හොඳම ගොවියා සොබාදහම

හොඳම ගොවියා ස්‌වභාව ධර්මය බවත්, අපගේ වගා කටයුතු මැනවින් පවත්වා ගැනීමට අවශ්‍ය නම් ස්‌වභාව ධර්මය අනුකරණය කළ යුතු බවත්" ඇල්බට්‌ හෝවර්ඩ් නම් බ්‍රිතාන්‍ය කෘෂි විද්‍යාඥයා විසින් අවධාරණය කරන ලද්දේ විසි වැනි සියවසේ මැද භාගයේදීය.

ස්‌වභාව ධර්මයේ ක්‍රියාවලියට බාහිර මැදිහත්වීමක්‌ ලෝක ඉතිහාසයෙහි තීරණාත්මක ලෙස ඇතිවූයේ මිනිසා විසින් ගොවිකම ඇරඹීමත් සමඟය. තමන්ට මෙන්ම තමාගේ සතුන්ටත් ආහාර ලබා ගැනීම සඳහාත්, රෙදිපිළි නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහාත්, ඔහු උපයෝගී කර ගත්තේ පාංශු සාරත්වයයි. අපේ වටපිටාවේ ඉබේ වැවෙන ගහකොළ සහ වගා කරන බෝග සරුසාර වන්නේත්, සතුන් සෞඛ්‍ය සම්පන්නව වැඩෙන්නේත් සශ්‍රීක පසක්‌ පිහිටා තිබේ නම් පමණි. ස්‌වකීය කටයුතුවලින් ක්‍ෂය වී ගිය පාංශු සාරත්වය මිනිසා විසින් දැනට පිරිමසා ගන්නේ විවිධ අපද්‍රව්‍ය නැවත පසට එකතු කිරීමෙනි. එමෙන්ම ගොවිතැනින් නිසරු වූ ඉඩම් වෙනුවට කැලෑ කපා අලුත් බිම් කොටා අස්‌වැද්දීමෙනි.

අවුරුදු මිලියනයක්‌ පමණ වූ පරිණාමික ඉතිහාසයේ දඩයම, ආහාර රැස්‌ කිරීම, සත්ත්ව පාලනය සහිත එෙŒර ජීවිතය යන අවධීන් මිනිසා විසින් සොබාදහම සමඟ සහයෝගීව ගත කර ඇති බවට විද්‍යාඥයින්ගේ ගැඹුරු පර්යේෂණ තුළින් බොහෝ සාක්‍ෂි ලැබී තිබේ. එම දිගුකාලීන ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්‌ථානය ලෙස සටහන්ව ඇත්තේ ගින්දර නිපදවා ගැනීම හා භාවිතයයි. ඒ අවුරුදු ලක්‍ෂ 7 කට ඉහතදීය. ඉන් මිනිස්‌ ජීවන රටාවේ සෑම අංශයක්‌ ම මහා විපර්යාසයකට ලක්‌විය. එම විපර්යාස සියල්ල අභිබවනය කරමින් ඉන් බොහෝ කලකට පසු අදින් අවුරුදු 10000 - 12000 කට පමණ ඉහතදී මිනිසා ශාක වගා කර ආහාර සපයා ගැනීමේ නව යුගයක්‌ ආරම්භ කළේය.

ඉබේ වැවෙන ගහකොළවල වැඩෙන මල්ඵල බුදිමින් දිවි සරිකර ගත් ඔහු, එම බෝග වගාකර ඵලදාව ලබා ගැනීමේ ගොවිතැන් ක්‍රමයට පිවිසීමෙන් ඔහුගේ පමණක්‌ නොව ලෝක ඉතිහාසයේම නව පරිච්ඡේදයක්‌ සලකුණු විය.

විද්‍යාත්මක ගවේෂණ අනුව අදින් අවුරුදු 12000 කට පමණ පෙර ගොවිතැන් කිරීම ඇරඹුවේ අග්නිදිග ආසියානු මිනිසා විසිනි. ඉන් අනතුරුව ඊජිප්තු, චීන, යුරෝපා, පේරු හා මධ්‍යම ඇමෙරිකානු රටවල විසූ අපගේ මුතුන්මිත්තෝ කෘෂිකාර්මික විප්ලවයේ කොටස්‌කරුවෝ වූහ. මධ්‍යධරණී මුහුද අවට පිහිටි යුප්‍රටීස්‌, ටයිගී්‍රස්‌, ගංගාධාර ප්‍රදේශවාසීහු මෙම විප්ලවයේ පෙරටුගාමීන් ලෙස වාර්තාගත ව ඇත.

