මිනිසුන් හදා රට හදන දර්ශනය

මීගොඩ සුත හිමි

ශ්‍රී ලංකාව අද නොදියුණු යෑයි ද පෙර අතීතයේ මහත් ශ්‍රී විභූතියෙන් යුක්‌තව දියුණුව පැවතිණැ යි ද යන්න විමසා බැලිය යුතු ප්‍රකාශයක්‌ බව පෙනේ. එහිලා දියුණුව යන්න අර්ථකථනය කරන ආකාරය ද පැහැදිලි නැත. විද්‍යාව, තාක්‍ෂණය, ආර්ථිකය ආදී භෞතික අංශවලින් ද අතීතයේ සිටම අඛණ්‌ඩව නැඟීමක්‌ පමණක්‌ දැකිය හැකි නොවේ. එය කලින් කලට ඒ ඒ දේශපාලන සමාජ සාධකවලට සාපේක්‍ෂව සිදු වූ නැ`ගීම් බැසීම් ක්‍රියාවලියකි. ලෝකයේ කාර්මික අතින් දියුණු රටවලට සාපේක්‍ෂව වර්තමානයේ යම් පසුබෑමක්‌ වේ නම් එය ද පවතින හා පැවති දේශපාලන සමාජ සාධකවලට සාපේක්‍ෂව සිදු වූ කාරණා විනා වෙන යමක්‌ නොවේ. එහෙත් කුමන අන්දමේ භෞතික පසුබිමක්‌ තුළ වුව ද ඉතිහාසයේ සිට ම සිංහලයා ආරක්‍ෂා කරගෙන පැමිණි උදාර මානව ගුණාංග රාශියක්‌ විය. බැමිණිතියා මහා සායට පවා ඒ මනුෂ්‍ය ධර්ම වියළවීමට නොහැකි විය. ඉතිහාසය පුරා ම සිංහලයා සතුව පැවති වටිනා ම වස්‌තුව, ධර්මය හා බැඳුණු මේ උදාර මානව සම්ප්‍රදාය යි. එය බෝසත් සිරිතින් විචිත්‍ර විය. යළි යළි පණ නැඟිණි. තමන්ට බත නිපදවා ගැනීමට හේන් කුඹුරුවල වෙහෙසව, වැවට බැස නා පිරිසිදුව, තමන්ම නිපදවා ගත් බත අනුභව කොට, ගොම මැටි ගෑ බිමක පන් පැදුරක්‌ එළාගෙන නිදන, පන්සල ඇසුරේ වැඩුණු අපේ පැරණි සමාජයේ මිනිසාට මානසික අසහනය, පීඩනය හා තරගකාරී බව තිබුණේ නැත. ඔවුහු එකිනෙකාට එරෙහිව එදිරිව ලබා ගත හැකි යමක්‌ ගැන දැන නො සිටියහ. ඔවුන් දැන සිටියේ අනෙකාට යමක්‌ පරිත්‍යාග කොට අත්හැරීමෙන්, කැප කිරීමෙන් පරිත්‍යාගයෙන් ලබා ගන්නා යමකි.

මෙයින් සිංහල සමාජය හුදු සුචරිතය පමණක්‌ තිබූ සාධු ජන සමාජයකැයි ම අදහස්‌ නො කෙරේ. සිංහල සමාජයේ පෙර කල යම් යම් විෂමාචාර තිබෙන්නට ඇත. එහෙත් එහි ලා විශේෂත්වය නම් එම විෂමාචාර කිසිදු හේතුවක්‌ අරබයාවත් සාධාරණීකරණයකට නො පෙළඹීම ය. වරද වරද ලෙස පිළිගැනීම ම උසස්‌ මානව ස්‌වභාවයකි. වරදින් නො මිදුණු අය පවා තම වරද වරද ලෙස දකිමින් ප්‍රමාදීව හෝ වරදින් මිදෙන සිතින් ක්‍රියා කළා විනා වරද සාධාරණීකරණය කරන විකෘති සමාජ ක්‍රමයක්‌ එහි නොවිණි.

රුවන්මැලි සෑයටත්, ඡේතවනාරාමයටත්, සීගිරියටත්, පරාක්‍රම සමුද්‍රයටත් වඩා සාඩම්බර විය හැකි උදාර මානව චර්යා සම්ප්‍රදායක්‌ අප සතු විය. එය එසේ නො විණි නම් රුවන්මැලි සෑයත්, ඡේතවනාරාමයත්, සීගිරියත් පරාක්‍රම සමුද්‍රයත් වෙනුවට මේ පොළොව මත මනුෂ්‍ය ධර්ම මරා දමමින් ටඡ්මහල්, චීන මහා ප්‍රාකාර, පිරමීඩ ඉදිවීමට ඉඩ තිබිණි.

