යුද්ධය - යාපනය සහ රේගුව



බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පසුව 1948 පෙබරවාරි මස 04 වැනිදා අප රටට නිදහස ලැබුණේය. මෙම නිදහස ලබා ගන්නට සිංහලුන් සහ ලාංකිකයන් විසින් බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව බොහෝ සටන් දියත් කළේය. බ්‍රිතාන්‍ය රජය මුදල් නීතිය හා ආරක්‍ෂාව කෙරෙහි දැඩි උනන්දුවක්‌ දැක්‌වූවේය. සෑම විටම ඔවුන් මෙම සේවාවන් සඳහා ලාංකිකයින් යොදා ගත්තේ නැත. 1967 දී මගේ මුල්ම රැකියාව සඳහා රේගු දෙපාර්තමේන්තුවට බැඳුණෙමි. මා රේගු දෙපාර්තමේන්තුවට බැඳෙන සමයෙහි උසස්‌ම නිලධාරියාගේ සිට පහළ ශ්‍රේණියේ නිලධාරියා දක්‌වා 1200 ක්‌ පමණ සිටියහ. මේ නිලධාරීන් බොහෝ දෙනෙක්‌ බර්ගර් ජාතිකයෝ වූහ. සන්සෝනි, මනිපෙනි, හැපන්ස්‌ටෝල්, ඩිවෝස්‌, කාලම්බර්ග්, රේමන්ඩ්, බර්කොලමියුස්‌, මෙන්ම කිංග්ස්‌ලි ජෝසප් යන නිලධාරීන්ගේ නම් මගේ මතකයට නැඟේ.

රේගු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය යටතේ පැවතුණ අතර කොළඹ වරායට අමතරව ත්‍රිකුණාමලය, ගාල්ල වරායන් මෙන්ම දිවයිනේ උතුරු ප්‍රදේශයේ යාපනය මූලස්‌ථානය කරගෙන පේදුරුතුඩුව, වැල්වැටිතුරය. කන්කසන්තුරය, කයිට්‌ස්‌, මන්නාරම මෙන්ම තලෙයිමන්නාරම වරායන්ද පිහිටුවන ලදී. තලෙයිමන්නාරම් තොට විශාල ජැටියකින් යුක්‌ත වූ අතර ඉන්දියාවේ සිට මෙරටටත් මෙරට සිට ඉන්දියාවටත් නැව් සේවාවක්‌ පැවැත්වුණි. වරකට මගීන් 700 ක්‌ පමණ රැගෙන එහා මෙහා ගමන් කරන ලද්දේය. ඉන්දියාවේ සිට මෙරටට වෙළෙඳ භාණ්‌ඩ මෙන්ම එළවළු, පලතුරු හා බිත්තරද ආනයනය කරන ලදී. එම භාණ්‌ඩ තලෙයිමන්නාරම්තොට සිට කොළඹ දක්‌වා දුම්රිය මගින් ගෙනඑනු ලැබූ අතර ඒවා ගුදම්ගත කරනු ලැබුවේ අයි. ජී. එස්‌. නමින් හඳුන්වනු ලැබූ ෂබාස්‌බ ඨදදාs Sයෑd හිදීය. සන්තබස්‌තියම හන්දිය පසුකර පිටකොටුව දෙසට එනවිට දුම්රිය මූලස්‌ථානය අතර මෙම ගුදම පිහිටා තිබුණි. සෙසු වරායන් රටේ ආරක්‍ෂාවත්, හොරබඩු ජාවාරම් වැළැක්‌වීම සඳහාත් භාවිතා කරන ලදී. වැල්වැටිතුරය වරාය හැරෙන්නට අනෙක්‌ සැම වරායකටම ජැටියක්‌ තිබුණි. කයිට්‌ස්‌ වරායේ ජැටි තුන හතරක්‌ම තිබුණි. නිතරම රේගු යාත්‍රා දෙකක්‌ ජැටියේ නවතා තිබුණි. ඒවායේ නම් "සුංගෙයි මාරුතන්", සුංගෙයි කාවලන්" නම් විය. මේ යාත්‍රා දෙකම සතියක පමණ කාලයක මුහුදේ රැඳී සිටීමට අවශ්‍ය කළමනා රැගෙන යැම සහිත සියලු පහසුකම්ද සලසා තිබුණ්‌ය. '"ජාගරි" යාත්‍රාව ත්‍රිකුණාමලය වරායේ රාජකාරී කටයුතු සඳහා යොදා තිබුණේය.

