මාගම්පුර
මංගල වැඩට බහී

නව අධිකරණ සංකීර්ණය ගැන වජිර හා චන්දිම මත ගැටුමක දෙදෙනාම අගමැතිට ගතු කියති.

අගමැති රනිල් වික්‍රමසිංහ මේ සති අන්තයේ ගාල්ලට පැමිණියේය. ඒ ගංවතුරෙන් විනාශයට පත් කුඩා තේ වතු සඳහා තේ වතු හිමියන්ට හා තේ කම්හල් හිමියන්ට වන්දි මුදල් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගිවීම සඳහාය. ඇමැති වජිර අබේවර්ධන මෙම උත්සවය මහ ඉහළින් සංවිධානය කොට තිබිණි. අගමැතිවරයා පිළිගනු ලැබුවේ ඇමැති වජිර අබේවර්ධන හා මහ ඇමැති ෂාන්ය. මෙම උත්සවයෙන් පසු අගමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරු වෙනුවෙන් තේ සූදානම් කොට තිබුණේ ගාලු කොටුවේ පිහිටි හිතවතකුගේ නිවසේය. වජිර, චන්දිම, මනුෂ බන්දුලාල්, විඡේපාල හෙට්‌ටිආරච්චි, සංජීව කරුණාතිලක අගමැතිවරයා සමග තේ පැන් සංග්‍රහයට එක්‌ව සිටියහ.

මෙහිදී අලුතින් ඉදිකිරීමට යෝජිත නව අධිකරණ සංකිර්ණය ගැන කතා බහ ඇදී ආහ. නීතිඥයින් පිරිසක්‌ද අගමැතිවරයා හමුවීම සඳහා පැමිණ සිටියහ. සර්, බෙලිගහ හන්දියේ අධිකරණ සංකීර්ණය සඳහා ගොඩනැඟිලි ඉදිකරගෙන යනවා. මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතු සඳහා විශාල මුදලක්‌ වැයකොට තියෙනවා. ඉදිකිරීම් අවසන් අදියරේ තියෙන්නේ. මේ ස්‌ථානය අධිකරණ සංකිර්ණය සඳහා යොදා ගන්න ඇමැති චන්දිම වීරක්‌කොඩි කීවේය. එහෙත් නීතිඥයින් චන්දිමගේ කීමට එකඟ වූයේ නැත. එතන ඉඩකඩ පහසුකම් මදි. වෙනත් ස්‌ථානයක අධිකරණ සංකිර්ණය ඉදි කළයුතු වෙනවායි නීතිඥයින් කියන්නට වූහ. වජිර අබේවර්ධන හා මනුෂ නානායක්‌කාර බූස්‌ස ප්‍රදේශයේ අධිකරණ සංකිර්ණය ඉදි කළ යුතු බවට අගමැතිවරයාට කීහ. එහෙත් චන්දිම වීරක්‌කොඩි ඇමැතිවරයා වජිර අබේවර්ධන හා මනුෂගේ මතයට විරුද්ධව අගමැතිවරයාට කරුණු කියන්නට වූහ.

එහෙනම් ඒ සඳහා සුදුසු ඉඩමක්‌ සොයලා නීතිඥයින්ගේ අදහස්‌ අනුව අධිකරණ සංකිර්ණය ඉදි කිරීමට කටයුතු කරන්න අගමැතිවරයා කීවේය.

ෂාන්ගෙන් අගමැතිවරයා
ඇසුවේ මොනවාද?