ඒ මහා මානව සම්ප්‍රදාය අද මත්වතුර, කෘමි නාශක, සුහුරු ජංගම දුරකථන, ක්‍ෂණික ආහාර කඩ, මෙගා නාට්‍ය මාලා, එµa එම් නාළිකා, අවර ගණයේ සමාජ ජාල වෙබ් අඩවි ආදී මෙකී නොකී විකෘතීන් විසින් ආක්‍රමණය කොට හමාර ය. ප්‍රකෘතිය සොයා ගත නොහැකි තරමට විකෘතිය ප්‍රකෘතිය සේ සම්මතව ඇත. යළි අපට එම සරල අවශ්‍යතාවන්ගෙන් පිරිමැසුණු, අල්ප අපේක්‍ෂාවන්ගෙන් යුතු, ස්‌වභාව ධර්මයේ සංසිද්ධීන් උපේක්‍ෂාවෙන් ඉවසන නොවහල් ගැමි ජන ජීවිතයට සංක්‍රමණය වීම දුර්ගමයක්‌ තරමට ම දුරස්‌ථ ය. එම ජීවිතය පිළිබඳ මානව විද්‍යා කෞතුකාගාරවල දී අතීත කාල ආඛ්‍යානයෙන් කතා කිරීමට සිදු වන දිනය වැඩි ඈතක නොවේ. වේගයෙන් ගොඩනැඟෙන මේ නව සමාජය තුළ එම බරපතළ අහිමිවීම්වලට විසඳුමක්‌ ද නැත. මෙම පරිභෝජනවාදී සමාජය තුළ තරගය සාමාන්‍ය පැවැත්ම හා සම්බන්ධ අත්‍යවශ්‍ය කාරණයකි. -සිය ස්‌ථාවරත්වය ගොඩනඟා ගත හැක්‌කේ අනෙකා අතික්‍රමණය කිරීමෙන් පමණි යන්න මෙම නව සමාජයේ න්‍යාය වී ඇත. මෙහි ජය පරාජය තීරණය වන්නේ ධනය හා බලය වෙනුවෙන් ධනය හා බලය යොදන ප්‍රමාණයට අනුව ය. මේ තුළ සදාචාරය පිළිබඳ සංකල්පයක්‌ හෝ පුද්ගලයා ස්‌වයං සංවරයට පමුණුවන ආචාරධර්ම සම්ප්‍රදායක්‌ නැත. ඇත්තේ එම සමාජය විසින් ම එම සමාජයේ විකෘති පැවැත්ම පවත්වා ගැනීම පිණිස සම්මත කොට ගත් නීති, රීති, දඬුවම් ක්‍රමයක්‌ පමණි. මානසික පීඩනය, මානසික රෝග, භයානක සමාජ රෝග, පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව මේ නව සමාජය ලද තිළිණයෝ ය.

සිංගප්පූරුව, ලංකාව දෙස බලා දියුණු වී යෑයි ද තුන් වැනි ලෝකයේ සිට පළමු වැනි ලෝකයේ රටක්‌ වී යෑයි ද අපි උදම් අනමු. එහෙත් ලෝකයේ වැඩිම පීඩනයක්‌ සහිතව සිටින ජනයා අතරින් සිංගප්පූරු වැසියෝ ද එක්‌ පිරිසකි. මහ මඟ, දුම්රිය, බස්‌ රථය, රෝහල ආදී සෑම තැනක දී ම බොහෝ මිනිසුන්ගේ ලෝකය ජංගම දුරකථනය යි. ලාංකේය සමාජයේ වැරදීමෙන්වත් සිදු නොවූ පරිදි මහ ම`ගට දිව යද්දී රිය අනතුරකට ලක්‌ වූ සි`ගිති දරුවෙකු මහ මග පණ අදිද්දී ඒ දෙසවත් බලන්නට අවකාශ නොමැතිව ජංගම දුරකථන ඔබමින් යන මිනිසුන් රැසකගේ CCඔඪ දර්ශන සහිත විදෙස්‌ වීඩියෝවක්‌ පසුගිය කාලයේ අන්තර්ජාලයේ දක්‌නට ලැබිණි. අප දියුණුව යෑයි අරුත් ගැන්වූයේ මෙය ද? සමස්‌ත මානව සමාජය ම බරපතළ ලෙස වැරදි ගමන් මඟකට බැසගත් සැටියකි¾ මහා වනාන්තර මතු නො ව පුරා විද්‍යා සංරක්‍ෂණ භූමි ද ඩෝසර් කොට මහ පොළොව විකුණති. සතුන් මරා පැකට්‌ කරති. ගංගා ඇළ දොළ සිෙ`දන තුරු වතුර බෝතල් ගසා විකුණති. මිනිසා මිනිසාට එරෙහිව ජාති. ආගම්, වර්ණ ආදියෙන් බෙදී යුද වදිද්දී සිංහලයා ශ්‍රී ලාංකිකයන් ලෙස නාමකරණය වුව ද සත්‍ය නම් අපිදු පටු ගෝත්‍ර වාදයෙන් තව ම මිදී නොමැති බව යි. දෙමළ, මුස්‌ලිම් ජාතීන් සමඟ සමගි දාමයෙන් බැඳිය යුතු යෑයි සංහිඳියාව, සමානාත්මතාව හා සර්වාගමිකභාවය පිළිබඳ පුරසාරම් කීව ද සිංහලයා ම සිංහල කොඩිය වෙනස්‌ කළ ද, ජාතික ගීය දෙමළෙන් ගැයුව ද, අප තුළ මානව ධර්ම සනාථ වන බවක්‌ පෙනෙන්නට නැත. ආක්‍රමණිකයාට එරෙහිව අවි එසවුව ද කිසි දිනක සිංහල සමාජය තුළ මනුෂ්‍යත්වයට එරෙහිව අවි එසවූ යුගයක්‌ සඳහන් නො වේ. ජාති බේදය හිසින් නොගත් සිංහලයා මිය ගොස්‌ ජාතිකානුරාගයක්‌ නැති ශ්‍රී ලාංකිකයා ඉපිද ඇත්තේ සිංහලයා සතුව තිබූ උදාර මානව ධර්ම ද මරා දමමිනි.

