මිතුරා බේරාගැනීමට
හතුරාගේ ගෙදරට පහරදීම...


වරුණ චන්ද්‍රකීර්ති

උපක්‍රමය


කෙළින්ම පහරදීලා අඩපණ කරන්න බැරි තරම් හතුරා ප්‍රබල නම්, ඔහුට නැතිවම බැරි ඉතාම වැදගත් තැනකට පහර දෙන්න. මොන තරම් ශක්‌තිමත් වුණත් අංග සම්පූර්ණ අය නෑ. ඉතින් හතුරෙක්‌ වුණත් එහෙම තමයි. ඔහුගේ කොතැනක හරි අඩුපාඩුවක්‌ තියෙන්න පුළුවන්. හොඳින් හොයලා බලලා අන්න ඒ අඩුපාඩුව තියෙන තැනට පහර දෙන්න.

නිධාන කතාව

ක්‍රිස්‌තු පූර්ව 354 අවුරුද්දේ චීනයේ සිද්ධවෙච්ච ඉතාම ප්‍රසිද්ධ යුද්ධයකදී මේ උපක්‍රමය යොදාගෙන තිබෙනවා. ඉතින් මේ උපක්‍රමයේ නිධාන කතාවත් ඒ යුද්ධය ගැන විස්‌තරයම තමයි.

ඒ ගෙවෙමින් තිබුණේ චීන ඉතිහාසයේ යුද වැදුණු රාජ්‍යයන්ගේ කාලය. නමට වගේ අධිරාජ්‍යයෙක්‌ හිටියාට ඒ වෙද්දී චීන මිනිස්‌සු රටවල් හතකට බෙදිලා එකිනෙකා එක්‌ක යුද්ධ කරමින් හිටියේ. හන්, හන්, වෙයි, චාඕ, ජී, ඡූ, යෑන් කියන්නේ ඒ රටවල් හත. මේ රටවල් හතේ හිටපු රජවරුන්ට ඕන වුණේ අනිත් රටවල් එක්‌ක යුද්ධ කරලා තමන්ගේ බලය වඩාගෙන ඒ රටවල් හතේම ලොක්‌කා බවට පත්වෙන්න. මේ විදිහට මහ රජා බවට පත්වෙන්නේ අධිරාජ්‍යයා ඉඳිද්දීම තමයි. ඒ කියන්නේ චීනය දිගටම එක සංස්‌කෘතික රාජ්‍යයක්‌ විදිහට තිබුණා. ඒත් අධිරාජ්‍යයා දුර්වල වෙලා හිටිය හින්දා ප්‍රාදේශීය පාලකයෝ වැඩ පෙන්නන්න පටන් අරගෙන තිබුණා.

සුන් පින් ජීවත් වුණේ මේ කාලයේ. සුන්තුමාගේ මුණුපුරෙක්‌ වෙච්ච එතුමාගේ උපක්‍රම යුද කලාව පොතේ තියෙන උපක්‍රමවලට වඩා බොහොම සියුම්. සුන් පින් ගැන සෑහෙන විස්‌තරයක්‌ මේ ලේඛකයා ලියපු "චීන කතාව - හන් යුගයට පෙර" පොතට ඇතුළත් කරලා තියෙනවා. මේ කියන කාලයේ දී සුන් පින් උපදෙස්‌ දුන්නේ ජී කියන රාජ්‍යයේ රජතුමාට. ජී කියලා කියන්නේ අද චීනයේ නැගෙනහිර පැත්තට වෙන්න තියෙන ශන්- තුං පළාත ආශ්‍රිත ප්‍රදේශයට. එතුමාත් එක්‌කම ඉගෙනගත්ත කෙනෙක්‌ හිටියා ඵං - චුඅන් කියලා. ඵං - චුඅන් උපදෙස්‌ දුන්නේ වෙයි රටේ රජතුමාට.

තමන් ගේ රජතුමාට ඵං - චුඅන් කිව්වා චාඕ රටට ලේසියෙන් පහරදෙන්න පුළුවන්. එහෙම කළොත් ඒ රටේ මිනිස්‌සුත් එකතු කරගෙන අනිත් රටවලුත් අල්ලගන්න පුළුවන් කියලා. මේක දැනගත්ත චාඕ රටේ රජතුමා දූතයෙක්‌ යවලා ජී රටේ රඡ්ජුරුවන්ගෙන් උදව් ඉල්ලුවා. ඒ උදව්ව ලබාදෙන්න ඕන කියන මතයට සුන් පින් තමන් ගේ රජතුමාව පොළඹවා ගත්තා.

