සයිටම් ගැටලුවට පත්කළ පංච පුද්ගල
කමිටුවේ වාර්තාව තාමත් නෑ


නිලන්ත මදුරාවල

සයිටම් ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පත්කරන ලද ජනාධිපති පංච පුද්ගල කමිටුවේ වාර්තාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මෙතෙක්‌ ලබාදී නැත.

එම කමිටුව සමඟ වෛද්‍ය සභාව පසුගිය 6 වැනිදා පැවැත්වූ සාකච්ඡාවේ කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ ස්‌ථාවරය පංච පුද්ගල කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ඊයේ (13 වැනිදා) සවස දැනුම්දීමට නියමිතව තිබිණි. වෛද්‍ය සභාව එම දැනුම්දීම කිරීමට නියමිතව තිබුණේ පංච පුද්ගල කමිටුවේ ඉල්ලීම අනුවය. සාකච්ඡාවේ කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය සභාව පෙරේදා (12 වැනිදා) සවස රැස්‌වී පැය කිහිපයක්‌ සාකච්ඡා කර තිබිණි.

මේ අතර වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද පෙරේදා දහවල් වෛද්‍ය සභාවට පැමිණ සයිටම් සම්බන්ධයෙන් සිය ස්‌ථාවරය දැනුම් දී තිබේ.

පංච පුද්ගල කමිටු වාර්තාව වෛද්‍ය සභාවට ලබා නොදී දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවේ කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය සභා ස්‌ථාවරය ඉල්ලා සිටීම ගැටලු සහගත තත්ත්වයක්‌ යෑයි එම සභාවේ ආරංචිමාර්ග පැවැසීය.

පංච පුද්ගල කමිටු වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදී ඇති නමුත් එය මෙතෙක්‌ ප්‍රසිද්ධියට පත් නොකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන මෙන්ම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේද දැඩි කුතුහලයක්‌ උද්ගතව ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.