මේ බරපතළ වැරදීමට පිළිතුරු සොයා නොගත හොත් අපි අතිශයින් ම අසරණ වන්නෙමු. මේ සඳහා විසඳුමක්‌ මේ විකෘති සමාජයට නොමැත. බොහෝ රටවල පවතින මුදල් බලය නොමැති වූ දිනක ඔවුහු අන්ත අසරණ ය. මෙම නව පරිභෝජනවාදය මත යෑපෙන දියුණු යෑයි සම්මත රටවලට කිසිදු චින්තාමය ශක්‍යතාවක්‌ පෙනෙන්නට නැත. දකුණු කොරියාවේ හෝ සිංගප්පූරුවේ හෝ මැද පෙරදිග රටවල හෝ ගායකයන්, සංගීතඥයන්, නවකතාකරුවන්, කවියන්, දාර්ශනිකයන් බිහි වන පරිසරයක්‌ නොමැත. ඒවායෙහි ශේක්‌ෂ්පියර්ලා, තාගෝර්ලා, මිලාරේපාලා, කුමාරතුංගලා, අමරදේවලා බිහිවීම සිහිනයකි. ඔවුහු ධනය හා බලය පමණක්‌ ආගම කොට අදහති. ඒවා අහිමි වූ දිනක ඔවුහු නොදියුණු මිලේච්ඡයන්ටත් වඩා අන්ත ය.

ආර්ථික හා තාක්‍ෂණික සංවර්ධනයට එරෙහිව අපට පසු ගමන් කිරීමට නොහැකිය. අපි කුමක්‌ කළ යුතුද? දලයි ලාමාතුමා මෙසේ කිsයයි.

'ආර්ථික හා තාක්‍ෂණික සංවර්ධනය අත්‍යවශ්‍ය මෙන් ම පැතිය යුත්තකි. එය අපට පාලනය කළ නොහැකි සංකීර්ණ සාධක රාශියක ප්‍රතිඵලයකි. එම දියුණුව හදිසියේ නතර කරමින් ප්‍රශ්නය විසඳිය හැකි යෑයි යමකු සිතතොත් එය මහ ම මුළාවකි. එහෙත් එම දියුණුව ඊට අවශ්‍ය ආකාරයට ම සිදු විය යුතු නොවේ. එය පැමිණිය යුත්තේ ඊට සමගාමීව එන සදාචාර වටිනාකම් පද්ධතියක්‌ හා බද්ධ වෙමිනි. යථෝක්‌ත දෙයාකාර කාර්යය සාර්ථක අසාර්ථක කර ගැනීම මනුෂ්‍යයන් වන අප සතු වගකීමකි. මනුෂ්‍ය සමාජයේ අනාගත යතුර වන්නේ එය යි. ද්‍රව්‍යමය හා ආධ්‍යාත්මික දියුණුවත් එකට පැවතිය හැකි සමාජයක්‌ නම් එය වචනයේ නියම අරුතින් ම තෘප්තිමත් වූ සමාජයක්‌ වන්නේ ය.'