ෂාන් අසුන්ගෙන සිටියේ අගමැතිවරයාට යාබද අසුනේය. දකුණේ අය විස්‌ස එපාම කියනවාද අගමැතිවරයා ෂාන්ගෙන් ඇසුවේය. සර් මේ පනත පිළිබඳ යම් යම් ගැටලුකාරි තත්වයන් තිබුණා. සංශෝධන පනත ඉදිරිපත් කළවිට ඒ ගැන සාකච්ඡා කරලා අපේ මතය දන්වා යවමු කියලා මා කීවා නමුත් එකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු ඒ සඳහා එකගවුණේ නැහැ. ඒ නිසා තමයි එවැනි තත්වයක්‌ ඇතිවුණේ. සංශෝධන පනත ඉදිරිපත් කළවිට මන්ත්‍රීවරු සමග කතා බස්‌ කරලා අපේ අදහස්‌ දන්වලා එවන්නම් කියලා මහ ඇමැති ෂාන් කීවේය. ඒකතමයි කියමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හිස වනමින් එය අනුමත කළේය.

නිලමේ නිලමේට අදී

දකුණු පළාත් සභාවේ විපක්‌ෂනායක තෙන්නකෝන් නිලමේ මේ දිනවල වැඩි වශයෙන් තම කාලය යොදවා ඇත්තේ ඓතිහාසික බැරගම දේවාලයේ පැවැත්වෙන පෙරහැර සඳහාය. එම පෙරහැර සාර්ථක කරගැනීම සඳහා නිලමේ මේ දිනවල බරටම වැඩය. ඒ විතරක්‌ නොව එම පෙරහැරේ බස්‌නායක නිලමේ වශයෙන් කටයුතු කරන්නේ තෙන්නකෝන් නිලමේය. අගමැතිතුමා මේ පෙරහැරට එන්න හිටියේ නමුත් එතුමා මේ සඳහා දේවාල භුමියේ තාප්පය අලුත්වැඩියා කරන්න අකිල ඇමැතිතුමාට කියලා ලක්‌ෂ 21 ක මුදලක්‌ අරන් දුන්නා නිලමේ තම හිතවතුන් සමග කීහ. ඒ විතරක්‌ නොව නිලමේ අකිල විරාඡ් ඇමැතිවරයා ගැනද කතා කළේ දැඩි ප්‍රසාදයකිනි. එතුමා අපේ පක්‌ෂයේ ඉන්න තරුණ නායකයෙක්‌. එතුමාට අනාගතයක්‌ තියෙනවා. එජාප පාක්‌ෂිකයින් ගැන හොඳට හොයලා බලලා කටයුතු කරන ඇමැතිවරයෙක්‌ තෙන්නකෝන් නිලමේ අකිලට සහතිකයක්‌ දෙමින් හිතවතුන් සමග කීවේය.

පැළවෙන මුල්ගල් තියන්නේ නැතිලු

තිස්‌සමහාරාම නව වෙළෙඳ සංකිර්ණය හා නව ප්‍රාදේශීය ගොඩනැඟිල්ලක්‌ සඳහා මුල්ගල් තැබීම පාඨලි චම්පික රණවක හා සජිත් ප්‍රේමදාස යන ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වූයේ තිස්‌සමහාරාම නගරයේදීය. මේ සඳහා පසුගිය රජය කාලයේ හිටපු කථානායක චමල් රාජපක්‌ෂ හා නාමල් රාජපක්‌ෂ මන්ත්‍රීවරයා විසින් මුල්ගලක්‌ තබා තිබුණි. නව වෙළෙඳ සංකිර්ණය ඉදිකිරීමට භුමිය සකස්‌ කිරීමේදී එම මුල්ගල ඉවත් කළයුතු විය. මේ ගැන ලාල්චන්ද්‍ර මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා දැනුවත් කළේය. ඒ මුල්ගල ගලවන්න එපා එහෙම තියෙන්න අරින්න. අපි අලුතින් මුල්ගලක්‌ තබා අපේ සැලැස්‌ම අනුව වැඩ පටන් ගමු සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කීවේය. චමල් හා නාමල් විසින් තබා තිබූ මුල්ගල ළගට ගොස්‌ පාඨලි ඇමැතිවරයාද ඒ ගැන විපරම්කර බැලුවේය. මේ මුල්ගල තියලා තියෙන්නේ 2014 වර්ෂයේ නේ මුදල් අනුමත කරගන්නේ නැතිව තමයි මුල්ගල් තියලා තියෙන්නේ පාඨලි කීවේය. මම නම් පැළවෙන මුල්ගල් තියන්නේ නැහැ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා එයට පිළිතුරු බඳිමින්a කීවේය.

