රටේ හෙට කලදසාව

ව්‍යවස්‌ථාව, මැතිවරණ, ගිවිසුම්, ග්‍රහ මාරු සහ පක්‌ෂ මාරු ආදියෙන් විපරීත වී ඇති ලාංකේය දේශපාලන සමාජ කතිකාවත වෙත දාර්ශනික වියමනක්‌ වියන්නට කාලය උදා වී ඇත. හේතුව වන්නේ අනුරාධපුර යුගයේ ශිෂ්ටාචාරයේ ධජය අද්‍යතන බල සූත්‍රකරණය අබියස ගිලිහී ඇති බැවිනි. නිදහසින් පසු බලයට පත් වූ හා බලයට පත්වීමට ඡන්දය ඉල්ලූ සහ ඉල්ලන සෑම දේශපාලන පක්‌ෂයක්‌ම අතීත දර්ශනය අමතක කරමින් බටහිර දේශපාලනික දැනුම ඔස්‌සේ දේශසංවර්ධන උපාය මාර්ග සකස්‌ කළ ද ආවසානිකව සිදුව ඇත්තේ හුදු ලෞකික භෞතික දියුණුවක්‌ පමණක්‌ වීමයි.

2020 දී මෙරට ඡන්දයක්‌ පැවැත්වෙතැයි කියෑවේ. නමුත් අනාගතය එළැඹෙන්නේ මේ මොහොතේය. ඡන්දයක්‌ පැමිණි පසු සුපුරුදු පරිදි පක්‌ෂ විපක්‌ෂ සියල්ලෝම අතීතය ගැන කියමින් එකිනෙකාට චෝදනා කර ගනිමින් ජනතාවට සුබ සිහින ගෙනෙනු ඇත. පසුගියදා ඇති වූ ඩෙංගි ව්‍යසනය සලකන්න. සාමාන්‍ය ජනතාව රෝහල් තදබදයෙන් පීඩනයට පත් විය. ඩෙංගු රෝගයට ගොදුරු වූ සාමාන්‍ය මිනිසකුට තම පළාතේ තමා ඡන්දය දුන් පුද්ගලයාට කථා කොට ඇමතිතුමනි මන්ත්‍රිතුමනි මට රෝහලේ නවතින්නට ඉඩ නැහැ. මට ප්‍රතිකාර ගන්නට පරීක්‌ෂණ කරන්නට මුදල් නැහැ. නමුත් මම ඔබතුමාට/ඔබතුමියට ඡන්දය දුන්නා. මට උපකාර කරන්නැයි ඉල්ලූවේ නම් අදාළ බලවතුන් ඡන්දය ඉල්ලා ගෙන නිවසට පැමිණියා සේ රෝගියා බලන්නට පැමිණේවිද? සරල පිළිතුර නැත යන්නයි. අදාළ බලවතුන් යම් උපකාරයක්‌ කරන්නේ නම් ඒ ඊළඟ ඡන්දයකදී තම ව්‍යාපාරයට උපකාර කරන තෝරාගත් පිරිසකට පමණි. මෙම තත්ත්වයෙන් විතැන් වූ ජනතාවාදී නායකයන් සිටිය හැකි වුවද බහුතරයක්‌ විෂයයක සාමාන්‍යකරණය වූ සත්‍යය මෙය නොවන්නේද? නමුත් ඡන්දයක්‌ පැමිණි විට ජනතාවටද මේ අමතකය. ජනතාවද සිතන්නේ සාම්ප්‍රදායික පුරුද්දට අනුවය. මනෝවිද්‍යාත්මක එළඹුම්වලට රැවටෙන ජනතාව සුපුරුදු චර්යාවටම අනුගත වෙති. දේශපාලන පක්‌ෂ තම වටිනා ඡන්දය දෙස ඉමහත් කෑදරකමින් බලා සිටින බව ඔවුනට අමතක වෙති. එසේනම් විකල්පය කුමක්‌ද? එකම විසඳුම දේශපාලන චින්තනිකව සලකන විට අලුත් ජනතාවක්‌ බලයට පත් කර ගැනීමය. එය සිදු කරන්නේ කෙසේද?

