රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිමින්
වංශ ටෝක්‌ දමන අය වැඩිවෙලා

- ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා

සුජීව තත්සර

බරපතළ ලෙස රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිමින්, "වංශ ටෝක්‌" දමන වීරයන් වැඩිවී ඇතැයි වාරිමාර්ග සහ ජල කළමනාකරණ ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

රට බේරා ගැනීම වෙනුවෙන් ඇස්‌, මස්‌, ඉස්‌ සහ ලේ වගුරවමින් කැපකිරීම් කළ ඒ උදාරතර රණවිරුවන් රැක ගැනීමටත්, යුද්ධයට දායක වූ සහ ඊට නායකත්වය දුන් සෑම සියලු දෙනා රැක ගැනීමටත්, ඔවුන් වෙනුවෙන් අගතියක්‌ කිරීමට කිසිම ජාතියකට ඉඩ නොදීමටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.

කොළඹ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේදී ඊයේ (12 දා) පැවති රටේ වත්මන් තත්ත්වය දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැති විජයමුණි සොයිසා මහතා මෙම අදහස්‌ ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් කතා කළ හෙතෙම මෙසේද කීවේය.

සියලු රණවිරුවන්ගේ වගකීම අපේ රජය භාරගෙන තිබෙන බව තරයේම මතක්‌ කර සිටින්න කැමැතියි. රණවිරුවෝ උසිගන්වන කොන්ත්‍රාත්කරුවන් ගෙන් ඔවුන් බේරාගත යුතුව තිබෙනවා. සිල් රෙදි ප්‍රශ්නයේ දී අධිකරණය මනා වැටහීමකින් ක්‍රියා කර තිබෙනවා. අපි ලලිත්, අනූෂ මහත්වරුන් ගැන අනුකම්පාවෙන් බලනවා. ඒක වෙනම කතාවක්‌. නමුත් අධිකරණය, ව්‍යවස්‌ථාදායකය අභියෝගයට ලක්‌ කරමින් ක්‍රියා කරන්න අපි සූදානම් නැහැ. එහෙම කළොත් සමාජයේ නීතිය සහ විනය පාලනය කිරීම අපහසු කාරණයක්‌ වෙනවා. විපක්‌ෂ දේශපාලකයෝ මේ සමාජය වැරැදි දිසානතියකට තල්ලු කරනවා. ගෞරවනීය ස්‌වාමින් වහන්සේලාත් අද මේ වැඩවලට ඉදිරිපත් වෙලා. ඒ හිමිවරුන්ට මැදිහත්වීමට අයිතියක්‌ ඇතත්, අධිකරණ තීන්දුවලට එරෙහි වීම යහපත් ක්‍රියා මාර්ගයක්‌ නොවෙයි.

විසිවැනි සංශෝධනයට විරුද්ධව වුණා කියලා මේ ආණ්‌ඩුව වැටෙන්නේ නැහැ. ජනාධිපතිතුමා ප්‍රමුඛ පිරිස ජාතික කර්තව්‍යයක්‌ වෙනුවෙන් තමයි මේ සම්මුතිවාදී ආණ්‌ඩුව හැදුවේ. මේ අනුමත කරගත් වැඩපිළිවෙළ නිසා විශාල ජයග්‍රහණ ලැබුවා. ජාත්‍යන්තර බලපෑම් බොහොමයකින් රට ගැලවුණා. පසුගිය කාලයේ කෑගහපු විදුලි පුටුව විශේධනය කර ගන්නත් ලැබුණා. අපිට තිබුණු ආර්ථික සම්බාධකත් ක්‍රමක්‍රමයෙන් ඉවත් කර ගත්තා. අද ශ්‍රී ලංකාවේ ජීවත්වන පිරිසට ජාත්‍යන්තරයේ ගෞරවනීය පිළිගැනීමක්‌ ලබාදීමටත් රජයට හැකියාව ලැබුණා. මිලියන ගණනින් ගොඩගැහුණු ණය අද ගෙවමින් පවතිනවා. අද යහපත් ආර්ථික වටපිටාවක්‌ නිර්මාණය කරගෙන යනවා. රට ක්‍රමයෙන් නිවැරැදි සංවර්ධන මාවතට ගෙනවිත් තිබෙනවා.




 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.