* කාටුන් කියෑවීම
මිනිස්‌ සංහතිය සසළ කළ 9/11



2001 සැප්තැම්බර් 11 වැනි අඟහරුවාදා ඇමරිකා එක්‌සත් ජනපදයේ විශාලම නගරය වන නිව්යෝර්ක්‌ හි නගරවාසීන් වෙනදා මෙන් එදින උදැසනත් සුපුරුදු පරිදි තම සේවා ස්‌ථානයන් වෙත ගමන් කරමින් සිටියහ. වේලාව උදේ 8.45 වන විටත් ඇමරිකාවේ ඇති උසම ගොඩනැඟිල්ල වන "ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ" (World Trade Center) පිහිටා ඇති කාර්යාලවල සේවය සඳහා ඒවායේ සේවයේ නියුක්‌ත අය මෙන්ම විවිධාකාර රාජකාරි කටයුතු සඳහා පැමිණෙන අයගෙන්ද පිරී පැවතිණි.

වේලාව උදේ 8.46 යි. ඒ මාරයාගේ හෝරාව විය. එම ගොඩනැඟිල්ල අති විශාල ශබ්දයක්‌ සමඟ දෙදරා ගියේය. අවට ගොඩනැඟිලිවල සිටි අයටත් මංමාවත්වල ගමන් කරනා අයටත් එම බිහිසුණු ශබ්දය ඇසුණි. සමහරු එය දුටුවේය. අඩි 1355 ක්‌ උස තට්‌ටු 110 ක්‌ ඇති එම ගොඩනැඟිල්ලේ උතුරු කුලුනේ 90 වැනි තට්‌ටුවේ විශාල ගුවන් යානයක්‌ ගැටුණු අතර එය ගොඩනැඟිල්ල තුළට ඇතුළු වී විශාල විනාශයක්‌ කරමින් ද ජීවිත ගණනක්‌ බිලිගනිමින්ද පුපුරා ගිය අතර ගොඩනැඟිල්ලේ එතැනින් උඩ කොටස ගිනි ජාලාවක්‌ බවට පත් විය. ටික වේලාවකින් මාධ්‍ය මගින් එය ලොව පුරා ප්‍රචාරය වූ අතර ඉන් කියෑවුණේ ඉතා පහතින් ගමන්ගත් ගුවන් යානයක්‌ ගොඩනැඟිල්ලේ වැදුණු බවකි.

ගිනි නිවීමේ භටයන්, පොලිස්‌ නිලධාරීන්, ගිලන් රථ, සහන සේවකයන් මොහොතකින් ගොඩනැඟිල්ල දෙසට ඇදී ඒමට පටන් ගත්තේය.

වේලාව උදේ 9.03 යි. මාරයා නැවතත් ආවේශ විය. ඉතා පහතින් ගමන් ගත් තවත් විශාල ගුවන්යානයක්‌ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ දකුණුපස ඇති අඩි 1348 ක්‌ උසැති තට්‌ටු 110 කින් යුත් ගොඩනැඟිල්ලේ 47 වැනි තට්‌ටුව පසා කරමින් අනිත් පැත්තට ගමන් කර මහ හඬක්‌ නංවමින් පුපුරා ගියේ ගිනි ජාලාවක්‌ ඇතිකරමිනි.

මේ සිදුවීම් අතර ආරක්‍ෂක අංශ මගින් ප්‍රචාරය කරන ලද ප්‍රවෘත්තියක්‌ මගින් දන්වා සිටියේ ඇමරිකානු ගුවන් යානා කීපයක්‌ උඩු ගුවනේදී ත්‍රස්‌තවාදීන් විසින් පැහැර ගැනීමකට ලක්‌ වී ඇති බවකි.