මෙහිදී අප අවබෝධ කරගත යුතුව ඇත්තේ අපට සරිලන දේශපාලන සටන් පාඨය සොයා ගැනීමට අපි අසමත්ව ඇති බවයි. පසුගිය වකවානුවේ ලෝකයේ කථාබහට ලක්‌වූ දේශපාලන සංකල්පයක්‌ වූයේ එයසබන ටකදඉaකකහ aජඑ කදජ්කකහ යන්නයි. එහි අරුත ගෝලීයව සිතන්න දේශීයව රඟන්න යන්නයි. නමුත් ඒ සංකල්පය වනාහී බටහිර ආධිපත්‍යයේම දිගුවෙකි. ඒ අපට ආදේශ කරනවා නම් අප යූ ටර්න් එකක්‌ ගත යුතුය. එනම් දේශීයව සිතන්න ගෝලීයව ක්‍රියා කරන්න යන්නයි. දැන් ඊළඟ පැනය දේශීයව සිතීම අර්ථකථනය කර ගැනීමයි. ඒ සඳහා අප කළ යුතුව ඇත්තේ රුවන්මැලිසෑය දෙසත් පරාක්‍රමබාහු සමුද්‍රය දෙසත් බැලීම පමණි. එසේ බැලූ හෝ බලන දේශපාලන බලවේගයක්‌ හෝ බලපෑම් කණ්‌ඩායමක්‌ පින් බිමේ පක්‌ෂ දේශපාලනය පැමිණි දා පටන් මෙතෙක්‌ බිහිව නැති බව සංවේගයෙන් දැක්‌විය යුතුය. අනෙක්‌ අතට බලය මනස දූෂණය කරන බැවින් මේ දර්ශනය බලාත්මක කළ යුත්තේ ව්‍යවස්‌ථාපිත සීමාවකදී නොවේ. එසේ නම් ඒ කළ හැක්‌කේ කෙසේද? මේ ලිපිය මගින් හෙළි කරනු ලබන්නේ එම මාර්ගයයි. සරලව එය ආධ්‍යාත්මික සිතුවිලි ජාලයක්‌ (sචසරසඑම්ක එයදමටයඑ බැඑඅදරන) ඇති කිරීමෙන් කළ යුතු පාරභෞතික මෙහෙයුමකි. එහෙත් බටහිර විද්‍යාත්මකව යම් යම් මාන මගින්ද එය මැනීමට පරීක්‌ෂණ සැලසුම් කළ නොහැක්‌කේ නොවේ. කෙසේ වෙතත් එම සිතුවිලි දැල ස්‌වභාදහමේ රිද්මයට අනුයාත වූවක්‌ විය යුතුය. හේතුව විශ්ව ශක්‌තිය කෙනකුට අවැසි නම් අයහපත් පරිදි යොදාගත හැකි වීමයි. අනෙක්‌ අතට ගිනි ගත් ලෝකයේ අනාගතයේ බහුල වන අසාමාන්‍ය ස්‌වභාවික විපත් කළමනාකරණයටද මෙම ආධ්‍යාත්මික බලවේගය කදිම පිටිබලයක්‌ වන්නේය.