තමන් ගේ හමුදා තරකර ගත්ත ඵං-චුඅන් චාරෑඕ රටට පහරදෙන්න පටන් ගත්තා. ඉතින් පොරොන්දු වෙච්ච විදිහට චාඕ රටට උදව්කරන්න ජී රටේ හමුදාවත් පාරට බැස්‌සා. හැබැයි හ හමුදාව ගියේ චාඕ රටට නෙවෙයි. සුන් පින් ඒ හමුදාවට උපදෙස්‌ දුන්නේ ඵං-චුඅන් ගේ වෙයි රටට පහරදෙන්න කියලා. ඉතින් ජී රටේ හමුදාව ගිහිල්ලා වෙයි රටට පහර දෙන්න පටන් ගත්තා.

චීන නම් ගම් හුරු නැති අපේ අයට මේ වැඩේ ආයෙත් කියන්නම්. දැන් වෙයි රටේ ඵං-චුඅන් ගේ හමුදාව චාඕ රටට පහර දෙනවා. සුන් පින් ගේ උපදෙස්‌ ලබන ජී රටේ හමුදාව ඵං-චුඅන් ගේ වෙයි රටට පහරදෙනවා.


තමන්ගේ රටට ජී රටේ හමුදාව පහර දෙනවා කියලා ඵං-චුඅන්ට ආරංචි වුණා. ඉතින් තවදුරටත් චාඕ රටට පහර දිදී හිටියොත් තමන්ට නැතිවෙන්නේ තමන්ගේම රට. ඉතින් ඔහුට සිද්ධ වුණා චාඕ රටට ගහන ගැහිල්ල නවත්තලා ආපහු ගිහිල්ලා තමන්ගේ රට ජී රටේ හමුදාවලින් බේරගන්න. ඒ විදිහට ආපහු කලබලෙන් එන ඵං-චුඅන් ගේ හමුදාවට ජී රටේ හමුදාව මග රැකගෙන ඉඳලාත් පහර දුන්නා. ඉතින් තවත් රටක්‌ අල්ලන්න ගිය වෙයි රටේ හමුදාවට මහා අලාභයක්‌ වෙලා තමයි ඒ යුද්ධය ඉවර වුණේ.

මෙතෙන් දී සුන් පින්ට පුළුවන් වුණා හතුරාගේ බලය අමුතුම විදිහකට බිඳින්න. ඔහු හතුරා ගේ අරමුණ වෙනස්‌ කළා. ඒ වැඩේ මාර්ගයෙන් මිතුරා බේරගත්තා. ඉතින් මේ උපක්‍රමය හඳුන්වන්න පුළුවන් මිතුරා බේරාගන්න හතුරා ගේ ගෙදරට පහරදීමක්‌ කියලා. කාට වුණත් වැඩියෙන් වටින්නේ තමන් ගේ රට, තමන් ගේ ගෙදර, තමන් ගේ අභිමානය. ඒක අනතුරට ලක්‌වෙද්දී ලබන්න පුළුවන් ජයක්‌ නෑ.

යොදා ගැනීමක්‌

මේ උපක්‍රමය යොදාගත්ත අවස්‌ථා මෑත ඉතිහාසයේත් තියෙනවා. දෙවැනි ලෝක යුද්ධයේ දී යුරෝපා මහා භූමිය මුළුමනින්ම වගේ අල්ලගත්ත ජර්මානු හමුදාවට ඕන වුණා බ්‍රිතාන්‍යයත් අල්ලගන්න. ජර්මානු බලයට අවනත නැති ප්‍රධාන පෙළේ රට විදිහට යුරෝපයේ ඉතිරිවෙලා තිබුණේ බ්‍රිතාන්‍යය විතරයි. ඉතින් ජර්මානු හමුදාව බ්‍රිතාන්‍ය හමුදා අඩපණ කිරීමේ මෙහෙයුමක්‌ පටන්ගත්තා. හිට්‌ලර් ගේ ජර්මානු හමුදාවල ප්‍රධානම අරමුණ වුණේ බ්‍රිතාන්‍යයේ ගුවන් හමුදාව අඩපණ කිරීම. ඉතින් ජර්මානු ගුවන් යානා දිගින් දිගටම බ්‍රිතාන්‍යයේ ගුවන් කඳවුරුවලට පහර දෙන්න පටන්ගත්තා.

