ව්‍යාජ ලොතරැයි ගැන බන්දුලගෙන් ප්‍රශ්න කරයි

හේමන්ත රන්දුනු

ව්‍යාජ ලොතරැයි පත් වෙළෙඳපොළේ ඇති බවට කරනු ලැබූ හෙළිදරව්වක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ වංචා විමර්ශන අංශය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඊයේ (12 දා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

ගුණවර්ධන මහතාගේ නුගේගොඩ පිහිටි නිවසට ඊයේ දහවල් ගොස්‌ ඇති වංචා විමර්ශන අංශයේ පොලිස්‌  නිලධාරීන් සවස්‌ වන තුරුම ඒ මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

ලොතරැයි මණ්‌ඩලය පොලිස්‌ වංචා විමර්ශන අංශය වෙත කළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කළ බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

ව්‍යාජ ලොතරැයි පත් විශාල වශයෙන් වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති බවට බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා මාධ්‍ය හමුවේ අනාවරණය කරන ලදී.

මෙම ව්‍යාජ ලොතරැයිපත් තැපැල් මාර්ගයෙන් ලොතරැයි මණ්‌ඩලය වෙත ද ලැබී තිබූ බව පොලිසිය පවසයි.

පාරිභෝගිකයන් ආරක්‍ෂා කිරීමේ සමිතිය වෙතද මෙම ව්‍යාජ ලොතරැයිපත් තොගයක්‌ ලැබී තිබුණු අතර එම සමිතිය මගින් ද ඒ පිළිබඳව ලොතරැයි මණ්‌ඩලය වෙත පැමිණිලි කර තිබිණි.

මෙම ව්‍යාජ ලොතරැයි පත් ලැබුණේ කෙසේද යන්න පිළිබඳව මෙන්ම තවත් වැදගත් කරුණු කීපයක්‌ සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත් බව වංචා විමර්ශන අංශය පවසයි.

පොලිස්‌ වංචා විමර්ශන අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වේ.

 


 



 


 

 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.