සෛද්ධාන්තිකව මේ ක්‍රමවේදය මෙසේ පැහැදිලි කළ හැකිය. අපගේ මනසේ පහළ වන සෑම සිතුවිල්ලක්‌ම විශ්වයට යහපත් හෝ අයහපත් බලයක්‌ නිකුත් කරන අතර එය පෙරළා තමා කරාම ප්‍රතික්‍රියා කරයි. පින් පව් වශයෙන් අප හඳුන්වන එය සුදු සහ කලු ශක්‌ති වශයෙන් නම් කළ හැකිය. සෑම පුද්ගලයකුගේම මනෝමය ශරීරය නිර්මාණය වන්නේ එම ශක්‌ති විශේෂවලිනි. පාරමී ගුණ වශයෙන් හඳුන්වන්නේ ද එයමය. අපගේ පාරමිතා කුසලාකුසල කර්ම විපාකවලට අනුව ක්‍රියාත්මක වෙයි. බුදුදහමේ පුද්ගල ප්‍රවර්ග හතරක්‌ දැක්‌වේ. ඒ අඳුරෙන් එළියට අඳුරෙන් අඳුරට ආලෝකයෙන් අඳුරට හා ආලෝකයෙන් අඳුරට යන පුද්ගලයන් වශයෙනි. අපගේ නිර්දිෂ්ට ආධ්‍යාත්මික ගමනට එක්‌ කර ගත යුත්තේ ආලෝකයෙන් ආලෝකයට හා අඳුරෙන් ආලෝකයට පිවිසෙන මිනිසුන්ය. අලුතෙන් තෝරා පත් කරගනු ලබන ජනතාව ඔවුන්මැ විය යුතුය. මේ මිනිසුන්ට අපි ආලෝකයේ මිනිසුන් ලෙස නම් කරමු. ඡන්දය යනු කැමැත්තයි. එය ලෞකිකව සලකන විට අගතියක්‌ද ලෝකෝත්තරව සලකන විට සෘද්ධිපාදයක්‌ හෙවත් දියුණුවේ අංගයක්‌ද වෙයි. ආලෝකයේ මිනිසුන් විසින් ගත යුතු දේශපාලනික තීන්දුව හුදෙක්‌ මේ ජීවිතය හෙවත් වත්මන් භවය ගැන පමණක්‌ සිතා ගත යුත්තක්‌ නොවේ. යෝජිත ආධ්‍යාත්මික සිතුවිලි ජාලය පෙනෙන දේශ සීමා උත්තරණය කරන්නකි. මෙරටට ඇල්ම බැල්ම හෙළන දෙවිවරු සිංහල බෞද්ධ සමාජ ජීවිතයේම කොටසකි. යම් ආධ්‍යාත්මික වැඩසටහනකදී ඒ නොපෙනෙන ආශිර්වාදය නොසලකා ගමන් ගත නොහැකිය. අනුරාධපුර යුග දසුන වන ගමයි පන්සලයි වැවයි දාගැබයි රන් ගොයමයි කහ සිවුරයි තේමාව කරගත් නායකත්වයක්‌ හෝ බලවේගයක්‌ යළි බිහිවන්නේ නම් නියත වශයෙන්ම ඒ සම්මා දෘෂ්ටික දේවාශිර්වාදය ලැබිය යුතුමය. මතු බුදුවන ආර්ය මෛත්‍රෙය නාථ බෝසතුන් ප්‍රධාන දේව මණ්‌ඩලය සහ ලංකාවත් සසුනත් භාරගත් උපුල්වන් ශ්‍රී විෂ්ණු ප්‍රධාන ලංකාධිගෘහිත දෙවිවරුන්ගේද ශක්‌තිය එහිලා අවැසිමය. ආධ්‍යාත්මවේදීන් දක්‌වන පරිදි වත්මන් සමාජය අධර්මිෂ්ඨ බැවින් මේ දේව ඇල්ම බැල්ම කෙමෙන් අපෙන් විතැන්ව යනු දැකිය හැකිය. එයින් අත්වන අයහපත වළක්‌වා ගැනීමට නම් මිනිසුන් තුළ පාරමී ගුණ දහම් වැඩිය යුතුය. ආමිස නොව ප්‍රතිපත්ති පූජා කළ යුතුය. එසේ කරමින් යෝගීවරු හෙළිකරන ආධ්‍යාත්මික ක්‍රමවේදයක්‌ අනුගමනය කරන්නේ නම් පමණක්‌ නැවතත් අනුරාධපුරයේ දේශපාලනය මෙලක්‌දිව යළි පහළ කොට හෙළය පෙරදිග ධාන්‍යාගාරය වීම නතර කළ නොහැක්‌කා මතු නොව අප කුඩා ස්‌වර්ණ දීපය ලෝකයේ බලවත්ම රාජ්‍ය බවට පත්වීම නොවැළැක්‌විය හැකිය. එහෙත් ඒ සඳහා අපගේ ඇතුළාන්තයේ ආධ්‍යාත්මික පරිවර්තනයක්‌ පිණිස අප සූදානම්ද යන්න පිළිබඳ ස්‌වයං සම්මර්ශනයක යෙදිය යුතුය.

සහකාර කථිකාචාර්ය
නාලක ජයසේන
කොළඹ විශ්වවිද්‍යාලය

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.