යෝෂිත ඊයේ එෆ්සීඅයිඩී නොඑයි

හේමන්ත රන්දුණු

ගල්කිස්‌ස සහ රත්මලාන ප්‍රදේශවලින් කෝටි ගණනක්‌ වටිනා ඉඩම් මිලදී ගත් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් සිදුකරන පරීක්‍ෂණයට අදාළව ප්‍රකාශ ලබාදීමට ඊයේ (12 දා) පැමිණිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්‌ෂ මහතා එම කොට්‌ඨාසය වෙත දැනුම් දී ඇත.

පෞද්ගලික අවශ්‍යතාවක්‌ හේතු කරගෙන ඊයේ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ පෙනී සිටිය නොහැකි බවද යෝෂිත රාජපක්‌ෂ මහතා දැනුම් දී තිබිණ.

මෙම ඉඩම් මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ ඊයේ පෙරවරු 10.00 ට පෙනී සිටින ලෙස යෝෂිත රාජපක්‌ෂ මහතාට මීට ඉහත දැනුම් දී තිබිණ.

ගල්කිස්‌ස මිහිඳු මාවතේ පර්චස්‌ 31 ක ඉඩමක්‌ සහ රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ පර්චස්‌ 31.15 ක ඉඩම් දෙකක්‌ යෝෂිත රාජපක්‌ෂ මහතාගේ මිත්තණිය වූ ඩේසි පොරස්‌ටි මහත්මිය විසින් මිලදී ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් මීට ඉහතදී ද යෝෂිත රාජපක්‌ෂ මහතාගෙන් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ප්‍රශ්න කරන ලදී.

මෙම ප්‍රකාශ ලබා ගැනීම සඳහා රාජපක්‌ෂ මහතාට වෙනත් දිනයක්‌ ලබන දෙන බව මූල්‍ය අපරාධ කොට්‌ඨාස ආරංචි මාර්ග පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.