විධිමත් ගොවිබිම්, ආහාර සුලභතාව, ජනගහණ වර්ධනය, ජනාවාසකරණය, ප්‍රජා පාලනය, ආගම් බිහිවීම යන කරුණු ඇසුරින් මානව සංස්‌කෘතියක්‌ ගොඩනැඟුණේ ගොවිකම පදනම්වය. එෙŒර යුගයේදී සතුන් හීලෑ කරගෙන උන්ගෙන් කිරි සහ මස්‌ ආහාර ලෙස සපයා ගැනීමට පුරුදු වූ මිනිසා ගොවි යුගයේදී සතුන්ගෙන් ඊටත් වඩා ප්‍රයෝජන ගැනීමට සමත් විය. ගවයින්, අශ්වයින්, ඔටුවන්, එළුවන්, ඌරන්, කුකුළන් සහිත සත්ත්ව පාලනය කෘෂිකාර්මික මිනිසාගේ දිවි පෙවෙතෙහි ප්‍රධාන අංගයක්‌ වූයේය. මෙසේ පෘථිවිය මත බිහිවූ ශිෂ්ටාචාර, ඒවාට ආවේණික ලක්‍ෂණයක්‌ වූ නිෂ්පාදන වර්ධනයේ සීමා ඉක්‌මවා යැම හේතුවෙන් වසර දහස්‌ ගණනක්‌ ගෙවා බිඳවැටීම්වලට ලක්‌විය.

මෙම බිඳවැටීමේ ප්‍රධාන සාධකයක්‌ ලෙස පාංශු හායනයට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථානයකි. "පාංශු" හෙවත් "පස" මහ පොළවේ මතුපිට ස්‌ථරයයි. කෘෂිකර්මයෙහි පමණක්‌ නොව මිහිමත සමස්‌ත ජීවයේ පදනම වනුයේ පසය.

පසුගිය සියවස තුළ ලොව සෑම තැනකම පාහේ පස පිළිබඳව සියුම් විශ්ලේෂණයන් කර තිබෙන අතර විද්‍යාඥයන් විසින් ඒ අනුව අප රටේ පාංශු තත්ත්වය සිතියම්ගත කර ඇත. මහාචාර්ය සී. ආර්. පානබොක්‌කේ ඇතුළු එම විද්‍යාඥයන්ගේ වර්ගීකරණය අනුව අප රටෙහි ප්‍රධාන කාණ්‌ඩ 4 ක්‌ සහිත පස්‌ කාණ්‌ඩ 15 ක්‌ පවතී.

පස නිර්මිතව ඇත්තේ සියුම් අංශු සංයෝගවීමෙනි. මෙම සංඝටක අඩංගු ප්‍රමාණය අනුව වැලි පස, ලෝම පස, මැටි පස යනුවෙන් සරලව වර්ග කෙරේ. මෙසේ නම් කර ඇත්තේ එම ව්‍යqහයන්හි පවත්නා වැලි, මැටි හා රොන් මඩ ප්‍රතිශතය පදනම්වය. ලෝම පසෙහි රොන් මඩ වැලි, මැටි හා කාබනික ද්‍රව්‍ය සුසංයෝගීව පවතී. වාතය හා ජලය ද මැනවින් තිබෙන හෙයින් එහි පාංශු ජීවීන් හා ශාක පෝෂක නිරතුරුව වැඩෙයි. මේ සියල්ල සජීවීව පවත්නේ අෙන්‍යාන්‍ය සම්බන්ධය මතය.

මෙහිදී වෙසෙසින් දැක්‌විය යුතු කරුණක්‌ වේ. එනම් පස සරු කරන පාංශු ජීවීන් පිළිබඳවය. කුරුමිණියන්, පත්තෑයන්, කුහුඹුවන්, පණුවන්, මැස්‌සන්, ගෙමැසි කීටයන්, මයිටාවන්, වටපණුවන්, හංගොල්ලන්, ගොළුබෙල්ලන්, ගැඩවිලන්, ඒක සෛලිකයන්, දිලීර, බැක්‌ටීරියා සහ දිරාපත් වූ ශාක ද්‍රව්‍ය සහිත ජීවී සමූහයා නිසයි, පස මා හැඟි සම්පතක්‌ වන්නේ.

මෙම ජීවීන් විසින් ගුල් හෑරීම නිසා පස බුරුල් වේ. ඉන් පසේ වාතනය සිදුවේ. බැක්‌ටීරියා වැනි ක්‌ෂුද්‍රජීවීන් මගින් ශාක කොටස්‌ ද මළ ජීවී දේහද ජීර්ණ වන හෙයින් පස ඛනිජ ලවණවලින් පොහොසත් වේ.

