ඊළඟ අවුරුද්දේ එච්.අයි.වී. ගණන් හිලව්

රටේ ජනතාවගේ හදවත කම්පන විය යුතු අන්දමේ තොරතුරක්‌ වාර්තාවේ. මේ පුවත වාර්තා වන්නේ දකුණු පළාත් ලේකම් කාර්යාලයේ පැවැති දකුණු පළාත් ඒඩ්ස්‌ මර්දන කමිටු රැස්‌වීමේදීය. එහිදී වාර්තා වී ඇති ආකාරයට, මේ වන විට හඳුනා නොගත් එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3900 ක්‌ පමණ වේ. ඒ අතර ළමයින් සියයකට ආසන්න සංඛ්‍යාවක්‌ සිටින බව වාර්තාවේ. එමෙන්ම හඳුනාගත් එච්.අයි.වී. ආසාදිතයින් 2600 කට ආසන්න පිsරිස අතරද ළමයින් 81 දෙනෙකු සිටින බවද වාර්තාවේ. දරුවන් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රවෘත්ති ඇසෙන විට ඒ ගැන ඇතිවන කම්පනය හා සමානව මේ ගැන වඩ වඩාත් සැළකිල්ලෙන් අවධානය යොමු කළ යුතු බව අපේ විශ්වාසයයි.

ඇත්ත වශයෙන්ම අප වැඩි වශයෙන් ඒඩ්ස්‌ ගැන කතා කරන්නේ ලෝක ඒඩ්ස්‌ දිනයට පමණි. ඉන් අනතුරුව එළැඹෙන වසරක කාලය එම විෂයය පවා රහසිගත කාරණයකි. ඒඩ්ස්‌ පමණක්‌ නොව බොහෝ ලිංගාශ්‍රීත රෝග ගැනද රටේ ජනතාව තුළ ඇත්තේ "රහසිගත" ආකල්පයකි. ලෝකයේ බොහෝ රෝග "සමරන දිනයට" ඒවා ඉහළින්ම සමරන වැඩමුළු පවත්වන කවර ආයතනයකට වුව ඊට පසුදින සිට "දිනය" පමණක්‌ නොව සියලු ව්‍යාපෘතිද අමතකව යයි. ඇත්තම කතාව නම් බොහෝ රෝග ගැන අපට අසන්නට ලැබෙන්නේ වසරේ එක කාල සීමාවකදී පමණය. ඒ නිසාම සමහර කාලවල ඩෙංගුද, තවත් කාලයකට බරවාද, තවත් කාලයකදී ඇස්‌ රෝග ගැනද කතා බහ ඉස්‌මතු වේ. පිටරටින් ආනයන කරන රෝග ගැනද සමහර කාලවල කතා කරති. සිකා, මාර්ස්‌, චිකුන් ගුන්යා ගැන කතා කරන කාලයට තවත් බොහෝ දේ අමතකය. එහෙත් ඉහත කී වාර්තාව අපට පෙන්වා දෙන්නේ ඒඩ්ස්‌ පිළිබඳ කතාව නිතර යාවත්කාලීන විය යුතු බවය. එහෙත් ඒඩ්ස්‌ සුළඟින් පවා බෝවෙතැයි විශ්වාස කරන ගුරුවර, ගුරුවරියන් පවා සිටින රටක "ඒඩ්ස්‌" ගැන කතා කිරීම පහසු නැත. "ඒඩ්ස්‌" වසංගතය ලෝකයට පැමිණ දශක කිහිපයක්‌ ගතවීත් තවමත් ඒ ගැන හරිහැටි දැනුම්වත් වී නැති වැඩිහිටි පරම්පරාවක්‌ සිටින රටක දරුවන් එච්.අයි.වී. ආසාදිතයන් බවට පත්වීම අහන්නත් දෙයක්‌ද?

අවුරුද්දෙන් අවුරුද්ද ඒඩ්ස්‌ ගැන ඇහෙන මේ විවිධ කතා බහ අපට පෙන්වා දෙන්නේ තුන්වේලටම බණ ඇසුවද, හතර පෝයටම බණ ඇසුවද, තෙවැනි සිල් පදය නොකඩා හිඳින්නටම බැරි තරමේ ප්‍රශ්නත් අපට තිබෙන බවය. අවුරුද්දෙන් අවුරුද්ද ඒඩ්ස්‌ රෝගය වැළඳෙන සංඛ්‍යාව වැඩිවන විට එහි වරද අන්තර් ජාලයටත්, ජංගම දුරකථනයටත් පටවා නිදහස්‌ වීමේ හැකියාවක්‌ අපට නැත. මෙය සාරධර්ම පිළිබඳව ප්‍රශ්නයක්‌ හැටියට ලඝූ කිරීමත් සුදුසු නැත. මෙය සමාජය හරි හැටි දැනුම්වත් නොකිරීම පිළිබඳ ප්‍රශ්නයකි. ප්‍රජනන සෞඛ්‍ය විෂයය පුළුල්ව ඉගැන්වීමට පවා බියක්‌ දක්‌වන සමාජයක මේ දැනුම්වත් කිරීමේ ක්‍රියාවලිය එතරම් පහසු නැත. කොටින්ම කීවොත් බරපතළ සමාජ රෝගයක්‌ වැළඳුනු පුද්ගලයකු පවා රෝහලේ අදාළ සායනයන්ට සහභාගි වී තමන්ගේ රෝගය සඳහා ප්‍රතිකාර ගැනීම, උපදෙස්‌ ගැනීමට දැඩි සේ මැලිවන්නේ සමාජය තුළ වපුරා ඇති විවිධ මත නිසාය. අපි බොහෝවිට පුරුදුව සිටින්නේ විවිධ වැඩමුළු, භාවනා වැඩසටහන් පවත්වා මේ තත්ත්වයට විසඳුම් සෙවීමටය. ඇත්ත වශයෙන්ම අදාළ වගකිවයුතු, ආයතනද, වගකිව යුත්තන්ද කල්පනා කළ යුත්තේ මීට වඩා පුළුල් ලෙස සමාජය දැනුම්වත් කිරීමේ වැඩසටහන් සැකසීමට "ඉක්‌මන්" විය යුතු බවය. නැත්නම් ඊළඟ අවුරුද්දේ දරුණු සංඛ්‍යා ලේඛන දෙස බලමින් අපට හූල්ලන්නට තිබෙන ඉඩකඩ වැඩිය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.