ශාකසාරයෙන් කෘමියන් නසන
උණවටුනේ පියරත්න ගොවි මහතා


උණවටුන - දීපාල් පෙරේරා

උණවටුන මැටරඹ උළුදුව පදිංචි හපුතන්ත්‍රිගේ පියරත්න මහතා ශාකසාර පමණක්‌ උපයෝගි කර ගනිමින් ගෙවතු වගාවේදී බෝග වර්ග සඳහා සෑදෙන සියලු කෘමි උවදුරු දුරු කිරීමට හැකියාවක්‌ ඇති ශාකසාර කෘමිනාශකයක්‌ නිෂ්පාදනය කිරීමට සමත් වී ඇත.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වනු ලබන හපුතන්ත්‍රිගේ පියරත්න මහතා,

මම කාබනික පොහොර පමණක්‌ භාවිතයට ගනිමින් වසර විස්‌සක පමණ කාලයක්‌ ගෙවතු වගාවෙහි නිරත වන ගොවියෙක්‌. මුල් අවධියේ මගේ ගෙවතු වගාව කෘමි උවදුරුවලින් වරින් වර විනාශයට පත් වුණා. එම අවස්‌ථාවලදී මගේ දැනුම අනුව ශාකසාරවලින් පමණක්‌ කෘමිනාශක දියර සකසා ගනිමින් එම කෘමි උවදුරු දුරු කිරීමට උත්සාහ ගත්තත් එමගින් සාර්ථක ප්‍රතිඵල අත්වුණේ නැහැ.

නමුත් මම ඉන් අධෛර්යට පත් වුණේ නැහැ. මීට වසර දෙකකට පමණ පෙර මම මැටරඹ මවුබිම ස්‌වයං පෝෂණ පදනම සමඟම එකතු වුණා. ඒ නිසා මවුබිම ස්‌වයං පෝෂණ පදනම සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන ගෙවතු වගා ව්‍යාපෘතියට සම්බන්ධ වීමේ අවස්‌ථාව මට හිමි වුණා.

ඒ තුළින් මා ලබාගත් දැනුමත් වසර විස්‌සක පමණ කාලයක්‌ ගෙවතු වගාවෙහි නිරත වෙමින් මා ලත් අත්දැකීම්වලත් එකතුවෙන් ශාකසාරවලින් පමණක්‌ සාර්ථක කෘමිනාශක දියරයක්‌ නිෂ්පාදනය කිරීමේ හැකියාව මට ලැබුණා. ඒ ගැන මම අවංකවම සතුටු වෙනවා. මොකද ඕනෑම කෘමි උවදුරක්‌ දුරු කිරීමේ හැකියාව මෙම දියරයට තියන නිසා.

මෙම ශාකසාර කෘමිනාශක දියරය කොහොඹ කොළ, බුලත් කොළ, ගම්මිරිස්‌ කොළ, ඇල්බීසියා කොළ, කුරුඳු කොළ, දුම්කොළ සිහින්ව කපා, ඉඟුරු ඉස්‌ම, සුදු ලූනු ඉස්‌ම සහ ගව මුත්‍රා සමඟ මිශ්‍ර කර එයට ජලය එකතු කර සති දෙකක පමණ කාලයක්‌ පල් කිරීමෙන් සකසාගත හැකියි. අනතුරුව දින දෙකකට වරක්‌ සවස්‌ කාලයේ ඉසීමෙන් කෘමි උවදුරු දුරුකර ගැනීමේ හැකියාව ලැබෙනවා.

වැඩි විස්‌තර සඳහා විමසන්න හපුතන්ත්‍රිගේ ප්‍රියරත්න, උළුදූව, මැටරඹ, උණවටුන.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.