යුද විරුවන් පාවාදීම;
ජෙනරාල් ෆොන්සේකාගේ කැමැත්ත
සහ ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය



බ්‍රසීලයේ තානාපති ලෙස කටයුතු කළ හිටපු හමුදාපති මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට විරුද්ධව ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් බ්‍රසීලය ඇතුළු රටවල් 6කදී යුද අපරාධ චෝදනා එල්ල කරමින් එම රටවල අධිකරණවලට පැමිණිලි ඉදිරිපත් කොට ඇති බව දැන් රටම දන්නා කාරණයකි. හිටපු හමුදාපතිවරයාට තම තානාපති මුක්‌තිය නිසා අත්අඩංගුවට පත්වීමෙන් වැළකී ශ්‍රී ලංකාවට ආපසු පැමිණිමට හැකිවිය. ඔහු තානාපති තනතුර හැර වෙනත් ආකාරයේ රාජකාරියක නියුක්‌ත වූයේ නම් මේ වන විට බ්‍රසීලයේ පොලිස්‌ අත්අඩංගුවේ පසුවන බවට කිසිදු සැකයක්‌ නැත.

ඒ ආකාරයට අප රටේ හිටපු හමුදාපතිතුමාට යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ කවුද? ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව බරපතළ යුද අපරාධ කළ බවට ''දරුස්‌මාන් වාර්තාව'' නමින් චෝදනා පත්‍රයක්‌ ගොනු කිරීමට මුල් වූ යෙස්‌මින් සුකා නැමැති දකුණු අප්‍රිකානු කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධානයක නායිකාවකි. ඇය දෙමළ ඩයස්‌පෝරාවේ ඩොලර් වලට කුලියට වැඩකරන්නියක්‌ බවට ප්‍රසිද්ධියට පත්වී ඇත. එසේ නම් අප රටේ තවත් හිටපු හමුදාපති වරයෙක්‌ වන මෑතක සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ ලෙස කටයුතු කරමින් ජෙනරාල් තනතුරක්‌ද ලබාගත් සරත් ෆොන්සේකා මහතා විසින් තම සහෝදර හමුදා නිලධාරීන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ කාගේ උවමනාවටද?

ඔහු එසේ කුලී වැඩ කරන්නේ කාගේ උවමනාවටද සුදු කොඩි කතාවට අදාළව සිදු කළ ආකාරයට ඒ පිළිබ`දව යම් පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බවට විවාදයක්‌ නැත. එහෙත් ලෝකයේ කිසිදු රටක හිටපු හමුදාපතිවරයෙක්‌ නොකරන ආකාරයට තමා සේවය කළ කාලය තුළ තමා හැර අනෙකුත් හමුදා නායකයන් යුද අපරාධ කළ බවට උඩ බලාගෙන කෙළ ගසන්නේ ඔහුගේ මානසික දුප්පත්කම නිසා බවට කිසිදු සැකයක්‌ නැත. ඔහුගේ ''වෛරී සිත'' කිසිදා සුවපත් නොවන රෝගී තත්ත්වයක්‌ බව දැන් ඉතා හො`දින් පැහැදිලි වේ. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වැනි ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ නමකට ඔහු අපහාස කළ ආකාරය අනුව එම රෝග විනිශ්චයන් තවදුරටත් තහවුරු වේ. එසේ වුවත් දේශපාලක ජෙනරාල් සරත් ෆොන්සේකාවිසින් හමුදාපති මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ඝාතනය කරන ආකාරය දෙස මහජනයා කනගාටුවෙන් සහ වික්‍ෂිප්තව බලා සිටින බවට විවාදයක්‌ නැත. එහෙත් ෆොන්සේකා මහතාගේ පුද්ගලික ද්වේශ සහගත ස්‌ථාවරය මිහිපිට පවතින කිසිදු රජයක ප්‍රතිපත්තියක්‌ බවට පත්විය හැකිද? ෆොන්සේකා මහතාගේ ප්‍රකාශ තුළින් පිළිබිඹු වන රජයේ ප්‍රතිපත්තිය කුමක්‌ද? එම ප්‍රතිපත්තිය මගින් කියවෙන්නේ ජාත්‍යන්තර බලවේග විසින් අප රටේ යුද විරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන විට ඒවා අනුමත කොට ඔවුන් පාවාදීම නිවැරදි බව නොවේද?
ෆොන්සේකා මහතාගේ ප්‍රතිපත්තිය රජය විසින් පිළිනොගන්නේ නම් අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට විරුද්ධව අනුගමනය කළ ප්‍රතිපත්තිය ඔහුට විරුද්ධව ද අනුගමනය කළ යුතුය. එනම් ප්‍රකාශය ඉල්ලා අස්‌කර ගත යුතුය. එසේ නැතිනම් ෆොන්සේකා මහතා ඉල්ලා අස්‌විය යුතුය. එසේත් නොමැතිනම් ඔහු ඇමැති ධුරයෙන් ඉවත් කළ යුතුය. එසේ සිදු නොවන තෙක්‌ ජනාධිපතිතුමා වේදිකාවල කුමක්‌a පැවසුවද රණවිරුවන් පාවා දීම රජයේ නිල ප්‍රතිපත්තිය බව මහජනයාට පිළිගැනීමට සිදු වේ. ජනාධිපතිතුමාගේ පුද්ගලික මතය කුමක්‌ වුවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසින් රණවිරුවන්ට අදාළව පවත්වාගෙන යන ප්‍රතිපත්තිය පිළිබඳව මහජනයාට අත්දැකීම් ඇත. හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අප රටේ හමුදාවට විරුද්ධව ජගත් මානව හිමිකම් කොමසාරිස්‌වරයා විසින් තම වාර්තාව මගින් එල්ල කළ සියලු අසාධාරණ සහ අභූත චෝදනා ඇගයීමෙන් යුතුව සහ ස්‌තුති පූර්වකව පිළිගත්තේ එම ප්‍රතිපත්තිය අනුවය.