පසුව දැනගැනීමට ලැබුණේ මෙය "ඔසාමා බින් ලාඩන්" (Osama Bin Laden) නායකත්වය ගෙන ඇෆ්ගනිස්‌ථානයේ සිට ක්‍රියාත්මක වන "අල් ඛයිඩා" (Al - Qaeda) ත්‍රස්‌ත සංවිධානයේ ක්‍රියාවක්‌ බවය. ඔවුන් විසින් එදින උදැසන ගුවන් යානා හතරක්‌ මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදීන් 19 දෙනකු යොදවා ගුවනේදී පැහැර ගැනීම් සිදුකර ඇත. United Airlines සමාගමට අයත් බෝයින් 767 වර්ගයේ Flight 11 ගුවන් යානය බෝස්‌ටන් සිට ලොස්‌ ඇන්ජලීස්‌ දක්‌වා පියාසර කරන අතරමගදී පැහැරගෙන ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ උතුරු කුලුනට හැප්පුවේය. American Airlines සමාගමට අයත් Flight 175 යානය පැහැර ගෙනවිත් දකුණු කුලුනට හැප්පුවේය. ඩලාස්‌ සිට ලොස්‌ඇන්ජලීස්‌ බලා පියාසර කරන ලද American Airlines සමාගමට අයත් Flight 77 දරන ගුවන් යානය මගීන් ද සමඟ ත්‍රස්‌තවාදීන් පැහැර ගත්තේය. එදින උදැසන 9.37 ට නැවතත් මාරයා අවදි විය. ඇමරිකාවේ වර්ජිනියා ජනපදයේ වොෂින්ටන් ඩී. සී. (ඇමරිකාවේ අගනගරය) හි පිහිටි ඇමරිකානු ආරක්‍ෂක මූලස්‌ථානය වන "පෙන්ටගන්" ගොඩනැඟිල්ලේ බටහිර කොටසේ 1 වැනි සහ 3 වැනි තට්‌ටු අතරට එම ගුවන් යානය ගමන් ගත්තේය. ඒ වන විටත් 18000 ක්‌ 'පෙන්ටගනයේ' සේවයේ නියුක්‌තව සිටි අතර මෙම විනාශයෙන් හමුදා සහ සිවිල් වැසියන් 125 ක්‌ මියගිය අතර ගුවන් මගීන් සහ කාර්ය මණ්‌ඩලයේ 64 දෙනකු ත්‍රස්‌තවාදීන් ද සමඟ මියගියේය. United Airlines සමාගමට අයත් Flight 93 දරන බෝයින් 757 වර්ගයේ ගුවන් යානය නිව්යෝර්ක්‌ සිට සැන්ප්‍රැන්සිස්‌කෝ යන අතරමගදී ත්‍රස්‌තවාදීන් පැහැරගෙන ඇත්තේ එය ඇමරිකානු ජනාධිපති මන්දිරය වන White House වෙත ගෙන ගොස්‌ එයට හානි කිරීමටය. එහෙත් එම යානය පීටර්ස්‌බර්ග් ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයකදී පුපුරා කඩාවැටුණේ 45 දෙනකුගේ ජීවිත විනාශ කරමිනි.

ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ විනාශයෙන් ජීවිත 2996 ක්‌ නැතිවී ගියේය. 6000 කට වැඩි පිරිසකට තුවාල සිදුවිය. මෙම පැහැරගත් ගුවන් යානා හතරේ සිටි ගුවන් මගීන් සහ කාර්ය මණ්‌ඩලයේ 266 ක්‌ මිය ගියේ ත්‍රස්‌තවාදීන් 19 දෙනකු ද සමඟය. මේ ත්‍රස්‌ත ක්‍රියාව පිළිබඳව නිවේදනයක්‌ නිකුත් කරමින් අල් ඛයිඩා සංවිධානය කියා සිටියේ ඇමරිකාව විසින් ඉරාකයටත් ඇෆ්ගනිස්‌ථානයටත් කරන ලද යුද කටයුතුවලට එකට එක කිරීමක්‌ බවත් එය ඇමරිකාවට පාඩමක්‌ ඉගැන්වීමට කරන ලද්දක්‌ බවත් මින් පසුවද මෙවැනි මීට වඩා විශාල විනාශවලට ඇමරිකාව සූදානම්ව සිටිය යුතු බවත්ය.


මෙම ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ විනාශය පිළිබඳව ලොව විවිධ ප්‍රකාශන සඳහා කාටූන් ශිල්පීන් විසින් කාටූන් ගණනාවක්‌ නිර්මාණය කර තිබිණි. බ්‍රසීල ජාතික කාටූන් ශිල්පී "ලතුෆ්" (Latuff) විසින් නිර්මාණය කරන ලද කාටූනයේ දැක්‌වෙනුයේ ඇමරිකාවේ කාටූන් සංකේතය වන අංකල් සෑම්ගේ දෙකකුල් ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ කුලුනු දෙක ලෙසටය. ඔහු වේදනාවෙන් හැරී බලයි. ඒ වන විට වේගයෙන් පැමිණි ගුවන් යානයක්‌ අංකල් සෑම්ගේ වම්පස තට්‌ටමේ ගැටී ඇතුළට කි\ බැස ඇත. එය ඇමරිකාවට වේදනාවක්‌ ගෙනදුන් බව "ලතුෆ්" අපට පෙන්වා දෙයි.