- දලයි ලාමාතුමන්

හෘදයංගම උපදේශ - පරිවර්තනය ( මණ්‌ඩාවෙල පඤ්ඤාවංශ හිමි

මෙම සමාජ ප්‍රවාහය උඩුගම් බලා හැරවීමට නොහැකි බව පැහැදිලි ය. එහෙත් එම සමාජ ප්‍රවාහයේ අරමුණු හා අපේක්‍ෂාවන් වඩා උත්තරභාවයට පත් කිරීම නොහැකි නොවේ. වර්තමානයේ මෙම ව්‍යසනය නිසා පීඩිත ලෝකය මේ පිළිබඳ තරමක්‌ සංවේදී වෙමින් පවතී. මුහුණු පොත, ශධඹ ඔඹඊE වැනි සමාජ ජාල පුරා පසුගිය සමයේ මානවවාදය (Hමප්බසඑහ) පිළිබඳ විශාල සංවාදයක්‌ ඇති වූ අතර ඒ පිළිබඳ විවිධ වීඩියෝ පට, දේශන දහස්‌ ගණනකින් හුවමාරු විය. තවමත් හුවමාරු වේ. මෙම ආනයනිත විසඳුම් අන් කිසිවක්‌ නොව සිංහල සමාජය පුරා සුවඳ දුන් බෝධිසත්ත්ව චර්යාව යි. මේ අපගේ ම මූලය යි. අපේ ම මුල් සිඳගත් ජාතියට අද මුහුණු පොතින්, අන්තර්ජාලයෙන් Hමප්බසඑහ උගෙනීමට සිදු වීම දෛවයේ සරදමක්‌ සේ ය.

අප බෝසත් ගුණ නැවත දිවමන් කරවිය යුතු කාලය එළඹ ඇත. නැතහොත් අපට අන්ත අසරණව මියෑදෙන්ට සිදු වනු ඇත. ඊට පෙර නිවන් අවබෝධය තෙක්‌ බෝසත් මනු දම් පුහුණු කිරීමට හැකි නම් සතුටුදායක මරණයක්‌ හෝ අපට උරුම වනු ඇත. බෝසත් ගුණ පුහුණු කිරීම යනු බුදු බව පැතීම ම නොවේ. අනාදිමත් කාලයක පටන් මහා මානව පරම්පරාවකට නිදුකින් ජීවත් වන්නට ඉගැන්වූ පරමාදර්ශ හඳුනා ගැනීම යි. හෘද සංවේදී මනුෂ්‍යයකු වීම යි. ස්‌වකීය හෘද සාක්‍ෂියෙහි ලා අනාථ නොවන සනාථ මනුෂ්‍යයකු වීම යි.

අද යුගයේ බුද්ධ ධර්මය ඉගෙනීම ඉහළ ලකුණු සාමර්ථ්‍යයක්‌ ලැබීමට පමණක්‌ සීමා වී ඇත. මෙය විෂය නිර්දේශයක්‌ විනා උදාර මානව සම්ප්‍රදායකට අනුප්‍රාණය සැපයූ ප්‍රායෝගික ජීවන දර්ශනයක්‌ බව අද බොහෝ දෙනාට අමතකව ඇත. මීට වඩා යාන්තමින් හෝ සතුටුදායක ප්‍රතිරූප දේශයක්‌ උදෙසා බෝසත් ගුණ වැඩීම පිණිස ඇත්වැල් බැඳිය යුතු කාලය එළඹ ඇත. මේ සමාජ දේහය තුළ අතිශය පීඩිතව පිපාසිතව සිටින බොහෝ අසරණ සත්ත්වයෝ ඇත. එහෙත් ඔවුනට ම`ග නොමඟ කියන්නට සමත් අව්‍යාජ අකලංක හැ`ගීමෙන් කටයුතු කරන පරමාදර්ශී පෙරගමන්කරුවන් පිරිසක්‌ නොමැත. මේ ඒ සම්මා ව්‍යායාමයට එරෙහිව නැඟෙන පිළිමලුන් සිඳ බිඳ අසරණ මනුෂ්‍ය පරම්පරාවකට බෝසත් ගුණ සම්ප්‍රදානය කළ හැකි පරමාදර්ශී මිනිසුන් ජාතිය අපේක්‍ෂා කරන මොහොත යි. එය මේ යුගයේ පිරිය හැකි උතුම් ම පාරමිතාවකි. මිනිහා හදා රට හදන මහ ම මහ පින්කමකි. මිනිසියාව සරු කොට සැබෑ ලෙස ම රට සංවර්ධනය කිරීමකි.
 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.