හිටපු එස්‌ඩීඅයිජී ලලිත් ජයසිංහට ඇප

හේමන්ත රන්දුණු

යාපනය විද්‍යා ශිෂ්‍යාව දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට පැනයැමට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා මත රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා රුපියල් ලක්‍ෂ තුනක මුදල් ඇප මත මුදාහරින ලෙස කයිට්‌ස්‌ මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ (13 වැනිදා) නියෝග කළේය.පෞද්ගලික ඇපකරුවන් සිව්දෙනකු ඉදිරිපත් කරන ලෙසත් සෑම සති දෙකකටම වරක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් මහෙස්‌ත්‍රාත්වරයා ඔහුට නියෝග කර ඇත.

විද්‍යා ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු බව කියන ස්‌වීස්‌ කුමාර නමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු මුදාහැරීමට කටයුතු කළ බවට මෙන්ම එම සැකකරුට කොළඹට පැන යැමට උදව් උපකාර කළ බවටද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

විද්‍යා ශිෂ්‍යාව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ විමර්ශනවලදී මේ පිළිබඳ ලැබුණු තොතුරු මත හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව ලලිත් ජයසිංහ මහතා කයිට්‌ස්‌ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. හෙතෙම අනුරාධපුර බන්ධනාගාරයේ මාස තුනකට ආසන්න කාලයක්‌ රඳවා සිsටියේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.