"අප්පුවා රජ වූ හැටි" ඔකිනවා දූපතට කියාදී
ලංකාවට හොඳ හිත ගෙනා දෙනගමුවේ ඇදුරුතුමා



"අප්පුවා රජ වූ හැටි" යෑයි කියෑවෙන ඉතා ප්‍රකට ජනප්‍රවාදයක්‌ අපේ රටේ තිබේ. ඉතිහාසඥයන්ට අනුව එය හුදෙක්‌ ජනප්‍රවාදයක්‌ පමණක්‌ නොව, සැබෑ කතාවකි. මෙම කතාවට පාදක වූ රාජධානි යාපහුව හා කුරුණෑගලයි. අතිශය සතුරු කරදර බහුල රාජධානි වකවානු දෙකක්‌ වූ මෙකල යාපහුවේ රජකම් කළේ බුවනෙකබා රජතුමාය. එහෙත් සතුරු ප්‍රහාරවල ඉලක්‌කයක්‌ බවට පත්වූ බුවනෙක බාහු රජතුමා සහ රාජධානිය, උපක්‍රමිකව ආරක්‍ෂා වීම සඳහා එකල බුවනෙකබාහු රජතුමා විවිධ සැලසුම් දියත් කළේය. ඒ අනුව වඩාත් ආරක්‍ෂාකාරී මාළිගයක්‌ තනා රාජතාන්ත්‍රිකයින් ආරක්‍ෂා කර ගැනීම සඳහා රජු පොල්ගහවෙලට නුදුරු "වීරාගල" කන්දේ නොහොත් "බැලුම්ගල" මුදුනේ දර්ශනීය පරිසරයක වාසයට ගොස්‌ තිබේ. ඒ අගබිසව ඇතුළු පරිවාර බිසවන් 64 දෙනකුද සමඟිනි.


මහාචාර්ය චන්ද්‍රලාල්

එනමුත් මෙම නව මාළිගය සහ වීරාගල කන්දේ රජුගේ පදිංචිය පිළිබඳව නොකැමැත්ත පළකළ ප්‍රදේශයේ රටේ රාළ ගලබඩගම ගලබැද්දේරාළ තවත් ප්‍රාදේශීය රජ කෙනෙකු වූ අග්බෝ කුමරුගේ පාර්ශ්වය ගෙන බුවනෙකබාහු හා අග්බෝ අතර යුද්ධයකට පාර කැපවූ බව ඉතිහාසඥයෝ කියති. අවසනදී යුද්ධය තීන්දු වූ කළ තම බිසෝවරුන් සැනසූ බුවනෙකබා රජු, තමන් මෙම යුද්ධයෙන් ජයගතහොත් සුදු කොඩියක්‌ ප්‍රදර්ශනය කරන බවද, පැරදුනහොත් කළු කොඩියක්‌ ප්‍රදර්ශනය කරන බවද පවසා යුද්ධයට ගොස්‌ තිබේ.

පොල්ගහවෙල "කෙතේ" දී ඇවිළ ගිය යුද්ධයෙන් අවසන ජයගෙන ඇත්තේ අග්බෝ පරාද කළ බුවනෙකබාහු රජුය. ඒ සමඟම බිසෝවරුන්ට වූ පොරොන්දුව ප්‍රකාරව "වීරාගලට" යෑවූ සුදුකොඩි පණිවිඩකරු යුද්ධයේ ජයග්‍රහණය උදෙසා මගදී ජයපැන් බී මාළිගය ඉදිරියට ගොස්‌ විහිළුවකට මෙන් ප්‍රදර්ශනය කළා යෑයි කියන්නේ කළු කොඩියකි. මෙයින් කම්පනයට පත් බිසෝවරු 64 දෙනාම සතුරන්ට හසුවීමට පෙර "වීරගල" බැලුම්ගලෙන් පැන දිවිනසාගත් බව අප කවුරුත් අසා ඇති කතාවකි. මාලිගයට පැමිණි බුවනෙකබාහු රජු බිසෝවරුන්ගේ වියෝව දැන ඔහුද ගලින් පැන දිවි නසා ගත් කතාව ජනප්‍රවාදයේ එයි. ඉන් පසු රජ උරුමය හිමිව තිබූ අග බිසවගේ පුත්කුමරු එකල කුඩා ළදරුවකුව සිටි බැවින්, වන වගා මාලිගයෙන් පිටකර ආරක්‍ෂා කරන්නට සේවකයන් කටයුතු කළ බවත්, කළුන්දැවේ ගමගෙදර රහසේ හැදී වැඩුණේ "අප්පුවා" නමින් බවත් ඉතිහාසය කියයි. කෙසේ හෝ ඉන් පසු කුරුණෑගල රාජධානිය කරගත් බුවනෙකබාහු රජුගේ දෙටු පුත් "වත්හිම්" කුමරු රජ උරුමයට පත්වූ නමුත්, අන්‍යාගමික මවකගේ දරුවකු බැවින් එකල ප්‍රභූන් ඔහුගේ රාජ්‍යත්වය නෙරපා දැමූ බවද සෑහෙන කලක්‌ රජකෙනකු නැතිව ගෙවී ගිය බවද කියනු ලැබේ. මීළඟ රාජ උරුමය සොයාගත හැක්‌කේ රජුගේ මඟුල් ඇතුට යන මතය සමාජයේ තිබූ බැවින් ඇතුන් දණ ගසන පුද්ගලයා රාජ්‍යත්වයට සුදුසු බව පිළිගන්නා ලදී. අවසානදී කළුන්දැවේදී මඟුල් ඇතු "අප්පුවා" ළඟ දණ ගැසූ බවත්, පෞරුෂත්වයෙන් පිරිපුන් ගොවියකු වූ "අප්පුවා" ලංකවේ දෙවැනි පරාක්‍රමබාහු නමින් රජවූ බවත් කියනු ලැබේ.