1968 දී මාගේ මුල්ම මාරුවීමේ නියෝගය වැල්වැටිතුරය වරාය වෙත ලැබුණේය. 1968 මැයි 31 වැනිදා කන්කසන්තුරය බලා පිටත් වූ රාත්‍රී තැපැල් දුම්රියෙන් ගමන් ගත්තෙමි. රාජකාරියට වාර්තා කළ පසුව යාපනය. මූලස්‌ථානය වෙත ගියෙමි. නගරය මධ්‍යයෙහි පිහිටි මෙම ගොඩනැඟිල්ල ඕලන්ද යුගයට නෑකම් කියන එකකි. එහි පාදම අඩි 4 ක්‌ පමණ පළල වූ අතර මුදුන අඩි දෙකක්‌ පමණ පළල බිත්ති විය. ප්‍රධාන දොරටුව අඩි 10 ක්‌ පමණ උස්‌ වූ එකක්‌ විය. මා එහි යන විට සහකාර රේගු අයකැමි ලෙස සේවය කරමින් සිටියේ එස්‌. එම්. ෙ-. සේනාරත්න මහතාය. (එකල රේගුවේ ප්‍රධානියා ප්‍රධාන රේගු අයකැමි නියෝජ්‍ය රේගු අයකැමි වශයෙන් පැවති අතර වර්තමානයේ රේගු අධ්‍යක්‍ෂ ජනරාල් යනුවෙන් වෙනස්‌ කරන ලද්දේය.) සේනාරත්න මහතාගේ කාර්යාලය ඉතා විශාල එකක්‌ විය. එතුමාගේ රාජකාරී මේසයට පිටුපස මුළු උතුරු පෙදෙස විදහා දැක්‌වෙන විශාල සිතියමක්‌ විය. අසා ඇති මුත් දැක නැති ගම් නගර බොහොමයක්‌ දැක ඇඳින ගතිමි.

වල්වැටිතුරයෙදී මාගේ උසස්‌ නිලධාරියා වූයේ සී. එම්. රේමන්ඩ් මහතාය. සෑම වේලාවකදීම සිනහමුසුව සිටින අතර ඉතා කඩිසර නිලධාරියෙකි. මෙම කාර්යාලයට අනුයුක්‌තව පීප් රථ දෙකක්‌ තිබුණි. රියෑදුරු මහතුන් දෙදෙනෙක්‌ සේවය කළේය. මාතුපාල සහ සේරම් මේ දෙදෙනාම දෙවැනි ලෝක යුද සමයේදී යුද හමුදාවේ සේවය කළ දෙදෙනෙකි. මාරුවීම කාල සීමාව තුන්මසක්‌ වූ අතර රේමන්ඩ් මහතා සමඟ එක්‌ව බොහෝ ප්‍රදේශ ආවරණය කර ගත්තෙමි. ඒවා අතර කත්කෝවලම් වල්ලිපුරම් කුඩතැනෙයි මනල්කාඩු (වැලි කඳු නමින් හඳුන්වා දිය හැකි මහා කාන්තාරයකි. මුහුදු වෙරළෙහි සිට සැතපුම් 03 ක්‌ පමණ දුරට හමා එන වැලි කුණාටු නොවැම්බර් දෙසැම්බර් කාලවලදී දැකගත හැකි වේ.) චැම්පියන් පත්තු යන ප්‍රදේශ මතක්‌ කරගත හැක. ඔහු ක්‍රිස්‌තියානි භක්‌තිකයෙකු වූවද නාගදීප කදුරුතුඩුව (කන්ද රොඩෙයි) දඹකොල පටුන ආදී බෞද්ධ සිද්ධස්‌ථාන මෙන්ම අති පූජනීය තත්ත්වයට පත්ව තිබෙන නල්ලූර් කෝවිල, වල්ලිපුරම් කෝවිලද මා හට වැඳපුදා ගන්නට අවස්‌ථාව සලසා දුන්නේය.

නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වන හා රටින් පිටකරන භාණ්‌ඩ පිළිබඳ නඩු ආවරණය කර නීති විරෝධී භාණ්‌ඩ අත්අඩංගුවට ගත් අවස්‌ථාවන්හිදී එම කටයුතු විමර්ශනය කර තීන්දුව දෙනු ලබන්නේ එස්‌. එම්. ෙ-. සේනාරත්න මහතා විසිනි. ඉතා චතුර ලෙස ද්‍රවිඩ භාෂාව කතා කිරීමේ හැකියාව මෙතුමා සතුයි. එසේම හොඳ මතකයක්‌ද තිබිණි. සමහර සැකකරුවන් දණ්‌ඩනවලින් ගැලවීම සඳහා මේ පළමුවැනි වරට මේ දේ සිද්ධ වූ බව පවසද්දී "සේනාරත්න" මහතා මීට වසර දෙකකට පෙර හොරබඩු ගෙනැවිත් මාදගල්වලදී අසු වී මම රුපියල් 1000/- ක්‌ දඩගැහුවා මතකද මන්කුන්පාන් වෙරළේදී හොරබඩු ගෙනැවිත් කයිට්‌ස්‌ රේගු කාර්යාලයේaදී දඬුවම් කළා මතකද? ආදී වශයෙන් මතක්‌ කර දී රේගු ආඥාපනත අනුව මෙවර රුපියල් 5000/- ක දඩයක්‌ නියම කරනවා. අත්අඩංගුවට ගත් භාණ්‌ඩ සියල්ල රාජසන්තක කරනවායි, නඩු තීන්දු දුන් අවස්‌ථා මට මතකය. නීති විරෝධී ක්‍රියා සඳහා ඔත්තු සපයන්නන් කෙලෙසක හෝ හෙළිදරව් වුවහොත් පාඩුව ලැබූ කණ්‌ඩායම විසින් ඔත්තුකරුව මරා දමනු ඇත. එහෙත් සේනාරත්න මහතාට ඔත්තු සපයන්නේ කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිවය. එලෙසම ඔවුන්ට හිමිවන ත්‍යාග මුදලද නිසියාකාරයෙන් ඔවුන්ට ලැබෙන බව දන්නා නිසාය. සමහර ඔත්තුකාරයන් හට ත්‍යාග මුදල් ගෙවන ලද්දේ කොළඹදී හෝ අනුරාධපුරයේදීය.

ගමන් බඩු කාර්යාලයට අනුයුක්‌තව 1983 දී ජුලි කලබල ඇතිවුන සමයේදී මම තලෙයිමන්නාරම තොට රාජකාරියේ නියුතුව සිටියෙහි. එම කාල වකවානුව රේගු ජීවිතයේ සුන්දරතම කාලයක්‌ විය. විශ්‍රාමලත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සරත් ජයතිලක මහතාත් සතිදෙකක කාලයකට මෙම වරායේ අධීක්‍ෂණ නිලධාරියා වශයෙන් පැමිණියේය. මා සමඟ පී. කේ. පණ්‌ඩුල, ලාලන සෙනෙවිරත්න ඇතුළු තවත් නිලධාරීන් රැසක්‌ සිටි අතර රංජිත් ළමාහේවා මහතා මන්නාරම සහකාර නිවාරණ නිලධාරියා ලෙස සේවය කළේය. 83 ජුලි කලබල මධ්‍යයෙහි අපි සෑම දෙනාම යුද හමුදා ආරක්‍ෂාව මැද අනුරාධපුරයට පැමිණ පසුව දුම්රියෙන් කොළඹ පැමිණියෙමු. යුද ගිණිදැල් පැතුරන නිසා උතුරේ වරායන් සියල්ලම වැසී ගියේය.

