යාපනය හා කිළිනොච්චියේ
සියදිවි නසා ගැනීම් වැඩිවෙලා


දිනසේන රතුගමගේ

යාපනය හා කිළිනොච්චි දිස්‌ත්‍රික්‌කවල වැසියන් සියදිවි හානි කර ගැනීම වසරින් වසර වැඩිවී ඇතැයි උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන ඒකකය මගින් කරන ලද සමීක්‍ෂණයකින් හෙළිවී තිබේ.

එම සමීක්‍ෂණයේ ප්‍රතිපලවලට අනුව 2009 වර්ෂයේදී එම දිස්‌ත්‍රික්‌ක දෙකෙන් සියදිවි හානි කරගත් සංඛ්‍යාව 124 කි. 2010 වර්ෂයේ 137 ක්‌ද, 2011 වර්ෂයේදී 141 ක්‌ද, 2012 වර්ෂයේදී 153 ක්‌ද, 2013 වර්ෂයේදී 158 ක්‌ ද, 2014 වර්ෂයේදී 157 ක්‌ද, 2015 දී 139 ක්‌ද, 2016 දී 179 ක්‌ද වශයෙන් සියදිවි හානිකරගෙන ඇත.

2017 වර්ෂයේ ජුලි මස 31 වැනිදා වන විට 151 දෙනකු සියදිවි හානි කරගෙන ඇති බව පෙන්වා දෙන එම සමීක්‍ෂණ වාර්තාව තවදුරටත් පෙන්වා දෙන්නේ වැඩි වශයෙන්ම සියදිවි හානි කරගෙන ඇත්තේ කාන්තාවන් බවයි.

ඒ අතරින් වයස අවුරුදු 40 ත් 55 ත් අතර කාන්තාවන් වැඩි පිරිසක්‌ සිටින බව සඳහන් කරන එම වාර්තාව මගින් පෙන්වාදී ඇත්තේ ඔවුන්ගෙන් වැඩි පිරිසක්‌ සියදිවි හානි කරගෙන ඇත්තේ තනිවම ජීවත් වීමට නොහැකි වූ සමාජමය ප්‍රශ්න නිසා බවයි.

යුද්ධයේදී සිය ස්‌වාමිපුරුෂයන් හා ඥතීන් අහිමි වී යැමද, සියලුම දේ යුද්ධයෙන් විනාශ වී යැමද ඔවුන් සියදිවි හානිකර ගැනීම කෙරෙහි බලපා ඇති බව කියන එම වාර්තාව යුද්ධයෙන් පසුව මානසික ආතතියට පත් පිරිස වෙනුවෙන් මනෝවිද්‍යාත්මක වැඩපිළිවෙළක්‌ සකස්‌ නොවීම මෙම සියදිවි හානි කර ගැනීම් කෙරෙහි බෙහෙවින් බලපා ඇතැයිද සඳහන් කොට තිබේ. බලාපොරොත්තු කඩවීම නිසා හටගත් ඉච්ඡාභංගත්වය නිසා විශාල පිරිසක්‌ සියදිවි හානි කර ගන්නා බැවින් වහාම මෙම ප්‍රදේශය තුළ වැසියන්ගේ මානසික මට්‌ටම ඉහළ නැංවෙන අන්දමේ මනෝවිද්‍යාත්මක හා උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයිද පෙන්වාදී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.