අද අපේ රණවිරුවන්ට විරුද්ධව විවිධ රටවල් වලට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට හැකි වන්නේ එදා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විදේශීය මනසක්‌ ඇති අප රටේ විදේශ ඇමැතිවරයා ඒ සියලු චෝදනා කිසිදු විවාදයකින් තොරව පිළිsගත් බැවිනි. මංගල සමරවීර ඇමැතිවරයා ඒ ආකාරයට රටේ හමුදාව ජාත්‍යන්තර සභාවකදී පාවා දෙන්නේ ඔවුන් යුද අපරාධ නොකළ බවට ප්‍රබල සාක්‍ෂි සහ නීති තර්ක අඩංගු ලෝකය පිළිගත් යුද සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශේෂඥයන් 05 දෙනෙක්‌ විසින් ඉදිරිපත් කළ බලසම්පන්න වාර්තා 06ක්‌ ඔහු අත තිබියදීය. එම විශේෂඥයන් විසින් විධිමත් පරීක්‍ෂණයකට පසුව නීති තර්ක සහ සාක්‍ෂි ගොනු කරනු ලබන්නේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ ජාත්‍යන්තර ජනාධිපති කොමිසම යටතේ ලබාදුන් නියෝගයක්‌ අනුවය. නමුත් එම වාර්තා එළිදැක්‌වෙන්නේ වර්තමාන යහපාලන ආණ්‌ඩුව පත්වීමෙන් පසුවය. 2015 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේදී යෝජනා සම්මත කෙරෙන අවස්‌ථාවේදී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවල නිර්දෝෂී බව ඔප්පු කිරීම ස`දහා එම වාර්තා යොදාගත හැකිව තිබිණි. නමුත් ටී.එන්.ඒ පක්‍ෂයේ ඉල්ලීම මත රජය විසින් එම වාර්තා ඉදිරිපත් නොකර ඒවා ප්‍රසිද්ධ කිරීමෙන් තොරව සඟවා තබා ගැනීමට කටයුතු කළේය. එය මහා පාවාදීමක්‌ පමණක්‌ නොව රාජ්‍යයට සහ හමුදාවකට ෙද්‍රdaහී වීමක්‌ ලෙසද අනාගතයේදී ඔප්පු වනු ඇත.