ආණ්‌ඩු පක්‌ෂ කණ්‌ඩායම්
රැස්‌වීම උණුසුම්

දකුණු පළාත් සභාවේ ආණ්‌ඩු පක්‌ෂයේ කණ්‌ඩායම් රැස්‌වීම පැවතියේ මහ ඇමැති ෂාන්ගේ ප්‍රධානත්වයෙනි. මෙම රැස්‌වීම පෙර ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් තවත් වෙනම රැස්‌වීමක්‌ පවත්වනු ලැබීය. ආණ්‌ඩු පක්‌ෂ කණ්‌ඩායම් රැස්‌වීමේදී කතා කළයුතු දේවල් මෙන්ම ඉදිරිපත් කළයුතු යෝජනා පිළිබඳව එහිදී මන්ත්‍රීවරු කථිකා කර ගත්හ. ඉන්පසු ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු ආණ්‌ඩු පක්‌ෂයේ කණ්‌ඩායම් රැස්‌වීමට පැමිණියහ.

මුලින්ම කථාව පටන්ගත්තේ උප සභාපති සම්පත් අතුකෝරලය. මහ ඇමැතිතුමනි මේ විදියට අපට තවදුරටත් එකට යන්න බැහැ. ඔබතුමා 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත පළාත් සභාවට ඉදිරිපත් කළ අවස්‌ථාවේ හැසිරුණු හැටි ගැන අපේ ප්‍රසාදයක්‌ නැහැ. අපි ආණ්‌ඩු පක්‌ෂය නියෝජනය කළාට මන්ත්‍රීවරුන්ට ඇමැතිවරු සලකන්නේ නැහැ. රැකියා අවස්‌ථාවන් දීලා නැහැ. අපේ ආසනවලට ඇවිත් විවිධ වැඩසටහන් කරනවා. ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරු දැනුවත් නැහැ. සම්පත් කියාගෙන යන්නට විය. අපි එකට යනවාද වෙන් වෙනවාද කියලා තීන්දු කළ යුතුයි. සම්පත්, චම්ලි, අජිත් රාජපක්‌ෂ දැඩි ස්‌වරයෙන් කියන්නට වූහ.

සම්පත් අපි එකට යන්න පුළුවන් තාක්‌ කල් එකට යමු මහ ඇමැති ෂාන් උස්‌ හඬින් කීවේය. මහ ඇමැතිතුමනි එජාපයට සලකන එක නවත්වන්න. එජාපයත් එක්‌ක මේ ගමන යන්න බැහැ. දකුණේ ජනතාව ඡන්දය දුන්නේ සන්ධානයට චම්ලි විතානාච්චි මන්ත්‍රීවරයා කීවේය. මගේ මවගේ අභාවය නිසා මට පසුගිය පළාත් සභා රැස්‌වීමට එන්න බැරිවුණා. නමුත් 20 වැනි සංශෝධනය නිසා මා මග හැරිය බවට කථාවක්‌ ගිහින් තියෙනවා. රාසපුත්‍ර ඇමැතිවරයා නොක්‌කාඩුවට කීවේය. අමරවීර ඇමැතිතුමා කීවේ 20 වැනි සංශෝධනය නිදහසේ තීන්දු ගන්න මන්ත්‍රීවරුන්ට ඉඩ දෙනවා කියලා ගුණසේන ඇමැතිවරයා කීවේය. හරි ඔයා ඉන්න තැනකදීම මම ඔය කථාව අමරවීර ඇමැතිවරයාගෙන් අහන්නම් මහ ඇමැති ෂාන් කීවේය. ආණ්‌ඩුකාරතුමාත් එක්‌ක මේ ගමන යන්න බැහැ. එතුමා ගැන විශ්වාසයක්‌ නැහැ චම්ලි විතානාච්චි කීවේය.

