ආදිතම කෘතිය ලෙස සැලකේ. මෙය ක්‍රි. පූ. 1000 ට පෙර ප්‍රබන්ධ වූවකි. ආරයයෝ ඉන්දියාවට පැමිණෙන විට රදළ, පූජක සහ සාමන්‍ය ජනතාව වශයෙන් මූලික සමාජ පන්ති තුනකට බෙදී සිටියහ. මෙලෙස පන්ති වශයෙන් බෙදීමේ අරමුණ හුදෙක්‌ සමාජ හා ආර්ථික සංවිධානය පහසු කරවීමයි.

පන්තියෙන් වෙනස්‌ව වර්ණය දෙසට පළමු පියවර තබන ලද්දේ ආර්යයෝ දාසයන් සමාජ පන්තියෙන් පරිබාහිර අය ලෙස සැලකූ විටය.එක්‌ අතකින් දාසයන්ට පැවති බිය නිසාත් අනෙක්‌ අතට ඔවුන් සමග සම්මිශ්‍රණය වුවහොත් තමන්ගේ විශේෂ ආර්ය ලක්‌ෂණ අහිමි වේ යෑයි ඔවුන් සැලකූ නිසාත් එසේ වන්නට ඇතැයි සිතිය හැකිය. නමුත් පිටතට දක්‌වන හේතුව වූයේ ඒ වෙනස බොහෝ විට සමේ පැහැය මත සිදූ වූවක්‌ බවයි. "වර්ණ" යන සංස්‌කෘත වචනයෙහි තේරුම පැහැය යන්නයි. ආර්යයෝ වර්ණයෙන් පැහැපත් වූ අතර දාසයෝ තද පැහැයෙන් හෙවත් කාල වර්ණයෙන් යුක්‌ත විය. ආරයෝ යනු ද්විජ හෙවත් දෙවරක්‌ උපත ලද පිරිසකි. පළමු උපත මෙලොව ඉපදීමයි. දෙවැන්න වර්ණ තත්ත්වයට උපනයනය කිරීමයි. සෘග් වේදයේ 10 වන මණ්‌ඩලයේ පුරුෂ සුක්‌තයේ උපත අනුව මනුෂ්‍යයා කොටස්‌ හතරකට බෙදෙන බව ප්‍රකාශ කරයි. එනම්, ලෝකය මවා තිබෙන්නේ බ්‍රහ්මන් බවත්, ඔහුගේ මුඛයෙන් බමුණන් ද, ක්‌ෂත්‍රීයයා දෙ බාහුවෙන් ද, වෛශ්‍යයන් දෙ කළවා වලින් ද, ශුද්‍රයා දෙ පතුළෙන් ද උපත ලබා ඇති බවයි. ඉන් බ්‍රාහ්මණ (පූජකයින්), ක්‌ෂත්‍රීය (රණ ශූරයන් හා ප්‍රභූ තන්ත්‍රයන්), වෛශ්‍ය (ඉඩම් හිමියන්, ගොවීන් හා වෙළෙන්දන්) යන කුල තුන ආර්ය වර්ණයට අයත් වන අතර කෘෂ්ණ හෙවත් කාල වර්ණ ස්‌වදේශිකයෝ හා ආර්ය - දාස ප්‍රභවයක්‌ ඇති අය හතර වන කණ්‌ඩායම වන ශුද්‍ර ජන සමාජයට අයත් විය. පහත්ම සමාජ පන්තිය වූ ඔවුන්ගේ කාර්ය භාරය වූයේ ඉහළ කුලවලට සේවය කිරීමය. කල්යාමේ දී බමුණන් අභිභවා ක්‌ෂත්‍රියයෝ ඉස්‌මතුවන විට තම ප්‍රමුඛ තත්ත්වය රැක ගැනීම සඳහා බමුණෝ වර්ණය ට ආගමික සම්මතයක්‌ ලබා දුන්හ. මේ අනුව සමාජයේ මූලික සිරස්‌ බෙදීම ආර්ය අනාර්ය භේදය මත සිදුවිය.


