කැලණි ගඟ සංවර්ධනය නොකර බස්‌නාහිර
පළාත් ව්‍යාපෘති සාර්ථක කිරීම සිහිනයක්‌
ඇමැති පාඨලී චම්පික රණවක

පියදාස රණසිංහ

කැලණි ගඟ සංවර්ධනය නොකර බස්‌නාහිර පළාත් සංවර්ධන ව්‍යාපෘතීන් සාර්ථක ලෙස පවත්වාගෙන යැම සිහිනයක්‌ විය හැකි බවත් ඒ නිසා මෙතෙක්‌ පහුගිය කිසිම රජයකට අතගසන්නට නොහැකිවූ කැලණි ගඟ සංවර්ධනය කිරීමේ යෝධ ව්‍යාපෘතියක්‌ වත්මන් රජය මගින් සැළසුම් කරන බවත් මහ නගර සභා හා බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කඩුවෙල නගරයේ නව සති පොළ ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සව සභාව හමුවේ ප්‍රකාශ කළේය.

රුපියල් ලක්‍ෂ 1450 ක වියදමින් ඉදි කරනු ලැබූ මෙම සති පොළ ව්‍යාපාරිකයන් 288 දෙනකු සඳහා ඉඩ පහසුකම් සලසා තිබූ අතර ඊට ආසන්නයේ කඩුවෙල අතිරේක බස්‌ නැවතුම් පළක්‌ද විවෘත කරන ලදී.

විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇමැති පාඨලී චම්පික රණවක, බස්‌නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය හා කඩුවෙල නාගරික කොමසාරිස්‌ විජිතා මායාදුන්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වය ඇතිව සමරු ඵලකයක්‌ නිරාවරණය කර සති පොළ ජනතා අයිතියට පත් කෙරිණි.

එහිදී උත්සව සභාව ඇමතූ පාඨලී චම්පික රණවක මහතා - බස්‌නාහිර පළාත් සංවර්ධනයට අදාළ ව්‍යාපෘති සැළසුම් කිරීමේදී කොළඹ නගරයට තදාසන්න කඩුවෙලට ප්‍රමුඛස්‌ථානයක්‌ දෙමින් නව ව්‍යාපෘතීන් රාශියක්‌ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මෙම ප්‍රදේශවල දිනෙන් දින වැඩි වෙමින් පවතින ජන ව්‍යDප්තියත් මාර්ග රථවාහන තදබදයත් පාලනය කළ නොහැකි තරමට ඉහළ යැම ගැනත් අපි සැලකිලිමත් වුණා.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ ප්‍රධාන පරිපාලන නගරය වගේම බත්තරමුල්ල, මාලබේ, කඩුවෙල හරහා වැටී ඇති නව නුවර මාර්ගයේ අධික රථවාහන තදබදය මේ ප්‍රදේශවල සංවර්ධනයට බාධාවක්‌ ජනතාවට හිරිහැරයක්‌. මේ අතර අතුරුගිරිය නගරාසන්න ප්‍රධාන මාර්ගවල පවතින රථවාහන තදබදය ඉතා විශාලයි. මේවාට විසඳුම් ලබාදෙමින් සංවර්ධන ව්‍යාපෘතීන්ට යැමේදී ඇතිවන බාධක ඉවත්කළ යුතුයි.

මේ නිසා විධිමත් නාගරික සැළසුම් කඩුවෙල හා අතුරුගිරිය නගර සඳහා යෝජනා කර තිබෙනවා. මේ අතර මගී ප්‍රවාහන පහසුව සඳහා කඩුවෙල, මාලබේ, බත්තරමුල්ල පාර්ලිමේන්තු පාර හරහා බොරැල්ල දක්‌වා සැහැල්ලු දුම්රිය සේවාවක්‌ යෙදවීමට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා උත්සව සභාව අමතා මෙසේ පැවසීය.

පසුගියය 2001 වසරේ මා දේශපාලනයට සම්බන්ධ වුණේ කඩුවෙල මැතිවරණ කොට්‌ඨාසයෙන්. එවකට හිටපු කඩුවෙල ප්‍රාදේශීය සභා සභාපති ජී. එච්. බුද්ධදාස මහතාගේ උනන්දුවෙන් දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට ප්‍රාදේශීය සභාවක්‌ මහ නගර සභාවක්‌ ලෙසට ඩබල් ප්‍රොමෝෂන් සහිතව උසස්‌වීමක්‌ ලබා ගැනීමට හැකි වුණා. කඩුවෙල සංවර්ධනය කඩිනම් වීමටත් සේවාවන් පුළුල් වීමටත් එක්‌ හේතුවක්‌ වුණේද එයයි.

මේ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළත පිහිටි මාර්ග 2400 අතරින් පළාත් සභාවට පැවරුණු මාර්ග කිහිපයක්‌ හැර අනෙකුත් අතුරුමාර්ග රුපියල් මිලියන 1200 ක වියදමින් කාපට්‌ අතුරා සංවර්ධනය කිරීමට එදා අවස්‌ථාව ලැබී තිබුණා.

අවුරුද්දකට වරක්‌ දෙකක්‌ කැලණි ගඟ පිටාර ගැලීමෙන් කැළණි මිටියාවතේ පදිංචි දහස්‌ ගණනක ජනතාවට බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙලා. මේ තත්ත්වය කඩුවෙල වෙලේ හංදිය, බෝමිරිය, නවගමුව ඇතුළු ගඟබඩ ආශ්‍රිත විශාල පිරිසකට බලපා තිබෙනවා. මේ ස්‌වභාවික විපත්වලට විසඳුමක්‌ ලෙසට හෙට්‌ටිගේ ඇළට අමතරව අතුරු ඇළ මාර්ගයක්‌ ඉදිකිරීමට යෝජනා කර තිබෙනවා.

උත්සව සභාව අමතා බස්‌නාහිර පළාත් මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, කඩුවෙල හිටපු විපක්‍ෂ නායක ප්‍රියන්ත පත්බේරිය, කඩුවෙල නාගරික කොමසාරිස්‌ විජිතා මායාදුන්න, ඇමැති සුජීව සේනසිංහ මහතාගේ සම්බන්ධීකරණ නිලධාරී අනිල් නිහාල් පෙරේරා, හිටපු නාගරික මන්ත්‍රී චන්ද්‍රසේන පලිහේන යන මහත්ම මහත්මීන්ද කතා කළ අතර එම අවස්‌ථාවට බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්‌ටර් බෙත්මගේ, උදාර රත්නායක, ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ සම්බන්ධීකරණ නිලධාරී බෝසෙත් කළහෙපතිරණ යන මහත්වරුද එක්‌ව සිටියහ.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.