ඇලෝසියස්‌ නොදුන් සාක්‍ෂිය

අර්ජුන් ඇලෝසිස්‌ මහතා සිය නීතිඥයන් වන ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා ඇතුළු පිරිස සමග කොමසමින් පිටව යන අයුරු..ඡායා - කමල් බෝගොඩ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

මේ දිනවල බැඳුම්කර ජනාධිපති කොමිසමේ තරු චරිතය අර්ජුන් ඇලෝෂියස්‌ මහතාය. ඔහු හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාය. එසේම දැනට මහ බැංකුව විසින් ව්‍යාපාර කටයුතු මාස 6 කට අත්හිටුවා ඇති පර්පෙචුවල් ට්‍රෙෂෙරීස්‌ පුද්ගලික සමාගමේ හිමිකරුය. ඔහුව කොමිසම හමුවේ සාක්‍ෂියට කැඳවීමට ඉකුත් 11 දා කොමිසමට පැමිණි ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා දැඩි ලෙස විරෝධය පළ කර සිටියේය. එහෙත් මාරපන මහතාගේ සියලු නීති තර්ක මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතාගේ කරුණු දැක්‌වීම් ද අසා සිටි කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා පැවසුවේ කොමිසම හමුවේ 13 වැනිදා (ඊයේ) පෙනී සිටින ලෙස දන්වා ඒ වන විටත් ඔහුට සිතාසියක්‌ මගින් දැනුම්දී ඇති බවයි. අපි ඒ දැනුම් දීම කළේ කොමිසමේ ලේකම්වරයාගේ ලිපිය පිස්‌කල් නිලධාරියකු මගින් ඔහුට නොතිසියක්‌ භාරදීමෙන් බවත් ඒ නියෝගයට අනුව ඔහු කොමිසම හමුවේ අනිවාර්යයෙන්ම පෙනී සිටිය යුතු බවත් නියෝගයට අවනත නොවී කොමිසමට පැමිණීම පැහැර හැරියහොත් එහි ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට ඔහුට සිදුවන බවත් කොමිසමේ සභාපතිවරයා එදින කියා සිටියේය.

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සාක්‌ෂියට කැඳවනවා දැයි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඉකුත් 11 වැනිදා ප්‍රථමයෙන්ම කොමිසමෙන් විමසීය. 'ඔව් අපි ඔහු සාක්‌ෂියට කැඳවනවා' යයි කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.ඉන් පසු අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සාක්‌ෂියට කැඳවනවාට විරුද්ධත්වය පළ කරන බව කියා සිටි ගාමිණී මාරපන මහතා එසේ විරුද්ධවීමට ඇති හේතු ඉදිරිපත් කිරීමට අවස්‌ථාවක්‌ ලබාදෙන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටියේය. කොමිසමෙන් ඔහුට ඒ සඳහා අවසරය ලැබිණි. ඒ අනුව අර්ජුන් ඇලෝෂියස්‌ මහතා කොමිසම හමුවේ සාක්‌ෂියට කැඳවීම නොකළ යුතු බවට ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා නොයෙකුත් නීති තර්ක මතු කරමින් සහ පැරණි නඩු තීන්දු පවා දක්‌වමින් දීර්ඝ වෙලාවක්‌ කරුණු ඉදිරිපත් කළ අතර කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ඒ සියලු කරුණු සලකා බලා ඒ පිළිබඳ සිය තීරණය 13 වැනිදා (ඊයේ) ප්‍රකාශයට පත් කරන බවයි. ඒ අනුව කොමිසම සිය තීරණය ඊයේ ප්‍රකාශයට පත් කළේය.

ජනාධිපති නීතිඥවරයා ප්‍රථමයෙන්ම කියා සිටියේ තම සේවාදායකයා වන අර්ජුන් ඇලෝෂියස්‌ කොමිසම හමුවේ සාක්‌ෂි දීමට කැමැත්තක්‌ නැති බවත් ඔහු මේ අවස්‌ථාවේ නිහඬව සිටීමට කැමති බවයි. නඩුවක සාක්‌ෂියක්‌ දීමට අකමැත්තක්‌ දක්‌වන පුද්ගලයකු බලෙන් සාක්‌ෂියට කැඳවීමට අධිකරණයකට හෝ කොමිසම් සභාවකට නීතියෙන් බලයක්‌ නැති බවත් සාක්‌ෂියක්‌ නොදී නිශ්ශබ්දව සිටීමට චූදිතයකුට පමණක්‌ නොව ඕනෑම පුද්ගලයකුට අයිතියක්‌ ඇති බවත් එය පුද්ගලයකුට හිමි මූලික අයිතියක්‌ බවත් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කියා සිටියේය. අර්ජුන් ඇලෝෂියස්‌ මහතා කොමිසම හමුවේ දෙන සාක්‌ෂිය ඉදිරියේදී වෙනත් උසාවියක පැවැත්වෙන නඩු විභාගයකදී ඔහුට එරෙහිව පාවිච්චි කිරීමට හැකිවීමෙන් ඔහුට අගතියක්‌ සිදුවිය හැකි බවද ජනාධිපති නීතිඥ මාරපන මහතා මතු කළ තර්කයකි.