සාමයේ මල් පිපී එන්නට පටන් ගත්තේය. රේගුව නැවතත් යාපනයේ ස්‌ථාපිත වන්නට පටන් ගත්තේය. මා සමඟ නිවාරණ අංශයේ සේවය කළ ඩී. බෝපගේ මහතාගෙන් ඇමතුමක්‌ ලදිමි. එහි අංකය හුරුපුදුරුදු නොවූයෙන් මා ඒ ගැන " බෝපේ ගෙන්" විමසූ විට ඔහු දැන් සේවය කරන්නේ යාපනයේ බවත් ඔහුගේ උසස්‌ වීම සමඟ යාපනයට මාරුවීමක්‌ ලැබුණු බවත් ඉක්‌මණින් යාපනයට එන ලෙසත් ආරාධනාවක්‌ කළේය.

ඊළඟ සතියේ විශ්‍රාමික රේගු අධිකාරි ඩබ්. ආර්. විෙ-රත්නත් මමත් යාපනය බලා පිටත්ව යන්නට තීරණය කළෙමි. ඒ අනුව වායුසමීකරණය කරන ලද අධි සුඛෝපභෝගී දුම්රියෙන් යාපනය බලා පිටත් වූයෙමු. උදේ 5.55 ට දුම්රියට නැඟ ගත් අපි දෙදෙනා ඉතා සතුටෙන් ගමන් ආරම්භ කළේය. දිවා ආහාරය ගන්නා අවස්‌ථාව වන විට මෙම දුම්රිය යාපනය පළමු වැනි වේදිකාවේ නවත්වන ලදී. බෝපගේ මහතා ඇතුළු නිලධාරීන් විසින් අප දෙදෙනා සාදරයෙන් පිළිගනු ලැබීය. එදින සවස යාපනය නගර සංචාරයක යෙදුණි. රියෑදුරු ශ්‍රියානන්ද මහතා නගරයේ මංමාවත් ඉතා හොඳින් අධ්‍යයනය කර තිබීම අපට සහනයක්‌ විය. මට හුරු පුරුදු පාරවල්වල ගමන් ගත් තත් එම පාරවල් ගොඩනැඟිලි හඳුනාගත නොහැකි තත්ත්වයට දියුණු වී තිබුණි. තෙමහල් සිව්මහල් ගොඩනැඟිල්ලේ " සුපර් මාර්කට්‌" තාක්‍ෂණයේ නව දියුණුව සමඟ විවෘත කර තිබුණි ඉලොක්‌ට්‍රොනික්‌ භාණ්‌ඩ සහිත සාප්පු අදහා ගන්නටත් බැරි තරම් විය. මෙම ලිපිය ලියන්නට සතියකට පෙර මට එස්‌. එම්. ෙ-. සේනාරත්න මහතා මුණ ගැසුණේ විශ්‍රාමික රේගු නිලධාරින්ගේ නිලවරණ රැස්‌වීමේදීය. එතුමාට මම මෙම විස්‌තර පැවසූ පසුව එතුමා වසර දොළහක කාලයක්‌ යාපනයේ සේවය කළ නමුත් දැන්නම් එකදු පාරක්‌ තොටක්‌ හෝ සොයා ගන්නට බැරි තරම් වෙනස්‌ වී ඇති බව පැවසීය.

