කටුකුරුන්ද සණස සභාපතිනියට
ඇසිඩ් ගැසූ සැකකරුවෝ යළි රිමාන්ඩ්

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

කටුකුරුන්ද සණස සමිතියේ සභාපතිනියට ඇසිඩ් ගැසූ බව කියන සැකකරුවන් දෙදෙනා මෙතෙක්‌ අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ හෙයින් දැනට රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින සණස හිටපු සභාපතිනිය හා රුපියල් ලක්‌ෂ තුනක මුදලකට ඇසිඩ් ගැසීමට අනුබල දුන් සැකකරු තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා පොලිසිය ඉකුත් 11 දා අධිකරණයට වැඩිදුර වාර්තාවක්‌ ඉදිරිපත් කළේය.

පොලිසිය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් භාරති විඡේරත්න මහත්මිය සැකකරු හා සැකකාරිය මෙම මස 25 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

මෙහි සැකකරුවන් වූයේ කටුකුරුන්ද සණස හිටපු සභාපතිනි චම්පා ජයන්ති රඹුක්‌කනගේ හා සිංගානිපුරගේ තරංග දීපාල් යන දෙදෙනාය.

ඇසිඩ් වැදීමෙන් බරපතළ තුවාල ලැබූ සණස සභාපතිනි රංජනී උදානි ප්‍රියදර්ශනී හා ඇයගේ පස්‌ හැවිරිදි පුතු වන කල්ප අයෝධ්‍ය යන දෙදෙනා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබති.

සණස සමිතියේ ප්‍රශ්නයක්‌ මත සැකකාරිය හා සැකකරු රුපියල් ලක්‌ෂ තුනක මුදලක්‌ දෙන බව පවසා දැනට පොලිසිය මඟහැර සිටින සැකකරුවන් දෙදෙනා ලවා ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇතැයි ද කළුතර දකුණ පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවල දැක්‌විණි.

සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස නීතිඥ කනිෂ්ක වන්නිආරච්චි මහතා ඇතුළු නීතිඥවරු කණ්‌ඩායමක්‌ අධිකරණයෙන් අයෑද සිටියහ. කළුතර දකුණ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ කොස්‌තාපල් (55301) ගුණතුංග, කොස්‌තාපල් (කාන්තා) 7951 සඳමාලි යන මහත්ම මහත්මීහු පැමිණිල්ල මෙහෙයවූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.