වීරසුමන ඇමැතිතුමාගේ ඇමැතිකමට අත තිබ්බොත් ඉදිරියේ වෙන්නේ මොනවාද කියලා බලා ගන්න පුළුවන්. එහෙම වුනොත් පළාත් සභාව ඉදිරියට ගෙනි යන්න බැරිවේවි සම්පත් අතුකෝරල දැඩි ස්‌වරයෙන් කීවේය.

ඩී. වී. උපුල්ගෙන් හෙළිදරව්වක්‌

අයි ටොප් සමුළුවට ගිහින් යෑපීම් දීමනාව වශයෙන් වැඩිපුර මුදල් අරගෙන තියෙන නිලධාරින් ගැන තොරතුරු අපි ළග තියෙනවා. ඒවාත් අපි අනාවරණය කරනවා. විගණනයේ දී තමයි මෙවා අනාවරණය වෙලා තියෙන්නේ. ඇතැම් නිලධාරීන් යෑපීම් දීමනාව වශයෙන් වැඩිපුර ගත්තු මුදල් ගෙවලා තියෙනවා. ඇතමුන් ලක්‌ෂ හය හතර වශයෙන් ගෙවලා තියෙන බව තමයි දැන ගන්නට තියෙන්නේ. ඩී. වී. උපුල් කීවේ දැඩි ආවේගයෙනි. ආණ්‌ඩු පක්‌ෂ කණ්‌ඩායම් රැස්‌වීම උණුසුම් වාද විවාද මැද පැවතියද අවසානයේ එය ඉතා සුහද අයුරින් අවසන්විය.

මංගල වැඩට බහී

ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මංගල සමරවීර ඇමැතිවරයා විසින් මාතර දිස්‌ත්‍රික්‌කයේ එජාප ආසන සංවිධායකවරුන් තම නිවසට කැඳවා තිබුණි. මැතිවරණය ගැන මෙන්ම සංවිධාන කටයුතු ගැනද මෙහිදී මංගල ඇමැතිවරයා ආසන සංවිධායකවරුන් හා හිටපු පළාත් පාළන නියෝජිතයින් දැනුවත් කිරීමට කටයුතු කළේය. පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්‌ෂකයන් තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්‌ෂණ මණ්‌ඩලයක්‌ පත් කිරීමටද මංගල ඇමැතිවරයා පියවර ගනු ලැබීය. එහි සභාපති ධුරයට පත්කරනු ලැබුවේ දකුණු පළාත් සභාවේ හිටපු විපක්‌ෂ නායකවරයකු වන ජස්‌ටින් ගලප්පත්තිය.

චතුර තිසරට කී කතාව

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ දිසානායකගේ පුත්‍රයාගේ මංගල උත්සවය පැවතියේ අගනගරයේ පිහිටි සුපිරි හෝටලයකය. දෙවැනි දින උත්සවය සඳහා ශ්‍රී.ල.නි.ප තරුණ සංවිධානයේ භාණ්‌ඩාගාරික තිසර ගුණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න, දහම් සිරිසේන, චතුරිකා සිරිසේන ඇතුළු පිරිසක්‌ එක්‌ව සිටියහ. මෙම උත්සවයේ දී තිසරට චතුර සේනාරත්න මුණගැසුණි. ආ තිසර කොහොමද මන්ත්‍රීවරයා ඇසුවේය. මෙහිදී සිල් රෙදි නඩුව ගැනද දෙදෙනා කතා කරන්නට විය. කසකාරයෝ විතරයි ඔය ආවේ. බෙරකරුවන්, නලාකරුවන්, නැට්‌ටුවන්, බොරු කකුල් කාරයින් මග එනවා යෑයි චතුර තිසරට සිනහවෙමින් කීවේය.

ලලිත් චාමින්ද


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.