ඉන් පසුව එනම් රජය විසින්ම ජාත්‍යන්තරයේදී අප රටේ හමුදාව පාවා දීමෙන් නොනැවතී රට තුළ ඔවුනට දඬුවම් කිරීම ස`දහා නීති සකස්‌ කිරීමද ආරම්භ විය. අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කිරීම එවැනි එක්‌ දුෂ්ට උත්සාහයකි. ඊට අමතරව තවමත් සම්මත කොට නැති නුදුරු දිනකදී සම්මත කිරීමට ඉඩ තිබෙන අතුරුදන්වීම් වැළැක්‌වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කළහොත් ජාත්‍යන්තරව එල්ල වන සියලූ චෝදනා නීතිමය වශයෙන් බලාත්මක කිරීමට ඉඩ ලැබේ. උදාහරණයක්‌ ලෙස එම පනත සම්මත වුවහොත් දැන් මවුබිමේ සිටින මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීම ස`දහා පිටුවහල් කරන ලෙස යෙස්‌මින් සුකා විසින් ඉල්ලා සිටියහොත් එය ඉටු කිරීමට ශ්‍රී ලංකා ආණ්‌ඩුවට සිදු වනු ඇත. එය කොතරම් බරපතළ පාවාදීමක්‌ද? එම තත්ත්වය වළකින්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් මහාසංඝරත්නයේ ඉල්ලීම මත එම පනත විවාදයට ගෙන සම්මත කිරීම කල් දැමීම ස`දහා ගනු ලැබූ තීරණය නිසාය. එම නව පනත සම්මත වුවහොත් එම පනත සහ දැනට සම්මත වී ඇති අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත යන පනත් දෙක සමගාමීව ක්‍රියාත්මක වන විට තත්ත්වය භයානක වේ.

එවිට අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත යොදා ගනිමින් සාක්‍ෂි ආඥා පනතට අදාළ නොවන ආකාරයට තෝරා ගත් හමුදා නායකයන් පිරිසකට විරුද්ධව චෝදනා ගොනු කර ඔවුන් චූදිතයන් බවට පත් කළ හැකිය. එනම් සාක්‍ෂිකාරයා හඳුනා ගැනීමකින් හෝ ඔහුගෙන් හෝ ඇයගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමකින් තොරව ඉලෙක්‌ට්‍රොaනික ක්‍රමයට ලබාදෙන ඊනියා සාක්‍ෂියක්‌ මත ඕනෑම හමුදා නිලධාරියෙක්‌ චූදිතයෙක්‌ බවට පත්කිරීමට ඉඩ ලැබේ. එම සාක්‍ෂිකරුවන් පිළිබඳව තොරතුරු ලබා දීමට අතුරුදන් වූවන්ගේ කාර්යාලය බැ`දී නැත. ඒ අනුව ගොතන ලද පට්‌ටපල් බොරු ප්‍රකාශයකට නීතිමය වටිනාකමක්‌ ලබා දීමේ '' රබර් සීල් '' එකක්‌ බවට එම කාර්යාලය පත්වේ. දඩුවම් ලබාදීමට බලයක්‌ නොමැති බව පැවසෙන සහ මහජනයා නොමඟ යෑවීම සඳහා කාර්යාලයක්‌ ලෙස හැඳින්වෙන එම අර්ධ අධිකරණ කොමිසමේ කාර්යභාරය වන්නේ චූදිතයන් ලයිස්‌තුවක්‌ සකස්‌කොට එහි ඇතුළත් වන්නන් ජාත්‍යන්තර අපරාධ නීතියට මෙන්ම දේශීය නීතියට ද ගොදුරු කිරීමය.

අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත අනුව එසේ ගොතන ලද සාක්‍ෂි මත චූදිතයන් බවට පත්වන හමුදා නිලධාරීන්ට විරුද්ධව නඩු පැවරීමේ බලය අතුරුදන් වූවා යෑයි කියන සමහරවිට වෙනත් රටක ජීවත්වන යෑයි කියන පුද්ගලයාගේ ඥාතීන්ට පමණක්‌ නොව රාජ්‍ය නොවන සංවිධානවලට ද ලැබේ. ඒ අනුව එම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වූ පසුව යෑස්‌මින් සුකාලාට බොරු සාක්‍ෂි සොයමින් කරදර වීමට අවශ්‍ය නැත. එවිට ශ්‍රී ලංකාවේදී චෝදනා එල්ල වන හමුදා නිලධාරීන්ට විරුද්ධව ඉතා පහසුවෙන් ජාත්‍යන්තරව නඩු පැවරීමට ඉඩ ලැබේ. දැනට සම්මත නොවූ පනත සම්මත වූ පසුව එසේ නඩු දැමීමේදී එම නඩු යම් නිශ්චිත රටක අපරාධ අධිකරණයක දී හෝ ජාත්‍යන්තර අධිකරණයකදී පැවරිය හැකි වේ. එහිදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණ ව්‍යවස්‌ථාවට හෙවත් රෝම ප්‍රඥප්තියට අත්සන්කොට නොමැති වුවත් අදාළ රට එම ප්‍රඥප්තියට අත්සන්කොට ඇත්නම් චූදිතයා ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කිරීමේ බලය එම රටට ලැබේ.

ඒ අනුව ජනාධිපතිතුමා විසින් අත්හිටුවා ඇත්තේ කොතරම් බරපතල ආකාරයට රණවිරුවන් පාවාදෙන පනතක්‌ද යන්න පැහැදිලි වේ. දැන් රාජ්‍ය නොවන සංවිධානවල කුලීකරුවන් සහ ටී.එන්.ඒ පක්‍ෂය උත්සාහ කරන්නේ ජනාධිපතිතතුමාගේ අත කරකවා කෙසේ හෝ එම පනත සම්මත කරවා ගැනීමටය. ජනතා විමුක්‌ති පෙරමුණ වැනි එදා යුද්ධය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි පක්‍ෂ පවා අද එම පනත්වලට පක්‍ෂපාතී බව පෙන්වන්නේ අතුරුදන්වූවන් පිළිබ`ද යොයා බැලීම යහපත් ක්‍රියාවක්‌ ලෙස හුවා දක්‌වමිනි. එහිදී ඔවුන් 1989 දී අතුරුදන් වූවන් පිළිබ`දව මෙන්ම කොටි ත්‍රස්‌තවාදීන් විසින් අතුරුදන් කළ පිරිස්‌ පිළිsබඳව සොයා බැලිය හැකි බවට පට්‌ටපල් බොරු මතවාද ඉදිරිපත් කරයි. ඔවුන් ඉතා මහන්සිවී බලයට පත් කළ වර්තමාන අගමැතිවරයාට එරෙහිව බටලන්ද කොමිසම විසින් ඉදිරිපත් කළ චෝදනා විභාග කිරීම තමා රාජ්‍ය බලය නියෝජනය කරන කාලයේදී හෝ උත්සාහයක්‌ ගත්තේ නැත. අතුරුදන්වූවන්ගේ කාර්යාලය හෙවත් කොමිසම පත්කරන්නේ උතුර නැගෙනහිර ගැටුම් ආශ්‍රිතව සිදු වූවා යෑයි කියන අතුරුදන්වීම් පිළිබ`ද පනත මගින් අවධාරණය කොට තිබියදී එසේ ආණ්‌ඩුව වෙනුවෙන් පට්‌ටපල් බොරු කීම පිළිබඳව ඔවුන් ලැඡ්ජා විය යුතුය.

