ශ්‍රාවස්‌ති රසකතා

ශ්‍රාවස්‌ති හිටපු ලේකම්

පාර්ලිමේන්තු හා සෙනෙට්‌ මන්තීS්‍රවරුන්ගේ නේවාසිකාගාරය වූ කොළඹ 07. එඩින්බරෝ චන්ද්‍රවංකයේ පිහිටි 'ශ්‍රාවස්‌ති' මන්දිරය ප්‍රධාන ගොඩනැඟිල්ල සමග ගොඩනැඟිලි හයකින් යුක්‌ත වූ අතර මන්ත්‍රීවරුන් 72 දෙනකුට නේවාසිකාගාර පහසුකම් සලසනු ලැබිණි.

ඒ. බී. සී. සහ ඩී. නමින් බංගලා හතරක්‌ ද ප්ලැට්‌ස්‌ හයකින් යුත් ගොඩනැඟිල්ලක්‌ ද ප්‍රධාන ගොඩනැඟිල්ල ද එයට අතිරේකව කාර්යාල ගොඩනැඟිල්ලද විය.

දිනපතාම පාහේ මෙහි පැමිණෙන විශේෂ අමුත්තන් දෙදෙනෙක්‌ ද විය. ඔවුන්ගෙන් එක්‌ අයකු අමරසිංහ නම් වූ අතර අනෙක්‌ අය ජාතික හැඳුමින් සැරසුණු 'බ්‍රොaකර්' නමින් වූ අයෙකි. මන්ත්‍රීවරු හා උප ඇමැතිවරු ද සමඟ ළඟින්ම ඇසුරු කළ මොවුන් මන්ත්‍රී වරප්‍රසාද පවා භුක්‌ති විඳිමින් නොමිලේ දුරකථන පහසුකම් හා ආහාර පාන ද ලබාගත් අතර මේ පිළිබඳව සේවකයන් විමසූවිට මන්ත්‍රීවරු පැවසුයේ රාජකාරි කටයුතු හා ආසනයේ කටයුතු වලදී ඔවුන් විශාල සේවයක්‌ ඉටුකරන බවය. මෙම හේතුව නිසා සේවකයන් එම අමුත්තන් ගැන සොයා බැලීමට එතරම් උනන්දුවක්‌ නොදැක්‌වූවද මෙම අමුත්තන්ගේ සමහර ''සේවාවන්'' ශිෂ්ට ලෝකයට ගැළපෙන ඒවා නොවන බව ඔවුන් දැන සිටියහ.

1960 දශකයේ මැතිවරණ තුනක්‌ පැවැත්වීමට සිදු වූ අතර 'ශ්‍රාවස්‌ති' කාමර සියල්ලම මන්ත්‍රීවරුගෙන් පිරී පැවතුණි.

'අමුතු සම්මුඛ සාකච්ඡාව' එක්‌ දිනක්‌ මෙම ජාතික ඇඳුමින් යුත් අමුත්තා තරුණියක්‌ කැටුව ශ්‍රාවස්‌තියට පැමිණියේය. සේවකයන් විමසූවිට ඔහු පැවසුයේ තම නෑයකු වන ඇයට පසුදින රැකියාවක්‌ සඳහා සම්මුඛ පරීක්‍ෂණයක්‌ බැවින් ඒ සඳහා උදව්වක්‌ ගැනීමට සබරගමු පළාතේ මන්ත්‍රීවරයකු හමුවීමට පැමිණි බවය. දෙදෙනාම මන්ත්‍රීතුමා හමු වූ අතර පුද්ගලයා වෙනත් කාර්යයක්‌ සඳහා පිටතට යවනු ලැබිණි. පැය භාගයකින් පමණ යම් කාර්යයක්‌ නිම වීමෙන් පසුව තරුණිය ඇයට 'තුටු පඬුරු' වශයෙන් හිමි වූ චෙක්‌ පතක්‌ ද සමඟ දෙදෙනාම පිටත්ව යනු දක්‌නට ලැබුණි.

