වැස්‌සෙන් ලූනු වගාව විනාශ වුණැයි
දෙදරු පියා වස කුප්පියට දිවි දෙයි


දඹුල්ල - සරත් එරමිනිගම්මන/ කිතුල්හිටියාව - ඡේ. බී. බුලාගල

ණයතුරුස්‌ වී වගා කරන ලද ලොකු ලූනු වගාව නොකඩවා ඇදහැලෙන වර්ෂාවෙන් සම්පූර්ණයෙන් විනාශ වී යැම නිසා සිත් තැවුලට පත් හබරණ - පුවක්‌පිටිය පදිංචි 57 හැවිරිදි දෙදරු පියකු පෙරේදා (12 දා) වස පානය කර මියගොස්‌ ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ කිරියාගේ ගුණරත්න නමැති අයයි.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය දඹුල්ල මූලික රෝහලේදී නාගරික හදිසි මරණ පරීක්‌ෂක ඩී. ඩබ්ලිව්. ඡේ. බණ්‌ඩාර මහතා ඉදිරියේ පැවැති අතර එහිදී සාක්‌ෂි දුන් ඔහුගේ බිරිඳ වන එස්‌. නිලාවතී (52) මහත්මිය මෙසේ පැවසුවාය.

මට දරුවන් දෙදෙනකු ඉන්නවා. එක්‌ දියණියක්‌ විවාහ වෙලා ඉන්නේ නාවික හමුදාවේ සෙබළකු එක්‌ක. මගේ සැමියා දීර්ඝ කාලයක සිට ගොවිතැන් කරනවා. මේ වතාවේ බෑණා සමඟ එකතුවෙලා අක්‌කර 3-4 ක විතර ලොකු ලූනු වගා කළා. ලොකු ලූනු බීජ ටික ගත්තේ දුවගේ කනකර උගස්‌ කරලා.

වගාව ආරම්භ කරලා ටික දිනක්‌ යනකොට ඉඩෝරය නිසා වතුර නැතිව ගියා. වගා බිමේ වළක්‌ හාරලා වතුර පොම්ප කරලා ලූනු වගාවට සාත්තු කළා. ඒ අතරම වගාවට දිලීර රෝගය ආවා. ඒකට කෘමිනාශක ගන්න සල්ලි තිබ්බේ නැහැ. බෑණා ළඟත් සල්ලි තිබුණේ නැහැ. එයා වගා බිමට යන්නේ බෑණාගේ යතුරුපැදියෙන්. බෑණා කීවා යතුරුපැදිය උකස්‌ කරලා සල්ලි ටිකක්‌ අරන් කෘමිනාශක ගන්න කියලා. සැමියා හබරණ නගරයේ අයකුට යතුරුපැදිය තියලා 20000 ක්‌ අරන් බෙහෙත් ගැහුවා.

ලොකු ලූනු ගහේ අලය එරීගෙන එනවිට පසුගිය සතිය පුරාම කඩින් කඩ මහා වැසි වැටුණා. සැමියා හරිම කලකිරීමෙන් හිටියේ. එයා හැමදාම රාත්‍රිය ගත කළේ ගොවිපළේ. අලින්ගෙන් හා වෙනත් සතුන්ගෙන් වගාව රැකගන්න.

12 වැනි දා උදේ ගෙදර ඇවිල්ලා කීවා හේනට ගිහිල්ලා ලූනු වගාව බලන්න. ඊයේ වැහැපු වැස්‌සෙන් වගාව විනශවෙලා. ආයේ මම හේනට යන්නේ නැහැ කියලා. මමයි දුවයි දෙන්නා හේනට ගිහිල්ලා බැලුවා. ලූනු වගාව සම්පූර්ණයෙන් විනාශවෙලා වැස්‌සට.

ගෙදර ආපු ගමන් සැමියා කීවා මම වස බීවා කියල. වස පානය කළ කෝප්පයත් පෙන්නුවා. මම දුවට කතා කරලා ත්‍රිරෝද රථයකින් හබරණ රෝහලට ගෙනාවා. ඊට පස්‌සේ දඹුල්ලට මාරුකළා. දඹුල්ලේදී මියගිය බව දැනගත්තා. ලූනු වගාව විනාශ වී යැම නිසා සිත් තැවුලට පත්ව මගේ සැමියා වස පානය කරන්න ඇති කියලා හිතනවා.

මෙම මරණය සිත් තැවුලට පත්ව සියදිවි හානි කර ගැනීමක්‌ බවට නාගරික හදිසි මරණ පරීක්‌ෂකවරයා නිගමනය කළේය.

හබරණ පොලිසිය සාක්‌ෂි මෙහෙයවිය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.