කෝටි 4 ක රත්‍රං හොරෙන් ගෙනා
කතුන් දෙදෙනා කටුනායකදී මාට්‌ටු

අනුර බාලසූරිය

රුපියල් කෝටි හතරක්‌ පමණ වටිනා රන් ආභරණ කිලෝග්‍රෑම් අටකට ආසන්න ප්‍රමාණයක්‌ සඟවාගෙන ගුවන් මගින් මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු ඊයේ (13 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඩුබායි සිට පැමිණ ඇති මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක්‌ අයකු තම උදරය නෙරාඒම වැළක්‌වීමට පැළඳ තිබූ බඳපිටිය තුළ මෙම රන් ආභරණ තොගය සඟවාගෙන තිබූ බව රේගුව සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල්. 226 දරණ ගුවන්යානයෙන් ඊයේ අලුයම 5.05 ට පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම කාන්තාවන් දෙදෙනා ගුවන්තොටුපළේ සැකකටයුතු ලෙස හැසිරෙන අයුරු නිරීක්‍ෂණය කළ රේගු මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකර පරීක්‍ෂා කිරීමේදී මෙම රන් ආභරණ තොගය සොයා ගැනීමට හැකිවී ඇත.

ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය අංශයේ සහකාර රේගු අධිකාරීන් වන නුවන් අබේනායක, ශ්‍රී ලාල් ආනන්ද හා රසික සමන්ජින් යන මහත්වරුන් විසින් සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ පරාක්‍රම බස්‌නායක මහතා විසින් පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි.

හතළිස්‌ පස්‌වන වියේ හා හතළිස්‌නවවැනි වියේ පසුවූ මෙම කාන්තාවන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරියන් බවද රේගු පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.