පාංශු ඛාදනය, සරුබව අඩුවීම, ජලය රැඳීම, ලවණීකරණය, රසායනික දූෂණය, ක්‌ෂාරීයතාව, භූමි හායනයේ විවිධ අවස්‌ථාවන්ය. මින් බරපතළම කරුණ පාංශු ඛාදනය හෙවත් පස සේදී යැමය. පොළොවෙහි මතුපිට සරු (හියුමස්‌) පස්‌ තට්‌ටුව ජලයට හෝ සුළඟට හසු වීම නිසා ඉවත් වේ. පස සංරක්‍ෂණ ක්‍රම භාවිත නොකිරීම ඊට ප්‍රධාන හේතුවය. කෙටි කලක්‌ තුළ පස ජලයෙන් සේදී ගොස්‌ කටින් පිහිටි පාෂාණ මතු වූ විට එතැන් හි කිසිසේත් වගා කළ නොහැකිය. සුළං මගින්ද පස්‌ අංශු පාවී ගොස්‌ පෝෂක ද්‍රව්‍ය ඉවත් වේ.

පාංශු ඛාදනය වූ විට මතුපිට සියුම් (හියුමස්‌) ස්‌ථරය ඉවත් වී යටි ස්‌ථරය මතුවෙයි. එම පස්‌ තට්‌ටුව රළු වීමෙන් පසේ ජලවහනය දුර්වල වේ. වාතනය නැති වෙයි. මෙම ක්‌ෂීරණ ක්‍රියාවලීන්ට අස්‌වනු ඉවත් කර ගැනීම ද දායක වේ.

පහත ස්‌ථානවල ජලය රැඳී කලක්‌ ගතවූ විට පසෙහි වාතනය අඩුවී, පසේ ව්‍යqහය බිඳ වැටේ. වල් පැළෑටි පැතිරේ. එයද ගොවිකමට හානිකරය. පස තුළ ලවණ එකතු වීම, ගැඹුරු ස්‌ථරවල ඇති ලවණ වර්ග මතුපිටට ඒම, කෘතිම කෘෂි රසායන මිශ්‍රවීම නිසා පස දූෂණය වී පිරිහෙයි.

ජනගහණය වැඩි රටවල වගාවට සුදුසු බිම් අඩු හෙයින්, වගාවට නුසුදුසු තන්හිද බහුලව වගා කටයුතු සිදුකෙරේ. දැන් ශ්‍රී ලංකාව අයත් වන්නේ ද මෙම ගණයටය. මෙරට සුදුසු බිම්වලින් ඉතා වැඩි ප්‍රමාණය වගා කර අවසන්ව ඇති හෙයිනි.

ජනගහණ වර්ධනය සහ නාගරීකරණය සමඟ මාර්ග, ජනාවාස, ගොඩනැඟිලි, කර්මාන්ත සඳහා භූමිය වැඩි වැඩියෙන් යෙදවෙයි. වගාවට සුදුසු වුවත් එම බිම් යළි කෘෂිකර්මය සඳහා යෙදවීමට නොහැකි වේ. ජන පීඩනය, දිළිඳුකම, භූමි හා බෝග කළමනාකරණ දුර්වලතා, පාංශුඛාදනය, ලවණීකරණය, ජලය රැඳී තිබීම යන කරුණු නිසා වගා කළ හැකි භූමිය තවත් සීමා වෙයි.

වඩාත්ම බරපතළ කරුණ වන්නේ වගා බිම් අසීමිත ලෙස හායනයට පත්වීමයි. ඉන් අදහස්‌ වන්නේ ඵලදායී තත්ත්වයේ සිට ඵලදායී නොවන තත්ත්වයට පත්වීමයි. ඒ හේතුවෙන් කෘෂි කටයුතු අසාර්ථක වේ. බෝග නිෂ්පාදනය ආර්ථිකව පාඩුවන පරිදි අස්‌වනු අඩුවේ. මීට ප්‍රධාන හේතුව භූමියේ තත්ත්වය දුර්වල වීමය.

වස විස රහිතව හෝ සහිතව කරන සෑම වගාවක්‌ම මුල්බැස ගත යුත්තේ පසෙහි හෙයින්, පස සංරක්‍ෂණය කෙරෙහි අපගේ නොමඳ සැලකිල්ල යොමුවිය යුතුය. ජීවී අජීවී වස්‌තු සහිත සමස්‌ත පරිසරය වෙනස්‌ කිරීමෙහිලා මිනිසා සතු ශක්‌තිය උපරිම ලෙස යෙදවීමේ ප්‍රධාන විපාකයක්‌ ලෙස අද වැඩිපුරම සිදුකෙරෙන්නේ සංක්‍ෂණය නොව පාංශු හායනයයි. අපේ ගංගා වැසි සමයේදී දුඹුරු පැහැවී මුහුදට ගලා යන්නේ ගොවි බිම්වල හියුමස්‌ ඇතුළු මතුපිට පස්‌ තට්‌ටු සෝදාපාළුවට ලක්‌වීම හේතුවෙනි. එම රොන්මඩ සේදී ගිය පසු ගංගා ගොඩවී වැලි පිරීම ද අද සුලභ දර්ශනයකි.

කීරන්තිඩියේ අශෝක හරිස්‌චන්ද්‍ර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.