මේ විරෝධතා වලට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කොමිසම හමුවේ කියා සිටියේ මාරපන මහතා කී අපරාධ නීතියේ සංකල්ප මේ සඳහා අදාළ නොවන බවයි. සිදුවී ඇති භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවලට ප්‍රධාන වශයෙන් වගකිව යුතු පුද්ගලයෙකු හැටියට කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්‌ෂිවලින් ප්‍රකාශ වූ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සාක්‌ෂියට කැඳවීම අනිවාර්යයෙන්ම කළ යුතු බව ද ලිවේර මහතා කීවේය. බැඳුම්කර වංචාවට අදාළව වැදගත් කරුණු රාශියක්‌ ඔහුගෙන් හෙළිකර ගත හැකිවනු ඇති බවත් එම වංචාව සිදුකිරීමට හවුල් වී ඇති මහ බැංකුවේ නිලධාරීන් සහ තවත් පුද්ගලයන් ඇත්නම් ඒ සියලු තොරතුරු ඉදිරිපත් කිරීමෙන් කොමිසමට සහය වීමට ඔහුට හැකි වෙන බවත් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීය. ඔහු මෙසේද කීවේය.

'අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සාක්‌ෂියට කැඳවන්නේ නැත්නම් මේ කොමිසමෙන් කිසිදු ඵලක්‌ නැහැ. කොමිසම පත් කිරීමේ අරමුණු ඉටුවන්නේ නැහැ. අර්ජුන් ඇලෝෂියස්‌ කොමිසම හමුවේ කියන්නේ මොනවා දැයි දැනගන්න ජනතාව බලා සිටිනවා. මුළු රටම බලා සිටින්නේ ඔහු සාක්‌ෂියට කැඳවනතුරුයි. ඔහු පමණක්‌ නොවේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාත් සාක්‌ෂියට කැඳවිය යුතුයි. එසේ නොවුණොත් කොමිසමත් හෑල්ලුවට ලක්‌වෙනවා. එය කොමිසමේ අසමත්කමක්‌ බවට පත් වේවි. ඒ තුළ සාධාරණ යුක්‌තිය කොමිසමෙන් ඉටුනොවන බවට ජනතාව තුළ හැඟීමක්‌ ඇති වෙනවා. බැඳුම්කර වංචාව ගැන පරීක්‌ෂණ පවත්වන්න ජනාධිපතිතුමා කොමිසමක්‌ පත් කළේ ජනතාවගේ ඉල්ලීමක්‌ සපුරාලීමටයි. බැඳුම්කර වංචාව සිදුවී ඇත්තේ කෙසේද ඊට වගකිවයුත්තන් කවුද, සිදුවී ඇති වැරැදි මොනවා ද වැරැදි කර ඇත්තේ කවුද යන්න සෙවීමටයි. මෙය කිසිවකුට දඬුවම් කිරීමට පත් කළ කොමිසමක්‌ නොවේ. සත්‍ය සෙවීමේ කොමිසමක්‌ පමණයි."