ආරම්භයේ දී මෙම වර්ණ භේදය එතරම් උග්‍ර නොවූ නමුත් පශ්චාත් වෛදික යුගයේ දී එය සංකීර්ණ කුල ක්‍රමයක්‌ බවට පත් වූ අතර එය ශුද්‍රයන්ගේ ජීවිත අතිශය දුක්‌ඛ දායක තත්ත්වයකට පත්කිරීමට තරම් පිඩාකාරි විය. විවිධ හේතු මත කුල සංඛ්‍යාව කලින් කල වර්ධනය විය. ගුප්ත යුගය හෙවත් ක්‍රි. ව 4 - 5 සියවස්‌වල දී වෛදික ග්‍රන්ථ මුල්කරගත් වේද හෙවත් බ්‍රාහ්මණ ආගම හින්දු ආගම බවට පත්විය. කුල භේදය නරකම තත්ත්වයට පත්වන්නේ ක්‍රි. ව 7 වන සහ 12 වන සියවස්‌ අතර පැවති උග්‍ර හින්දු භක්‌තික රාජපුත්වරුන්ගේ පාලන කාලයේදීය. පොදුවේ හින්දු සමාජයේත් විශේෂයෙන්ම රාජපුත්වරුන්ගේත් පැවති මෙම දැඩි වූත්, අනම්‍ය වූත් කුලහේදය සමකාලීන ඉන්දියානු සමාජය පටු චින්තනයකින් යුත් එකක්‌ බවට පත්කිරීමට හේතුවිය. සමාජය මේ ආකාරයට භේද භින්න වීමේත්, එක්‌ ජන කණ්‌ඩායමක්‌ අස්‌පර්ශනීය හෙවත් සමාජ සම්බන්ධතා නොපැවැත්විය යුතු පිරිසක්‌ බවට පත්වීමේත් ඉතාම නරකම ප්‍රතිඵලය නම් සමාජ ඒකාග්‍රතාවය බිඳවැටී ඉන්දියාව නිරන්තර සතුරු ආක්‍රමණ වලට ගොදුරුවන රටක්‌ බවට පත්වීමයි.

"දාලිත්" (Dalit) නමැති වචනය නිර්මාණය වී තිබෙන්නේ පීඩිතයා නමැති අර්ථය දෙන "දාලිත" නමැති සංස්‌කෘත වචනයෙනි. හින්දි හා උර්දු භාෂාවෙන් එහි අර්ථය වන්නේ බෙදුණු, විසිරුණු යන්නයි. දාලිත් නමැති වචනය අද භාවිත වෙන්නේ ඉන්දියානු සමාජයේ පහළම හෙවත් පීඩිතම කුලවලට අයත්, ප්‍රධාන වර්ණ හතරට පරිබාහිර වූ ජන කණ්‌ඩායම් හැඳින්වීම සඳහාය. මේ නිසා ඔවුන් "පංචම" කුලය ලෙස සැලකේ. ඔවුන් සැලකෙන්නේ "අස්‌පර්ශනීය (Untouchable) ජන පිරිසක්‌" ලෙසයි. හින්දු ආගමේ ඇති උග්‍ර කුල භේදය නිසාම පංචම කුලයේ බොහෝ පිරිස්‌ හින්දු ආගම අතහැර බෞද්ධ, ක්‍රිස්‌තියානි, සීක්‌, ජෛන වැනි ආගම් වැළඳගෙන ඇත. 1933 දී මහත්මා ගාන්ධි මොවුන් හැඳින්වීම සඳහා "හරි ජන" (දෙවියන්ගේ මිනිසුන්) යනුවෙන් වචනයක්‌ භාවිත කළත් ආචාර්ය අම්බෙඩ්කාර් වැනි දාලිත් නායකයෝ ඊට අකමැති වූහ. හේතුව ඒ මගින් තමන් හින්දු සමාජයේ ආධිපත්‍යය යටතට පත්වනු ඇතැයි යන තර්කය මතය. ඉන්දියානු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත් කමිටුවේ සභාපතිවරයා වූ බී. ආර්. අම්බෙඩ්කාර් ද 1956 දී සිය ප්‍රජාවේ පන් ලක්‌ෂයක්‌ සමග පැමිණ බුදු දහම වැළඳ ගත්හ.

