මානව හිමිකම් කුමරු

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වැනි සැසි වාරය ආරම්භ වී ඇත.

මේ සැසි වාරයේදී ශ්‍රී ලංකා ආණ්‌ඩුව යුද අපරාධ උගුලේ සිර කිරීමට මාන බලන පිරිසක්‌ දැනටමත් ජිනීවා බලා ගොස්‌ ඇත. උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් කටුනායකින් ජිනීවා බලා පියාසර කළේ මානව හිමිකම් සැසි වාරයේදී කේලාම් බස්‌ දෙඩවීම සඳහාය. මොහු සමග කොටි ඩයස්‌පෝරාව ද එක්‌වන බව පැහැදිලිය. කිලිනොච්චියේ අතුරුදන් වූවන් වෙනුවෙන් උපවාස පැවැත්වෙන්නේ ද මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමු කරවා ගැනීමට බව රහසක්‌ නොවේ. 36 වැනි සැසි වාරයේදී සිවාජිලිංගම් ඇතුළු පිරිස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හිටපු හමුදාපති ජගත් ජයසූරියට එල්ල කළ චෝදනා ද හාර හාරා මතු කරනු ඇත. එය කොටි හිතවාදීන්ට රන් ඉල්ලමකි. එය සැබැවින්ම ලංකා රාජ්‍යය අපහසුවට පත් කළ ප්‍රකාශයක්‌ බව සියලුදෙනාම හොඳින් අවබෝධ කරගෙන සිටී. නමුත් ශ්‍රී ලංකා විරෝධී ඊළාම් ගැති සිවාජිලිංගම් නම් ෆොන්සේකාගේ ප්‍රකාශය ගැන උදම් අනනු ඇත. විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ද ෆීල්ඩ් මාර්ෂල්වරයා සත්‍ය ප්‍රකාශ කරන්නේ නම් තමන් ද ඔහු වෙනුවෙන් සිට ගන්නා බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි. මේ සියලු ගිනි ඇවිලෙන්නේ මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේදීය.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් අල්හුසේන් කුමරු ලංකාවේ වගවීම සම්බන්ධයෙන් කණස්‌සල්ල පළ කර ඇත. ඔහු කියන්නේ යුද අපරාධ පරීක්‍ෂණ කටයුතු වහා වේගවත් කළ යුතු බවය. ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේ පනත අහෝසි කර නව පනතක්‌ වහා ඉදිරිපත් කළ යුතු බවය. ලංකාවේ ජාතික ආරක්‍ෂාව අනතුරට ලක්‌වුවත් හුසේන් කුමරුට ප්‍රශ්නයක්‌ නැත. ඔහුට අවශ්‍ය ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේ පනත අහෝසි කරනු දැකීමය. ලොව දරුණුතම ත්‍රස්‌තවාදයට මුහුණ දුන් රටකට මානව හිමිකම් කවුන්සිලය කියන කියන ආකාරයට පනත් වෙනස්‌ කළ හැකිද?

උතුරේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ද මානව හිමිකම් කොමසාරිස්‌වරයා සිය හඬ අවදි කර ඇත. උතුරේ ජනතාව අපේක්‍ෂා භංගත්වයට පත්ව ඇති බව රාද් කුමරුගේ අදහසයි. උතුරේ ජනතාව පමණක්‌ අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටීම කුමරුගේ පසුතැවිල්ලට හේතු වී තිබේ. එසේ නම් සෙසු පළාත් අටේ ජනතාව පසුතැවිල්ලට හෝ අපේක්‍ෂා භංගත්වයට පත්වී නැද්ද? උතුරේ කොටි හිතවාදීන්ගේ ක්‍රියාකාරකම්, ඊනියා උද්ඝෝෂණ, මානව හිමිකම් කොමසාරිස්‌ගේ අවධානය දිනා ගෙන ඇත. සිවාජිලිංගම් ඇතුළු කොටි හිතවාදීන්ට අවශ්‍ය වූයේ ද එයමය. අතුරුදන් වූ පුද්ගලයන්ගේ දෙමාපියන් පිරිසක්‌ උද්ඝෝෂණය කිරීම ගැන රාද් කුමරු කලබලයට පත්ව තිබේ. එහෙත් 2009 මැයි මාසයෙන් පසු උතුරේ මෙන්ම නැගෙනහිර ජනතාව සාමයෙන් ජීවත් වීම මේ කුමරුට නොපෙනේද? උතුරේ ජනතාවගේ අපේක්‍ෂා ඉහළ නැංවීම වෙනුවෙන් හෝ පසුතැවිල්ල ඉවත් කිරීම පිණිස රාද් කුමරු කොළඹ ආණ්‌ඩුවට යෝජනා කරන්නේ කවරක්‌ද? ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා නැඟීමද?

ජනපතිවරයා ශ්‍රී ලනිප සමුළුවේදී ප්‍රකාශ කළේ කිසිම රණවිරුවකුට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට තමා කටයුතු නො කරන බවය. එසේ නම් රජයේ ස්‌ථාවරය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මානව හිමිකම් කොමසාරිස්‌වරයාට දැනුම් දිය යුතුය. හුසේන් කුමරු කියන ආකාරයට ලංකාවේ යුද අපරාධ සිදු වී ඇත. ඒවා ඉරාකයේ මෙන්ම ඇෆ්ගනිස්‌ථානයේදී ද සිදුව ඇත. ඉරාකයේ යුද අපරාධ සිදු කළ ඇමරිකානු හමුදාව ගැන මානව හිමිකම් කොමසාරිස්‌වරයා නිහඬය. එතැනදී වග වීම ගැන කතා කරන්නේ නැත. මේ කුඩා දූපත් රාජ්‍යය අපහසුතාවට පත් කිරීම මේ කොමසාරිස්‌වරයාගේ අරමුණ බව පැහැදිලිය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.