ශ්‍රාවස්‌ති සී. බංගලාවේ කාමරයක මාතලේට නුදුරු එක්‌තරා නොදියුණු ආසනයක එතරම් අධ්‍යාපනයක්‌ නොලැබූ මන්ත්‍රීවරයකු නැවතී සිටියේය. සති අන්තයේ තම ආසනය වෙත යන මන්ත්‍රීවරුන් මෙන් නොව ඔහු ආසනයට ගියේ මාසයකට එක්‌ වතාවකි. මේ නිසා ආසනයේ ඡන්ද දායකයන් ඔහු සොයා පැමිණියහ. එක්‌ දිනක්‌ ඡන්ද දායකයන් රැසක්‌ පැමිණ මන්ත්‍රීතුමා හමු වී ආපසු ගිය අතර එක්‌ කාන්තාවක්‌ පමණක්‌ කාමරයේ රැඳුණි. පවුලේ අය හැරුණු විට පිටස්‌තර අය කාමරයේ රඳවා ගැනීම තහනම් බැවින් එහි පැමිණි සේවකයෙක්‌ ''සන්තෝසයි, අද මැතිනියත් සමඟ ඇවිත්. මන්ත්‍රීතුමා අදයි අපි එතුමිය දැක්‌කේ' යෑයි පැවසීය. 'ඒක මගේ වැඩක්‌, තමුසේ යනව යන්න කියමින් දොර වසා ගත්තේය. ඇය පිටස්‌තර කාන්තාවක්‌ බව පසුව දැනගන්නට ලැබුණි.

''නැටුම උපන් ඇඳුමෙන්''

මාතරට නුදුරු ආසනයක මන්ත්‍රීවරයෙක්‌ ශ්‍රාවස්‌ති ඒ' බංගලාවේ නැවතී සිටියේය. මධුවිතට ලොල් වූ ඔහු සෑම පාර්ලිමේන්තු රැස්‌වීම් දිනයකම පැමිණෙන්නේ මද සිහියෙනි. එදින ඔහු ආපසු පැමිණි විට රත්නපුරයට ආසන්න පෙදෙසක මන්ත්‍රීවරයෙකු ද සාදයක්‌ පවත්වමින් සිටි අතර එයට ද සහභාගි වූ මොහුට සීමාව ඉක්‌මවීය. මොහු නටන්නට වූ අතර කොතරම් වෙරිමත් දැයි කිවහොත් ඇඳ සිටි ජාතික ඇඳුම පවා ගැලවී ගොස්‌ සහමුලින්ම නිරුවත් විය. ශ්‍රාවස්‌තියේ සිටි අමුත්තන් ද මෙය දැක විශ්මයට පත් වූ අතර එතැනට පැමිණි දඹුල්ල මන්ත්‍රී ටී. බී. තෙන්නකෝන් මහතාගේ ඉල්ලීමක්‌ අනුව නේවාසික මන්ත්‍රීවරු ඔහුව ඔසවා ගෙන කාමරයට ඇතුළු කළහ.

''අළුයම රැකියා සැපයීම''

අසාධාරණය හා දුශ්චරිතය පිළිබඳව නිතර කතා කරමින් යහපත් සමාජයක්‌ බිහි කිරීමට සැවොම එක්‌විය යුතු බව හැමටම පැවසූ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ එක්‌ ආසනයක මන්ත්‍රීවරයෙක්‌ ශ්‍රාවස්‌ති කාර්යාලයේ තිබූ විශේෂ කාමරයක නැවතී සිටියේය. වචනයෙන් පමණක්‌ නොව ක්‍රියාවෙන් ද අහිංසක උපාසකයකු මෙන් හැසිරුණ ඔහුගේ කාමරයට ද ඇතුළුවීමට හැකිවන පරිදි ශ්‍රාවස්‌තියේ පිටුපස තාවකාලික දැව ගේට්‌ටුවක්‌ තිබුණි. ප්ලවර් රෝඩ් දෙසින් පැමිණි අයකුට මෙයින් ශ්‍රාවස්‌තියට ඇතුළු විය හැකිය. පෙර දින පාර්ලිමේන්තු රැස්‌වීම් දිනයක්‌ බැවින් මෙම ගේට්‌ටුව අගුළු ලා නොතිබුණි. ශ්‍රාවස්‌ති 'ඩී' බංගලාවේ නේවාසිකව සිටි මා හදිසි කාර්යාල කටයුත්තක්‌ සඳහා යතුරු ද රැගෙන අලුයම 7.30 ට පමණ කාර්යාලයට පැමිණියෙමි. ඒ මොහොතේ නව යොවුන් තරුණියක්‌ මන්ත්‍රීතුමාගේ කාමරයෙන් පිටතට පැණ හදිසි ගමනින් ඉවතට පා නැගීය. එවිටම පැමිණි මන්ත්‍රීතුමා මා අමතමින් 'බලන්නකො කුරේරා, මේ පාන්දර ඇවිත් රැකියා ඉල්ලනවා. මා කොහෙන් රැකියා දෙන්නදැයි විමසීය. කාරණය තේරුම් ගත් මා '' ඒක නේන්නම් මන්ත්‍රීතුමා කියමින් නිහඬ වීමි. සිදු වී ඇත්තේ කුමක්‌දැයි මට තේරුම් ගියේ පසුවය.