මයිකල් පී. රමිරෙෂ් (Michael P.Ramirez) කාටූන් ශිල්පියා විසින් නිර්මිත කාටූනයේ දැක්‌වෙන්නේ නිව්යෝර්ක්‌ වරාය ඉදිරිපිට ඇති සුප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවේ දකුණතේ ඇති පන්දමයි. එහි රමිරෙෂ් විසින් ගොඩනැඟිලි දෙක සටහන් කර පෙන්වා ඇති අතර ඒවා ගිනිගෙන දැවෙන ආකාරයෙන් පෙන්වා ඇත්තේ ඇමරිකාවේ තවත් සංකේතයක්‌ විනාශ වී ගිය බවයි.
 

 


ස්‌වීඩන් ජාතික කාටුන් ශිල්පී ඔලී ජොහන්සන් (Olle Johansson) විසින් නිර්මිත කාටූනයේ කැලැන්ඩරයක්‌ සහ එදෙස බලමින් කඳුළු සලන අංකල් සෑම්ව දක්‌වා ඇත. කැලැන්ඩරයේ ඡායාරූපයේ දැක්‌වෙන්නේ ගිනිගෙන දැවෙන ගොඩනැඟිලි දෙකය. එහි සැප්තැම්බර් 11 යනුවෙන් ද සඳහන් කර ඇත. ඇමරිකාවට සෑම වසරකම සැප්තැම්බර් 11 වැනිදාට කඳුළු සැලීමට සිදුවන බව ඔලී මේ කාටූනයෙන් පෙන්වා දී ඇත.



ඩේව් ගැන්ලන්ඩ් (Dare Granlvnd) නම් කාටූන් ශිල්පියා නිර්මාණය කරන ලද කාටූනයේ දැක්‌වෙන්නේ ඇමරිකාවේ සංකේතයක්‌ වූ නිව්යෝර්ක්‌ වරායේ පිහිටුවා ඇති ලිබර්ටි ප්‍රතිමාව වැළපෙන ආකාරයයි. ප්‍රතිමාව වම් අතින් මුහුණ වසාගෙන වැළපෙන අතර ප්‍රතිමාවේ එතෙක්‌ වම් අතින් දරාගෙන සිටි පොත වැළමිටෙන් ඇඟට තබා තදකරගෙන සිටී. එහි 9 - 11 -01 යනුවෙන් සටහන් කර ඇත. පසුබිමින් "කිසිදා අමතක නොවේ" (Never Forget) යනුවෙන් වැකියක්‌ පාවී යයි. 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවට කිසි දිනකදී අමතක නොවන බව කාටූන් ශිල්පියා මින් පෙන්වා දී ඇත.


බොබ් ගොරිල් (Bob Gorrell) නිර්මිත කාටූනය සරල එකකි. එහි 9 ඉලක්‌කමත් 11 ඉලක්‌කමත් දක්‌වා ඇත. 11 ඉලක්‌කම 11 වැනිදා මෙන්ම කුලුනු දෙක ද සංකේතවත් කරයි. ඒ අවට තවත් ගොඩනැඟිලි ද ඇත. කුලුනු දෙක ගිනි ගනිමින් දුමාරය අහසට මුසු කරමින් සිටී. කාටූනයට යටින් ලියා ඇති වැකියේ සඳහන් වන්නේ "අපි කවදාවත් අමතක කරන්නේ නෑ" (We Will Never Forget) යනුවෙනි. මෙය ඇමරිකානු ඉතිහාසයේ කිසිදා අමතක නොවන්නක්‌ බව මේ කාටූනයෙන් පෙන්වා දෙයි.