දිගින් දිගට ම මේ විදිහේ ප්‍රහාරවලට ලක්‌වුණොත් තමන්ට අත්වෙන ඉරණම ගැන හොඳ අවබෝධයක්‌ බ්‍රිතාන්‍යයට තිබුණා. ඒත් ඒ වෙද්දීත් බ්‍රිතාන්‍යයේ ප්‍රතිපත්තිය වුණේ ජර්මානු බලය තියෙන ප්‍රදේශවල හමුදා කඳවුරු, දුම්රිය මාර්ග, වරාය වගේ යුදමය වශයෙන් වැදගත් තැන්වලට විතරක්‌ පහරදෙන එක. ඒ ප්‍රදේශවල ඉන්න ජනයා තමන්ට දිනාගන්න ඕන කියන ප්‍රතිපත්තිය බ්‍රිතාන්‍ය නායකයෝ අනුගමනය කළා. ඉතින් ජනයා වසන තැන්වලට බෝම්බ දැමීමෙන් බ්‍රිතාන්‍ය හමුදා වැළැකුනා. ඒත් ජර්මනිය දිගින් දිගටම තමන් ගේ ගුවන් බලය අඩපණ කළොත් සිද්ධවෙන්න පුළුවන් විනාශය ගැන තේරුන චර්චිල් ඇතුළු බ්‍රිතාන්‍යය නායකයෝ කම්පාවෙලා හිටියේ. ඉතින් ඒ හින්දා තමන් ගේ ප්‍රතිපත්තිය වෙනස්‌ කරන්න කාලය ඇවිල්ලා කියලා ඒ අය තීරණය කළා. ඒ කියන්නේ ජනතාව ඉලක්‌ක කරලා පහර දෙන්නත් බ්‍රිතාන්‍ය නායකයෝ තීරණය කළා.

ජර්මානු හමුදාවේ අරමුණ වෙනස්‌ කරන්න නම් පහර දෙන්න ඕන වුණේ හිට්‌ලර් ගේ අගනුවර වෙච්ච බර්ලින් නගරයට. 1940 අගෝස්‌තු 24 වැනිදා ලන්ඩනයට වැටුණු ජර්මානු බෝම්බ කිහිපයක්‌ හින්දා බ්‍රිතාන්‍යය හමුදාවලට පොටක්‌ පෑදුනා. ලන්ඩනයට ඒ බෝම්බ වැටුනේ ජර්මානු හමුදා හිතා මතාම කරපු පහරදීමකින් නෙවෙයි. සමහර විට ඒ අත්වැරදීමක්‌. එහෙමත් නැති නම් ආරක්‌ක්‍ෂා වෙන්න පලායන අතර බෝම්බ හිස්‌කරද්දී වෙච්ච දෙයක්‌. ඒත් බර්ලිනයට පහර දෙන්න කියලා චර්චිල් නියෝග කළා. ඉතින් 1940 අගෝස්‌තු 26 වැනිදා පළමු වැනි වතාවට බර්ලින් නගරයට බ්‍රිතාන්‍යය ගුවන් හමුදාව පහර දුන්නා.

මේකත් හතුරාගේ ගෙදරට පහරදීමක්‌. මේ පහරදීමෙන් බේරගත්ත මිතුරා තමයි තමන්ගේම ගුවන් හමුදාව. මොකද ඒ පහරදීමත් එක්‌ක ජර්මනියේ අරමුණ වෙනස්‌ වුණා. ජර්මන් හමුදාව බ්‍රිතාන්‍යයේ සිවිල් ඉලක්‌කවලට පහර දෙන්න පටන් ගත්තා. තමන් ගේ ගුවන් හමුදාව රැකගෙන වර්ධනය කර ගැනීමේ අවස්‌ථාවක්‌ බ්‍රිතාන්‍යයට ලැබුණා.



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.