උතුරේ සේවයේ යෙදී සිටි සමයේදී මට යන්නට අවස්‌ථාවක්‌ නොලැබුණු එකම ස්‌ථානය "ඩෙල්µaට්‌" දුපත බව දැනගත් බෝපගේ පහුවෙනිදා උදෙන්ම එම සංචාරය සූදානම් කළේය. කුරිකට්‌ටුවාන් ජැටියට ගිය අප පෙරවරු 8.30 "ඩෙල්µaට්‌" බලා යාත්‍රාකරණ" "වදාකායි ෂෂ" යාත්‍රාවෙන් ගමන් ඇරඹීමු. පැයක පමණ කාලයකින්" "ඩෙල්µaට්‌" දූපත වෙත පැමිණි අප එන අතරමග නුහුරු එහෙත් අපූරු දසුනක්‌ දැක ගත්තේය. ඒ බෝට්‌ටුවක්‌ මත "ත්‍රීවීලරයක්‌" පටවා ගෙන " ඩෙල්µaට්‌" වෙත ගෙන යන අයුරුයි.

බොහෝ ඈත අතීතයේ යාපනය සිට "ඩෙල්µaට්‌" දූපතට පණිවිඩ යෑවීම සඳහා පරවියන් යොදාගත් බව කියවේ. මෙම පරවියන්ට ලැගුම් දෙනු ලැබු පරවි කූඩුව අදත් මෙහිදී දැකගත හැකිය. හුණුගල් තට්‌ටුවකින් හෙබි මෙම පොළොවෙහි බීමට තරම් සුදුසු ජලය නොමැත. කර්කශ ජීවිතයක්‌ ගත කරන මෙහි වෙසෙන ජනයා අව්වෙන් දැඩි පීඩාවට ලක්‌වන බව කිවමනාය. ඉහළට ඇදී වැවෙන හුණුගලක්‌ බොහෝ ආරක්‍ෂා සහිතව මෙහි ඇත. මෙම ගල දේවත්වයෙන් සලකනු ලැබේ.

මහා රැජිනියගේ කුළුන¾ ..Qමැeබි ඔදඇර.. අද භාවිතයට නොගැනුණත් මීට පෙරාතුව මෙය ප්‍රදීපාගාරයක්‌ ලෙස භාවිත කර ඇත. පහළ කුටියට දර දමා ගිනි දැල්වීමෙන් මෙසේ කළ බව කියෑවේ. තට්‌ටු 05 කින් යුත් කුළුනේ ඉහළින් මෙම ගිsනිදැල් පිටවන බවත් ඒ මගින් නාවිකයින්ට මග පෙන්වන බවත් ආරක්‍ෂා සහිතව නෞකාවන් හා යාත්‍රාවන් මුහුදු ගමන් කළ බවත් කියෑවේ. ඉතා බහුලව තිබෙන හුණුගල් උපයෝගී කරගෙන කිසිම බදාමයක්‌ නොමැතිව එක උස එක සමබරව තාප්ප තනා ඇති ආකාරය පුදුම හිතෙන සුලුය. මෙහි වෙසෙන ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය ධීවර රැකියාවයි. යාපනයට "කොට්‌ට කෙලංගු" විශාල ප්‍රමාණයක්‌ සපයනු ලබන්නේද මෙහි වෙසෙන ජනතාව විසිනි. හදිසි අසනීපයක්‌ වූ විට එම රෝගියා යාපනය හෝ කයිට්‌ස්‌ වෙත ගෙන ඒම සඳහා මුහුදු ගිලන් යාත්‍රා කිහිපයක්‌ද අපි දුටුවෙමු. එකල අශ්වයින් හා පෝනියන් මෙහි සිටියද මෙවර අප පෝනියන් දෙතුන් දෙනෙකුට වඩා දුටුවේ නැත. " ඩෙල්µaට්‌" දූපත කයිට්‌ස්‌ මැතිවරණ කොට්‌ටාසයට අයත් වන අතර මෙහි මැතිවරණ රාජකාරී සඳහා යන නිලධාරීන් මෙම දුෂ්කර ගමන බෝට්‌ටු මගින් යා යුතුය. එක්‌ මැතිවරණයකදී මුහුද චණ්‌ඩ වූ නිසා චන්ද පෙට්‌ටි ගණන් කරන මධ්‍යස්‌ථාන කරා ගෙන ඒමට ප්‍රමාද වූ බවට ඔබට මතක්‌ කර දිය යුතු වේ. දූපතේ ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කරන්නා වූ මෙහෙවර අති ප්‍රශංසනීයයි. දිවා බත්පත ඉතා ප්‍රනීත වූයේ අලුත් මුහුදු ආහාර එයට මුසුකර තිබුණි බැවිනි.