"ලතුෆ්" (Latuff) විසින් නිර්මිත කාටූනයක දැක්‌වෙන්නේ අංකල් සෑම් පිස්‌තෝල දෙකක්‌ දැතින් ගෙන වෙඩි තැබීමට සූදානම් වන ආකාරයයි. ඔහු ඇමරිකාවේ පැරණි ජනපදවල සිටි "ෂෙරීප්" (පොලිස්‌ නිලධාරී) කෙනකු වශයෙන් පෙනී සිටී. ගොපළු චිත්‍රපටවල එන මෙම චරිතය සැබෑ එකකි. එකල "ෂෙරීප්"වරු දරුණු මංකොල්ලකරුවන් සමඟ සටන් කළේය. එහෙත් මේ ෂෙරීප්ට සිදුවී ඇත්තේ කුමක්‌ද? ඔහුගේ හිස පැළඳ ඇති තොප්පිය ගිනි ගනී. එම තොප්පිය පෙන්වා දී ඇත්තේ ගිනිගෙන දැවෙන කුලුනු දෙක වගේය. මංකොල්ලකරුවන්, ත්‍රස්‌තවාදීන් මර්දනය කිරීමට පෙර අංකල් සෑම් නම් ෂෙරීප්වරයා තමාට සිදුවූ දෙයින් ගැලවී ගත යුතුය. මෙයයි ඇමරිකාවට අද සිදුවී ඇති දෙය.


කාටූන් ශිල්පියකු විසින් නිර්මිත කාටූනයක දක්‌වා ඇත්තේ කුලුනු දෙක කළු පාටටය. එහි සෙවනැලි දෙක ඇඳ ඇත්තේ සොහොන් කොත් පේළි හතර බැගින් පේළියටය. එම සොහොන් කොත්වල වැකි දෙකක්‌ ලියා ඇත. 4486 ක්‌ ඉරාක යුද්ධයේදී ඇමරිකාව නිසා මියගියා (4486 U.S. lraq war  Dead) 2000 ක්‌ ඇෆ්ගන් යුද්ධයේදී ඇමරිකාව මරා දැමුවා (2000 U. S. Afghan war Dead) යන අරුත දක්‌වමිනි. කාටූනයේ වැකියක්‌ ද සඳහන් කර ඇත. "9/11 දිගු සෙවනැලි" (9/11'S Long shadows) යනුවෙන් සඳහන් කර ඇත්තේ 9 වැනි මස 11 වැනිදා ඇමරිකාවටද, ඉරාකයට හා ඇෆ්ගනිස්‌ථානයට කරන ලද යුද ආක්‍රමණවලින් මියගිය අයගේ දිගු සෙවනැලි කුලුනු දෙක හරහා වැටී ඇති බවයි.


ඔලි ජොහන්සන් විසින් නිර්මාණය කරන ලද කාටූනයේ දැක්‌වෙන්නේ සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවට මාරයාගේ පැමිණීමයි. මාරයා කැලැන්ඩරයේ ඡායාරූපයේ ඇති කුලුනු දෙකෙන් එක කුලුනක යටින් කතිරයක්‌ සලකුනු කරයි. එම කුලුන ගිනිගෙන දුම් දමමින් ඇත. මාරයා ඊළඟට අනික්‌ කුලුනත් කතිරයකින් සලකුණු කරනු ඇත. එවිට එයත් ගිනිගෙන විනාශ වෙනු ඇත. මෙයයි එදින සිදුවූයේ.මෙම සිදුවීම නිසා බොහෝ දෙනෙක්‌ මියගියේය.


මෙය පිළිබඳව නික්‌ ඇන්ඩර්සන් (Nick Anderson) විසින් ඉතා සංවේදී කාටූනයක්‌ "අතුරුදන් කුලුනු" (Missing Towers) නමින් නිර්මාණය කර තිබුණේ මෙම ප්‍රහාරය සිදු වී වසරකට පසු එනම් 2002 සැප්තැම්බර් 11 වැනිදාය. කාටූනයේ දැක්‌වෙන්නේ ඇමරිකන් පවුල් කිහිපයක්‌ ඉදිරියට පැමිණෙන දසුනකි. ඒ සියලු පවුල්වල සෙවනැලි දිස්‌වේ. නමුත් සෑම පවුලකම සෙවනැලි පමණක්‌ ඉතිරි වී පුද්ගලයන් අතුරුදන් වී තිබේ. මේ අතුරුදන් වී ඇත්තේ පවුලේ ප්‍රධාන කුලුන වන මව හෝ පියා විය හැක. ත්‍රස්‌තවාදීන් මනුෂ්‍ය කුටුම්භය විනාශ කර දමා ඇත්තේ එහි සෙවනැලි පමණක්‌ ඉතිරි කරමිනි.


* රුවන් තරස්‌වින්
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.