අනුරාධපුර ශික්‍ෂණ රෝහලේදී
සායනයේ අඩුපාඩුවක්‌ පෙන්වූ විට
වෛද්‍යවරිය කිපී රෝගියා දොට්‌ට දැම්මා

සිව් දරු පියා විරෝධතාවක


රෝහල්වලදී අසාධාරණ වෙනවානම්
ඊට එරෙහිව නැගී සිටින්න

මිහින්තලේ - රංග චතූ

ඇස්‌ නොපෙනීම හේතුවෙන් අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ අක්‌ෂි සායනට සහභාගී වූ තමන්, සායනයේ අඩුපාඩුවක්‌ පිළිබඳව අක්‌ෂි වෛද්‍යවරියට පෙන්වා දුන් අවස්‌ථාවේ දී, වෛද්‍යවරිය කෝපයට පත්ව නිසි ප්‍රතිකාර නොකර එළියට දැමුවේ යෑයි පවසමින්, එයට විරෝධය පළ කරමින් ඊයේ (13 දා) රෝගියකු අනුරාධපුර ශික්‌ෂණ රෝහල ඉදිරිපිට විරෝධතා පුවරුවක්‌ ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක නිරත විය.

සින්නික්‌කුලම, ශ්‍රාවස්‌තිපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචි 45 හැවිරිදි සිව් දරු පියකු වන ඩබ්.ජී. විඡේරත්න නැමැති පුද්ගලයකු මෙසේ රෝහල ඉදිරිපිට විරෝධතාවයක්‌ ආරම්භ කර තිබුණි. සිද්ධිය පිළිබඳව මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ විඡේරත්න මහතා මෙසේ පැවසීය.

''මා හට පෙනීමේ දුර්වලතාවයක්‌ තිබෙන නිසා පසුගිය පෙබරවාරි මාසයේ අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ගිය විට මාස 05 කට පසුව දිනයක්‌ ලබා දුන්නා, අක්‌ෂි සායනයට පැමිණෙන්න කියා. මම එම සායනයට ගිය පසු, ඇස පරීක්‌ෂා කරන ඉලක්‌කම් හා ඉංග්‍රීසි අකුරු සහිත පුවරුවක්‌ එක්‌ ඇසක්‌ වසාගෙන කියවීමට සැලැස්‌සුවා. එම පුවරුව එල්ලා තිබුණේ සායනයට ඇතුල්වීමට තිබූ දොරේ. රෝහල් කාර්යය මණ්‌ඩලය, රෝගීන් යන එන සෑම අවස්‌ථාවකදීම එම ඇස්‌ පරීක්‌ෂාවන්ට බාධා වන නිසා මෙය නිසි ආකාරයෙන් බිත්තියක එල්ලා තබන්න යෑයි කියා කාර්යය මණ්‌ඩලයට කියූ අවස්‌ථාවේ කාර්යය මණ්‌ඩලයේ කාන්තාවක්‌ වාට්‌ටුවේ සිටි සියලුම දෙනාට මා කරදරකාරයෙක්‌ යෑයි හඳුන්වා දුන්නා. මාගේ වාරය ආ පසු අක්‌ෂි වෛද්‍යවරිය ළඟට ගිය විට ඇයත් තරහෙන් ප්‍රකාශ කර සිටියේ ප්‍රශ්න ඇති කරන්නේ ඇයි දැයි කියා. මම වෛද්‍යවරියට කියා සිටියේ මෙතෙන ගැටලුවක්‌ තිබෙනවා, එය විසඳුවේ නැත්නම් පැමිණෙන රෝගීන්ට නිසි ප්‍රතිකාර නොලැබෙන බවයි. පසුව එම වෛද්‍යවරිය තරහෙන්, ඔයා කැමති දේවල් මෙතන කෙරෙන්නේ නෑ කියා, පොතේ ලියලා ඇස්‌ කණ්‌නාඩි ගන්න කියා එළියට දැම්මා. මගේ රුධිර සාම්පල් පරීක්‌ෂාවට ලක්‌කළේ නෑ. දුෂ්ඨිවිතානයේ ගැටලු තිබේද යන්න බැලුවේ නෑ. ඇසේ කාචය පිළිබඳ පරීක්‌ෂාවකින් තොරව ඇස්‌ කණ්‌නාඩි පළඳින්න යෑයි සටහනක්‌ දැම්මා. මට සිදු වූ ආකාරයටම අනෙක්‌ රෝගීන්ටත් හරිහැටි ප්‍රතිකාර ලැබෙන්නේ නෑ.

රුධිරයේ සීනි මට්‌ටම 380 ට ඉහළ ගිය රෝගියාට ප්‍රතිකාර ලබාදීම සඳහා මාස ගණනක්‌ පසුවට දිනයක්‌ ලබාදෙනවා. තුන්වැනි ලෝකයේ රටක්‌ ලෙස සිටින අපි මෙවැනි ක්‍රියාවලින් තවත් පල්ලෙහාට ඇද වැටෙනවා. රජයේ රෝහල් වලින් රෝගීන්ට සිදුවන හිංසනය නවතා දෙන්න යෑයි කියා සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලීමක්‌ කර සිටිනවා. අපේ බදු මුදලින් යෑපෙන වෛද්‍යවරුන් සෞඛ්‍ය කාර්යය මණ්‌ඩල තමයි ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අද දැනෙන පාඩුවක්‌ කරමින් සිටින්නේ. මේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් රෝගීන් බිල්ලට තියා පාරවල් ගානේ කෑ ගහනවා. මේ ජාතියටම කරන බරපතළ හානියක්‌. පොඩි ලෙඩකටත් බෙහෙත් පෙති විස්‌සක්‌ පමණ බොන්න දෙනවා. මේවායින් රෝග තත්ත්වයන් තවත් වැඩිවෙනවා. මෙයින් කරන්නේ එයාලගේ පෞද්ගලික චැනල් සෙන්ටර් වලට රෝගීන් වැඩිකර ගැනීමයි. අද වන විට හෝටල්, ආපන ශාලා වලට වැඩියෙන් බෙහෙත් සාප්පු, චැනල් සෙන්ටර්, ලේ, මූත්‍රා, රුධිර පරීක්‌ෂණ මධ්‍යස්‌ථාන රටේ තිබෙනවා.

මට සිදු වූ අසාධාරණය වැනි අසාධාරණයන් නිරන්තරයෙන් වයෝවෘද්ධ මවුපියන්ට, ආබාධිත රෝගීන්ට සිදුවනවා. මට ආත්ම ශක්‌තියක්‌ තිබූ නිසා මේ ආකාරයෙන් නැගී සිටියා. අසරණ රෝගීන් මෙම සිද්ධීන්ට එරෙහිව නැගී සිටියහොත්, කථා කළොත් තලනවා, පෙළනවා, නඩු දානවා, හිරිහැර කරනවා. මම ඒ අයගෙන් ඉල්ලීමක්‌ කර සිටිනවා අසාධාරණයක්‌ සිදුවුවහොත් ඒ වෙනුවෙන් නැගී සිටින්න කියා.'

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.