ජනපති අරුන්දිකගේ ඇමැති පට්‌ටම ගලවයි

දුකක්‌ නෑ; කොහොමත් යන්නයි හිටියේ
- අරුන්දික කියයි

කුෂාන් සුබසිංහ/ ප්‍රියදර්ශන ලියනගේ

සංචාරක සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඊයේ (12 දා) ඉවත් කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව මෙම ඉවත් කිරීම සිදුකර ඇති අතර ඉවත් කිරීම සම්බන්ධ ලිපිය ඊයේ අරුන්දික ප්‍රනාන්දු මහතා වෙත ලැබීමට සැලස්‌සු බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග 'දිවයින' ට පැවසීය.

2010 වසරේදී පුත්තලම දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අරුන්දික ප්‍රනාන්දු මහතා 2015 වසරේද එම දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් එජනිස යටතේ පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ඒ අනුව 2015 සැප්තැම්බර් මස 09 වැනි දා සිදුකළ ඇමැති මණ්‌ඩල පත් කිරීමේදී සංචාරක සංවර්ධන හා ක්‍රිස්‌තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරයෙන් පිදුම් ලැබූ අරුන්දික ප්‍රනාන්දු මහතා වසර දෙකක්‌ පමණ කාලයක්‌ එම ධුරය දැරීය.

එම ඇමැති මණ්‌ඩල පත් කිරීමේදී ඔහුට පළමුව හිමි වුණු ස්‌වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරය නිමල් ලන්සා මහතා සමඟ හුවමාරු කර ගත් අතර ඒ අනුව සංචාරක සංවර්ධන හා ක්‍රිස්‌තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරයේ දෙවනුවට දිවුරුම් දුන්නේය.

අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගිය කාලය පුරාවට ආණ්‌ඩුවේ ක්‍රියා කලාපය තදින් විවේචනය කළ අතර ආණ්‌ඩුවෙන් පිරිසක්‌ සමඟ ඉවත් වීමට තමන් තීරණය කර ඇති බවද නොයෙක්‌ අවස්‌ථාවන්හිදී ප්‍රකාශ කර තිබුණි.

නියෝජ්‍ය ඇමැතිධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ තමාට දුකක්‌ කනගාටුවක්‌ නැති බවත් කොහොමත් ලබන 20 වැනිදා තමන් එම ධුරයෙන් ඉවත් වීමට සිටි බවත් සංචාරක සංවර්ධන හා ක්‍රිස්‌තියානි කටයුතු හිටපු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා 'දිවයින'ට පැවසීය.

ඇමැති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව 'දිවයින' කළ විමසීමට පිළිතුරු ලෙස අරුන්දික ප්‍රනාන්දු මහතා මෙසේ ද කීවේය.

''ඇමැති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ලිපිය අද උදේ මට ලැබුණා. ඒ ගැන කනගාටුවක්‌ නැහැ. ඉවත් කිරීම පිළිබඳ තීන්දුව මම පිළිගන්නවා.

ඉවත් කළත් නැතත් ලබන 20 වැනි දා අපි කොහොමත් ඇමැතිකම්වලින් අයින් වෙන්න තමයි හිටියේ. ඒ අයත් ළඟදීම තීන්දුවක්‌ ගනිවී.

මේ ආණ්‌ඩුව යන විනාශකාරී ගමන පිළිබඳව අපට පැහැදීමක්‌ නැහැ. ආණ්‌ඩුවත් එක්‌ක මෙහෙම ගිහිල්ලා ජනාධිපතිවරයාගේ හොඳ නමත් කිළිටි වෙනවා. ශ්‍රී ලනිපට අපි ආදරෙයි. මා ඇමැතිකමෙන් ඉවත් කළාට මං පක්‌ෂය දාලා යන්නෙ නෑ.''

 

 
Powered By -


       උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
           223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.