''කෙලෙහිගුණ නොදත් මන්ත්‍රී''

වයඹ පළාතේ ප්‍රබල දේශපාලන නායකයකු පරදවා එක්‌තරා ආසනයක්‌ දිනා ගැනීමට ස්‌වාධීන අපේක්‌ෂකයකුට හැකි විය. ඔහුට එම ජයග්‍රහණය සඳහා ඉතා කැපවීමෙන් දැඩි මහන්සියකින් මෙන්ම මුදල් ද වැයකොට කටයුතු කළේ එක්‌තරා ව්‍යාපාරිකයෙකි. මේ ව්‍යාපාරිකයා තම ඥතීන්ට ද විරුද්ධ වී ජයග්‍රහණය සඳහා දිවි පරදුවට තබා සතුරන්ට පවා මුහුණ දී එඩිතරව ඡන්ද සටන මෙහෙයවීය. උසස්‌ පදවියක්‌ පිරිනැමූ ජයග්‍රාහක මන්ත්‍රීවරයාට 'ශ්‍රාවස්‌ති' යේ නැවතුම් ලබාගැනීමට පවා ඔහු ක්‍රියාකාරී විය. පසුව යම් අවශ්‍යතාවක්‌ සඳහා එම ව්‍යාපාරිකයා 'ශ්‍රාවස්‌තිය'ට පැමිණ මන්ත්‍රීවරයා හමුවීය. ඒ මොහොතේ මන්ත්‍රීවරයා ඔහු සමඟ ප්‍රිSතියෙන් කතා කළ නමුත් ව්‍යාපාරිකයා තමා වෙත කැඳවාගෙන ඒම පිළිබඳව මන්ත්‍රීවරයා ශ්‍රාවස්‌ති සේවකයාට තරයේ දොස්‌ නැගීය. තමා බලයට පත්කළ ඡන්ද දායකයන්ට මන්ත්‍රීවරයා 'ගුණමකු වීම' ප්‍රත්‍යක්‌ෂ වූයේ මෙම සිද්ධියෙනි.

''සැපයුම්කරුට සැලකූ මන්ත්‍රී''

මධ්‍යම පළාතේ එක්‌තරා ආසනයක මන්ත්‍රීවරයෙක්‌ ශ්‍රාවස්‌ති 'සී' බංගලාවේ නැවතී සිටියේය. ඔහු ආසනය නියෝජනය කළේ එකම වතාවක්‌ පමණි. ශ්‍රාවස්‌තියට පැමිණෙන සෑම මොහොතකම ඔහු විමසිලිමත් වන්නේ 'අමරසිංහ'' නමැති අමුත්තා සොයා ගැනීමටය. සමහර අවස්‌ථාවල සේවකයන්ට පවසන්නේ වහාම ඔහු සොයා ගෙන එන ලෙසය. මන්ත්‍රීවරයා සමගම ගමන්ගන්නා ඔහුට මන්ත්‍රීවරයා සැලකුයේ දෙවියකුට මෙනි. මන්ත්‍රීවරයා ඉදිරියේ විවිධ පුද්ගලයන් දුරකථන ඇමැතුම් ලබාගන්නා ඔහු සමහර අවස්‌ථාවල සේවකයන්ට ද දොස්‌ නගයි.

පසුව විපරම් කර බැලීමේදී හෙළි වූයේ ඔහු මන්ත්‍රීතුමාට විවිධ 'අයවලුන්' සපයන බව සහ මන්ත්‍රීවරයාට රජයෙන් වෙන්කරන විවිධ ද්‍රව්‍ය සඳහා වූ 'කෝටා' හෙවත් නොයෙක්‌ භාණ්‌ඩ ප්‍රමාණයන් පිටස්‌තර අයට විකිණීමේ විශාල ජාවාරමක්‌ ඔහු සමඟ ගෙන යන බවය.

එස්‌. කේ. ඡේ. කුරේරා
 

 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.