මේ අනුව මුළු රටම ඊයේ බලාසිටියේ අර්ජුන් ඇලෝසියස්‌ බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ කුමක්‌ කියන්නේද යන්න දැනගැනීමටය. එහෙත් එම ජනතා අපේක්‍ෂාව ඉටුනොවිණි. ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සහ රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් දප්පුල ද ලිවේරා මහතා විසින් දක්‌වන ලද කරුණු සලකා බලා ඊයේ කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් අර්ජුන් ඇලෝෂියස්‌ මහතාගෙන් සාක්‌ෂි ලබා ගැනීම පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ඇලෝෂියස්‌ මහතා කොමිසමට සාක්‌ෂි ලබා ගැනීම සඳහා කැඳවීමට සලකා බලන ලද හේතු රැසක්‌ කොමිසමේ තීන්දුවෙන් පැහැදිලි කළ කොමිසමේ සභාපතිවරයා තීන්දුව සම්පූර්ණයෙන් ප්‍රකාශයට පත් කරමින් ඇලෝෂියස්‌ මහතා අකැමැති නම් ඔහුට සාක්‌ෂි නොදී සිටීමට හැකි බව ප්‍රකාශයට පත් කරන ලදී. කොමිසම තමන්ට තිබෙන සාක්‌ෂි මත ඉදිරියට යන බවද කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය. කවරක්‌ නමුත් මේ තීන්දුවේ අන්තර්ගතය ගැඹුරින් සලකා බැලිය යුත්තකි. ඒ ගැන සමාජය තුළ ද කතිකාවක්‌ ඇතිවනු නිසැකය. තීන්දුව සම්බන්ධයෙන් සිය ස්‌තුතිය පළ කළ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා තම සේවා දායකයා මේ කොමිසම හමුවේ සාක්‌ෂි දීමට කැමැත්තක්‌ නැති බව ප්‍රකාශ කළේය. ඉන්පසු උදේ සිට කොමිසම හමුවේ රැඳී සිටි අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සිය නීතිඥයන් සමඟ කොමිසමෙන් පිටව ගියේය. කොමිසම මේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නැඟී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කීවේ මේ තීන්දුව ගැන නීතිපතිවරයා දැනුවත් කරන බවයි. කවරක්‌ නමුත් ගාමිණී මාරපන මහතා ඉකුත් 11 වැනිදා දැක්‌වූ කරුණුවලට පිළිතුරු වශයෙන් දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශ කළ කරුණු දැන් සත්‍ය වනු ඇත. අර්ජුන් ඇලෝෂියස්‌ මහතා කොමිසම හමුවේ සාක්‌ෂි දීමට එනතෙක්‌ මුළු රටම බලා සිටින බවට ලිවේරා මහතා කියූ කතාව ඇත්තය. එහෙත් ඒ ජනතා අපේක්‌ෂාව ඊයේ සුණු විසුණු වී ගියේය. ජනතා අපේක්‍ෂා ඉටු නොවුණු මේ තීන්දුවෙන් පසු කොමිසමට සිදු වනු ඇත්තේ අර්ධ සත්‍ය මත සිය නිර්දේශ ඇතුළත් වාර්තාවක්‌ සකසන්නට නොවේද? මේ තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ මේ කොමිසම පත්කිරීමේ අරමුණ ඉටු වනු ඇතිද යන්න සැක සහිත බව කොමිසමට පූර්ණ ගෞරව සහිතව මහජනයාගේ පැත්තේ සිට මහජන ශුභ සිද්ධිය වෙනුවෙන් අපට සටහන් කිරීමට සිදු වේ. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අනිත් අයත් සාක්‌ෂි දීමට අකැමැති බව කීවොත් සිදු වනු ඇත්තේ කුමක්‌ද? මේ සිද්ධිය ගැන සත්‍ය සොයන්නේ කෙසේද? සාමාන්‍ය මහජනයා ඔය කලු කෝට්‌කාරයන්ගේ බරපතළ නීති තර්ක ගැන දන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය කරන්නේ තමන්ට සිදු වූ බලවත් අගතියට යුක්‌තිය ඉටුවනු දැකීමටය. එම මහජන අපේක්‌ෂාවට දැන් සිදු වනු ඇත්තේ කුමක්‌ද? මේ ගැන බරපතළ ප්‍රශ්නාර්ථයක්‌ මතුව තිබේ. මේ සියලු දේ මහජන අධිකරණයේ විනිශ්චයට භාජන වීමද වැළැක්‌විය නොහැකිය.

මේ අතර භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසමේ රහස්‌ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ පර්පෙචුවල් ට්‍රෙෂෙරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාගේ නිවසට පෙරේදා (12 වැනිදා) හදිසියේම ගොස්‌ ඔහුගේ බැංකු ගිණුමේ ප්‍රකාශ රැගෙන වහාම කොමිසමට පැමිණෙන ලෙස පවසා ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා එදින බැඳුම්කර ට්‍රෙෂෙරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් සිටියදී ඇලෝෂියස්‌ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා මේ බව කොමිසමට කියා සිටි අතර ඒ අවස්‌ථාවේ පොලිස්‌ නිලධාරීන් ඇලෝසියස්‌ මහතාගේ නිවසේ සිටින බවද ඔවුන් බැංකු වාර්තා ලබාදෙන ලෙස බලකර සිටින බවද නීතිඥ ප්‍රේමරත්න මහතා කියා සිටියේය. 11 වැනිදා සවස වන තෙක්‌ කොමිසමේ රහස්‌ පොලිස්‌ නිලධාරීන් අර්ජුන් ඇලෝසියස්‌ මහතාගෙන් ප්‍රශ්න කර ඇති බවත් ඔහුගේ බැංකු ගිණුම් වාර්තා රැගෙන පසු දින නැවත පැමිණෙන ලෙස දන්වා ඇති බවත් කී ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා රහස්‌ පොලිස්‌ නිලධාරීන් අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට එසේ දැනුම් දී ඇතත් බැංකු ගිණුම් වාර්තා බැංකුවෙන් ලබාගැනීම ඉක්‌මනින් කළ නොහැකි බවද සඳහන් කළේය. මේ අවස්‌ථාවේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා පැවසුවේ අර්ජුන් ඇලෝසියස්‌ මහතා හමුවීමට රහස්‌ පොලිස්‌ නිලධාරීන් ඔහුගේ නිවසට ගියේ ඔහුට කළ නියෝගය අනුව බැංකු ගිණුම් වාර්තා සමඟ ඊයේ (13) ඔහු කොමිසමට නොපැමිණි නිසා බවයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.