දාලිත් යනු එක්‌ ආගමකට හෝ භාෂාවකට අයත් නැති ඉන්දියාව පුරා විසිරුණු ජන කණ්‌ඩායමකි. ඉන්දීය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ උප ලේඛන ගතකර ඇති මොවුන්ගේ ප්‍රමාණය සමස්‌ත ජනගහණයෙන් 16.6% පමණ වේ. නෛතිකව පිළිගත් එවැනි කුල ගණන 1108 කි. 1947 නිදහසින් පසුව මෙම පීඩිත කුල හා ගෝත්‍රවලට දේශපාලන නියෝජනය සඳහා මෙන්ම රජයේ අධ්‍යාපන හා රැකියා අවස්‌ථා සඳහා ද විශේෂිත වෙන්කිරීමේ ක්‍රමයක්‌ (Reservation System) හඳුන්වා දෙන ලදී. එමෙන්ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් ද කුලය මත සිදුකරන වෙනස්‌කම් තහනම් කළ අතර අස්‌පර්ශනීය භාවය ද අහෝසි කෙරිණි. 1995 දී කුලහීනයන්ට සිදුවන සැහැසි ක්‍රියා මැඩලීමේ අරමුණින් විශේෂ නීතියක්‌ ද (Prevention of Atrocities Act) සම්මත කර තිබේ.මේ අකාරයට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් 1997 දී කේ. ආර්. නාරායනන් දාලිත් ප්‍රජාවෙන් පැමිණි පළමු ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමට හැකිය.

ජනාධිපතිවරයා තෝරා පත්කරගන්නා ආකාරය

ඉන්දියාවේ ඉහළම විධායකයන් තිදෙනා වන ජනාධිපති, උප ජනාධිපති මෙන්ම අගමැතිවරයා ද තෝරා පත්කරගනු ලබන්නේ ජනාධිපති ආණ්‌ඩුක්‍රමයක්‌ පවතින රටක මෙන් සෘජු මහජන ඡන්දයෙන් නොව වක්‍ර මහජන ඡන්දයෙනි. ඉන්දියාවේ ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා ඇමරිකාවේ ජනාධිපතිවරයා තෝරා ගන්නා ආකරයේ ඡන්ද විද්‍යාලයක්‌ (Electoral College) පිහිටුවා ඇත. නමුත් එම ඡන්ද විද්‍යාලය සකස්‌වී තිබෙන්නේ ඇමරිකානු ක්‍රමයට තරමක්‌ වෙනස්‌ වූ විධියකටය. එහි වරකයන් (Electors) මහජන මන්ත්‍රීවරුන් වන අතර ඇමරිකාවේ ජනාධිපති ඡන්ද විද්‍යාලයේ වරකයන් එහි මහජනතාවගේ ඡන්දයෙන් වෙනම තෝරා පත්කර ගැනේ. මේ අනුව ඉන්දියාවේ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ වරම එරට මහජනතාවගේ ඡන්ද බලයෙන් තේරී පත්වූ මහජන නියෝජිතයන් හට පැවරී ඇත. එය සකස්‌ වී තිබෙන්නේ මේ ආකාරයටය.

* ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මණ්‌ඩලය හෙවත් රාජ්‍ය සභාවේ තෝරා පත්කරගත් මන්ත්‍රීවරුන්.

*  ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මණ්‌ඩලය හෙවත් ලෝක්‌ සභාවේ තෝරා පත්කරගත් මන්ත්‍රීවරුන්.

*  ප්‍රාන්ත ව්‍යවස්‌ථාදායකයන්හි පහළ මණ්‌ඩල හෙවත් විධාන් සභාවන්හි තෝරා පත්කරගත් මන්ත්‍රීවරුන්.

*  මධ්‍යම රජයට අයත් ව්‍යවස්‌ථාදායකයක්‌ සහිත සාංගමික භූමි ප්‍රදේශවල ව්‍යවස්‌ථාදායකයන්හි තෝරා පත්කරගත් මන්ත්‍රීවරුන්. දැනට එවැනි ව්‍යවස්‌ථාදායක සභාවන් පිහිටුවා තිබෙන්නේ සාංගමික භූමි ප්‍රදේශ දෙකක පමණි. එනම් දිල්ලි සහ පුඩුචෙරි ය.

