බැංකු කාඩ් රහස්‍ය අංක සොයා
රාත්‍රි කාලයේදීම මුදල් අරන්

හොර කණ්‌ඩායමක්‌ නිසා අතුරුගිරියේ ජනතාව බියෙන්

ඔරුවල - සරත් ද සිල්වා

අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ දිවා සහ රාත්‍රි කාලයේ සැරිසරන සොර කණ්‌ඩායමක්‌ හේතුවෙන් එම ප්‍රදේශවාසීන් දැඩි බියට පත්ව ඇත.

මෙම සොර කණ්‌ඩායම රාත්‍රි කාලයේ නිවැසියන් නිදි අතරේ නිවෙස්‌ තුළට රිංගා එහි තිබූ දේපළ සොරකම් කර ඇති අතර බැංකු කාඩ්, බැංකු පොත් සමගම රැගෙන ගොස්‌ රහස්‍ය අංකය සොයා රාත්‍රි කාලයේදීම මුදල් බැංකුවලින් ලබාගෙන ඇති බවත් වාර්තාවේ. මීට අමතරව රෝගී පුද්ගලයන් සිටින නිවෙස්‌ බිඳ එම රෝගීන්ගේ ඖෂධ මිලදී ගැනීමට තිබූ මුදල්ද මෙම සොරුන් රැගෙන ගොස්‌ ඇත.

පසුගියදා ඔරුවල විහාරස්‌ථානයක්‌ කොල්ල කෑමට එම ආරක්‌ෂිත බැම්මෙන් ඇතුළුවීමට උත්සාහ කළ අවස්‌ථාවේ අසල්වැසියන්ගේ කෑ කෝ ගැසීම් හමුවේ එම සොරුන් දෙදෙනකු පලාගොස්‌ ඇත. අනතුරුව එම සොරුන්ගේ පාවහන් සහ ආරක්‌ෂක හිස්‌ වැසුම් විහාරස්‌ථානයේ ආරක්‌ෂිත බැම්ම අසල තිබියදී ගම්වාසීන් සොයාගෙන තිබිණි. මෙම සොරුන් යතුරුපැදියකින් පැමිණෙන බවට ප්‍රකාශ කරන ගම්වාසීන් මේ බව අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර තිබිණි. මේ සම්බන්ධයෙන් ඔරුවල ප්‍රජා පොලිස්‌ කමිටුව සහ අතුරුගිරිය පොලිස්‌ ස්‌ථානාධිපති සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව එම කණ්‌ඩායම එක්‌ව රාත්‍රි සෝදිසි මෙහෙයුම් සිදුකරන බව එම ප්‍රජා පොලිස්‌ කමිටුව පවසයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.