ඊට අමතරව අදාළ පනත් දෙක මගින්ම සොයා බැලීම් කරන්නේ ආණ්‌ඩුව විසින් සෘජුව සිදු කළ සහ රජය විසින් මෙහෙයවන කණ්‌ඩායම් විසින් කරන ලද අතුරුදන්වීම් පිළිබ`ද පමණි. ඒ නිසා කොටි සංවිධානය විසින් කරන ලද අතුරුදන්වීම් සොයා බැලීමට හෝ ඊට වගකිවයුතු පුද්ගලයන්ට ද`ඩුවම් කිරීමට එම පනතෙන් ඉඩ ලැබෙන්නේ නැත. කොටි ත්‍රස්‌තවාදීන් විසින් කරන ලද අතුරුදන් කරවීම් ඇතුළු සියලූ අතුරුදන්වීම් පිළිsබඳ සොයා බැලීමට විශේෂ පනත් දෙකක්‌ මගින් විශේෂ යාන්ත්‍රණ පිහිටුවන්නේ තෝරාගත් හමුදා නිලධාරීන්ගෙන් පිරිසකට දඬුවම් කිරීමට බව මොළේ කලළදක්‌ තිබෙන ඕනෑම කෙනෙකුට වටහා ගත හැක. එම යාන්ත්‍රණය මගින් අතුරුදන්වීමට ලක්‌වූවන්ට සාධාරණය ඉටු කිරීමේ අවංක උවමනාවක්‌ නැති බවට කිසිදු සැකයක්‌ නැත. එසේ අවංක උවමනාවක්‌ තිබේ නම් ඒ ස`දහා පවතින නීතිය ප්‍රමාණවත් වේ. ප්‍රමාණවත් නොවනවා නම් දණ්‌ඩනීති සංග්‍රහයට නිශ්චිත සුළු සංශෝධනයක්‌ මගින් එම අඩුපාඩු නිවැරදි කළ හැක. ඒ ස`දහා වඩා වැදගත් වන්නේ විශේෂ සොයා බැලීමේ යාන්ත්‍රණයක්‌ පිහිටුවීමය. එනම් මූල්‍ය අපරාධ කොට්‌ඨාශය මෙන්ම ඒ ස`දහා විශේෂ වූ පොලිස්‌ කොට්‌ඨාශයක්‌ පිහිටුවීමය. අතුරුදන්වූවන්ට වන්දි ලබාගැනීම ස`දහා අවශ්‍ය සහතික ලබාදීම ස`දහා උප්පැන්න මරණ ලියාපදිංචි පනත සංශෝධනය කළේ 2010 දීය. ඒනිසා දැන් අතුරුදන් වූවන් පිළිබ`දව සොයා බැලීමේ අවංක උවමනාවක්‌ ඇත්නම් එවැනි පොලිස්‌ ඒකකයක්‌ වහාම පිහිටුවිය හැක.

ඊට අමතරව මහින්ද රාජපක්‍ෂ රජය විසින් අතුරුදන්වූවන් පිළිබඳව සොයා බලා සහන සැලසීම ස`දහා ජනාධිපති කොමිසමක්‌ද පත් කළේය. පරණගම කොමිසම නමින් ප්‍රසිද්ධ වූ එම කොමිසම ම`ගින් අතුරුදන්වීම් 5000ක පමණ පරීක්‍ෂණ නිමකොට තිබියදී වර්තමාන රජය විසින් එම කොමිසම අහෝසි කරනු ලැබීය. එය අහෝසි කරන ලෙස උපදෙස්‌ දෙන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාව මගිනි. එම කොමිසම අහෝසි කිරීමට බෙදුම්වාදී බලවේග විශේෂ උනන්දුවක්‌ දැක්‌වූයේ ඒ වෙනුවට නව පනත් දෙක මගින් ඔවුනට හැසිරවිය හැකි විශේෂ යාන්ත්‍රණයක්‌ පිහිටුවීමට බව පැහැදිලිව පෙනේ. මෑත කාලීනව එම ක්‍රියාවේ භයානකකම සැ`ගවීම ස`දහා මංගල සමරවීර අමාත්‍යවරයා අසරණ උත්සාහයක්‌ ගත්තේය. ඔහුට අනුව එම පනත් අතීතයට බලපාන්නේ නැත. එනම් ඒ ම`ගින් ද`ඩුවම් කළ හැක්‌කේ අනාගතයේ ඔවුන් විසින් සිදුකිරීමට නියමිත අතුරුදන්වීම් පිළිබ`දව පමණි. ඔහුට මෙන්ම මහජනතාවට ද අප රටේ ව්‍යවස්‌ථාවේ 13 (6) වගන්තිය කියවීමෙන් එම ප්‍රකාශය පට්‌ටපල් බොරුවක්‌ බව ප්‍රත්‍යක්‍ෂ කර ගත හැක.

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්‌ඩාර


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.