මෙම ඡන්ද විද්‍යාලයට අයත් සියලුම සාමාජිකයන් ඉන්දීය මධ්‍යම රජයේ , ප්‍රාන්ත සභාවල සහ සාංගමික භූමි ප්‍රදේශවල තෝරා පත්කරගත් මන්ත්‍රීවරුන් පමණක්‌ම වන අතර නම් කළ මන්ත්‍රීවරුන් කිසිවකුත් ඊට ඇතුළත් නොවේ. මෙම සෑම සාමාජිකයකුගේම ඡන්දයට සංඛ්‍යාත්මක අගයක්‌ හිමිවන අතර සිටිය යුතු සාමාජිකයන් ගණන සහ ඔවුන්ගේ ඡන්දයක වටිනාකම තීරණය වන්නේ ජනසංඛ්‍යා පදනම මතය. මෙහිදී ජනසංඛ්‍යා පදනම තීරණය වන්නේ දැන් සිටින ජනගහණය අනුව නොව 1971 සිටි ජනගහණය අනුව. හේතුව ඉන්දීය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සිදුකර තිබෙන 42 වන සහ 84 වන සංශෝධනයන් ය. මේ තත්ත්වය යළි වෙනස්‌ කිරීමට නියමිතව තිබෙන්නේ 2026 දීය.

ඉන්දීය පාර්ලිමේන්තුව මණ්‌ඩල දෙකකින් සමන්විත වන අතර එහි ඡන්දය දීමට හිමිකම් ඇති මන්ත්‍රීවරුන් ගණන 776 කි. සන්ධීය රාජ්‍යයක්‌ වන එරට ප්‍රාන්ත සංඛ්‍යාව කලින් කළ වැඩිවී තිබෙන අතර අද වනවිට එහි ප්‍රාන්ත සංඛ්‍යාව 29 කි. එමෙන්ම ප්‍රාන්ත තත්ත්වය ලබා දී නැති තවත් ප්‍රදේශ 7 ක්‌ ඉන්දියාව සතුව ඇත. සෘජුවම මධ්‍යම රජය යටතේ පාලනය වන ඒවා හැඳින්වෙන්නේ සාංගමික භූමි (Union Territories) යනුවෙනි. මෙකී සෑම ප්‍රාන්තයකටම මහජන ඡන්දයෙන් තේරී පත්වන වෙන වෙනම ව්‍යවස්‌ථාදායක සභා සහ ආණ්‌ඩු පිහිටුවා ඇතත් සාංගමික ප්‍රදේශවලින් එම අවස්‌ථාව ලැබී තිබෙන්නේ මධ්‍යම රජයේ අගනුවර කේන්ද්‍රකරගත් දිල්ලියට සහ පුඩුචෙරි වලට පමණි. ඒ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන මගින් ලබාදුන් විශේෂ තත්ත්වයක්‌ මතය. මේ අනුව ජනාධිපතිවරයා තේරීමේ වරම හිමි ව්‍යවස්‌ථාදායක මණ්‌ඩල සභිකයන් ගණන 4120 කි. මෙම ක්‍රමය සකසා තිබෙන්නේ මධ්‍යම රජයේත් ප්‍රාන්ත සභිකයන්ගේත් ඡන්දවල වටිනාකම බොහෝ දුරට සමාන අගයක්‌ ගන්නා ආකාරයටය. අනෙක්‌ අතට ප්‍රාන්තවලටත් සාංගමික ප්‍රදේශවලටත් හිමිවන ඡන්දවල වටිනාකම ඒවායේ ජනගහනයට සමානුපාතික වේ. ඡන්ද විද්‍යාලයේ මුළු ඡන්ද සංඛ්‍යාව 1,098,882 වනවිට යම් අපේක්‌ෂයෙකු ජනාධිපතිවරයා ලෙස තේරිපත්වීමට ඉන් හරි අඩකට වැඩි ප්‍රමාණයක්‌ එනම්, ඡන්ද 549, 442 ක්‌ අවම වශයෙන් දිනා ගත යුතුය. ඡන්දය පැවැත්වෙන්නේ මාරුකළ හැකි තනි ඡන්ද ක්‍රමයට අනුව වන අතර වරකයෝ තම තමන්ගේ ව්‍යවස්‌ථාදායක පරිශ්‍රයන්හි දී ඡන්දය ප්‍රකාශ කරති. අනතුරුව එම ඡන්ද නව දිල්ලියේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ලොක්‌ සභාවේ මහ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් ගණනය කොට ප්‍රතිඵල ප්‍රකාශයට පත්කෙරේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.