උතුරු රේගු මූලස්‌ථානයව තිබුණු යාපනය ප්‍රධාන රේගු කාර්යාලය මුළුමනින්ම විනාශ වී තිබෙන අයුරු අපට දැකගත හැකිවිය. අක්‌කරයකට වඩා විශාල වූ මෙම භූමි භාගය මම පහසුවෙන් හැඳිනගත්තද දැන් එහි ඇත්තේ නටබුන් පමණය. අප විසින් නඩු ආවරණය කළ ආකාරය එම නඩු හා නඩු භාණ්‌ඩ සේනාරත්න රේගු අයකැමිවරයා වෙත ඉදිරිපත් කළ ආකාරය පී. කේ. පිල්ලේ, ටී. පවලරාජා, එස්‌. මීරිහාන, සහ ඒ. කේදරිනාදන් යන නිලධාරී මහතුන්ද මට සිහිපත් විය. තවමත් රේගු දෙපාර්තමේන්තු කාර්යාල විවෘත කරමින් පවතී. එදා රේගු දෙපාර්තමේන්තු කාර්යාල කීපයක්‌ ආරක්‍ෂක හමුදා මගින් අත්පත් කර ගෙන ඇත.

කුරිරු අවාසනාවන්ත ත්‍රස්‌තවාදය නිසා උතුර හා දකුණ අතර තිබුණ සම්බන්ධතා බිඳ වැටුණි. මෙහි එක්‌ ඡායාරූපයක පෙනෙන්නේ දුම්රියක්‌ පුපුරුවා හැරි ස්‌ථානයකි. මෙම පාලම මත බෝම්බ අටවා තබා දුම්රිය පුපුරුවා හැර තිබේ. අදත් එහි නටබුන් ඔබට දැකගත හැකිය. විශාල මුදලක්‌ වැය කරමින් මෙම නිවස තනා කිරි උතුරුවා පදිංචි වුවද අද එම නිවසේ නටබුන්ද ඔබට දැක බලා ගත හැකි වේ. ඕලන්ද ගොඩනැඟිල්ලද අපගේ රේගු මූලස්‌ථානයේ නටබුන්ද මෙහි දිස්‌වේ.

සාමයේ මල් පිපී ඇත. කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයෙන් පිටත්වන "යාල්දේවි" දුම්රිය පිටත් වීමට මොහොතකට පෙර "තුන්වන වේදිකාවේ නවත්වා තිබෙන" යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය පෙ.ව. 5.55 ට කන්කසන්තුරය බලා පිටත් වේ. එම දුම්රිය පොල්ගහවෙල, කුරුණෑගල, අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය යාපනය සිට කන්කසන්තුරය දක්‌වා ඇති සෑම දුම්රිය ස්‌ථානයකම නවත්වනවා ඇත. උදේ තේ පානය කර මෙම දුම්රියට ගොඩවන ඔබට යාපනයේදී දිවා ආහාරය ලබාගත හැක. අනුරාධපුරයෙන් පසුව මෙම දුම්රියේ සාමාන්‍ය වේගය පැ. කි. මී. 100 ට අධිකය. පෙර සඳහන් කෙරුණ දුම්රිය පිටත්වීමේ නිවේදනය තවත් වසර සිය දහස්‌ ගණන් අප හැමෝගෙම දෙසවන් තුළ නිම් නාද වේවා.

ඩෝල්ටන් වක්‌වැල්ල
- විශ්‍රාම ලත් රේගු අධිකාරි
 




 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.