මෙය හුදෙක්‌ ජනප්‍රවාදයක්‌ නොව, සැබෑ කතාවක්‌ වුවත් අගනා කතාන්දරයක්‌ මෙහි වෙයි. මෙම කතාන්දරය ගැන ලංකාවේ බොහෝ දෙනකු නොදන්නා නමුත් මෙය ජපානයේ "ඔකිනවා" දූපතේ බොහෝ වැසියන් අතරත්, "ඔකිනවා" සහ "කෝබේ" විශ්වවිද්‍යාල සිසුන් අතරත් ශ්‍රී ලංකාවේ මේ කතාව ජනප්‍රිය කතාවක්‌ බවට පත්ව තිබේ. ඒ "ඔකිනවා" විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු විසින් ලියා පළකරන ලද ජපන් ඉංග්‍රීසි, සිංහල ෙත්‍රෙභාෂික දර්ශණීය චිත්‍ර කතා ග්‍රන්ථයක්‌ හේතුවෙනි. මෙම ග්‍රන්ථයේ නමද "අප්පුවා රජ වූ හැටි" ය. (A රදජනහ ච්එය එද එයෑ රදහ්ක ඡ්ක්‌ජැල ඛැටැබා දෙ Eකැචය්බඑ Rදජන) මෙහි ඉංග්‍රීසි සිරස්‌තලයයි.

මෙම ග්‍රන්ථයේ නිර්මාතෘවරයා ජපානයේ "ඔකිනවා" විශ්වවිද්‍යාලයේ සංජනන වාග් විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ කෝබේ විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයකු වූ දෙමටපිටිය රාළලාගේ දිලිප් චන්ද්‍රලාල් මහතාය. දී. ග. සෝමපාල චිත්‍ර ශිල්පියාගේ අගනා සිතුවමින් නිමවූ මෙම ග්‍රන්ථය 2010 වසරේදී පළකරන ලද අතර, දොරට වැඩුම දා තමන් හා ඔකිනවා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු, ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපේක්‍ෂා නොකළ තරමේ සෙනඟක්‌ ඊට සහභාගි වූ බව දෙමටපිටිය රාළලාගේ මහාචාර්ය දිලීප් චන්ද්‍රලාල් මහතා පවසයි.

"මට දැන් ලංකාවේ තිබ්බ වාසගම නැහැ. දිලීප චන්ද්‍රලාල් කියලා විතරයි භාවිත කරන්නේ. මොකද ජපානයේදී කෙටි නම් තමයි භාවිත වෙන්නේ. පෝරම පුරවන්න. බැංකු හෝ වෙනත් කටයුතුවලදී අපේ වගේ ලොකු දිග නම්වලට ඉඩකඩ ජපානයේදී ලබාදෙන්නේ නැහැ. ඉතින් මම වාසගම ඉවත් කරල දිලීප චන්ද්‍රලාල් කියල විතරයි භාවිත කරන්නේ. මගේ එකම පුතාටත් මගේ මුල් වාසගම නැහැ. එයාට ලැබුණු වාසගම මගේ නමේ අග කොටස. චන්ද්‍රලාල් කියල දුන්න. එයාගේ සම්පූර්ණ නම අරුණ චන්ද්‍රලාල්. එයාට සිංහල අමාරුයි. ඉගෙන ගත්තෙ ජපන් භාෂාවෙන්. දැන් රැකියාවකුත් කරනවා. මගේ බිරිඳත් ජපන් ජාතිකයෙක්‌. අපි දැන් "ඔකිනවා" දූපතේ පදිංචිකරුවෝ." යෑයි මහාචාර්යවරයා කතාවට මුලපිරුවේය.

මහාචාර්ය චන්ද්‍රලාල් අපට මුණගැසුණේ එදා "අප්පුවා රජ වූ" කතාවට පාදක වූ බුවනෙකබාහු රජතුමාගේ උපක්‍රමික මාළිගාව පිහිටි එදා වීරගල, අද යෝගමුවා" කන්ද ආසන්නයේ පිහිටි සුන්දර ගම්භීර නවාතැනකදීය. අතීතයේදී ප්‍රදේශයේ කෝරාළ තනතුර හා පසුව ගම්සභාපතිවරයාද වූ බව කියන පොල්ගහවෙල, දෙනගමුව, ජයසුන්දර රාළහාමිට අයත්ව තිබූ "කොටි වලව්ව" නොහොත් "ජයසුන්දර වලව්ව" නමැති මෙම වළව්ව අද "ගජමදාරා වලව්ව" නමි. මහාචාර්යවරයාටම අයත් මෙම වළව්ව, ඔහු ජපානයේ අධ්‍යාපනය ලබද්දී ජයසුන්දර පරම්පරාවේ ඉල්ලීම පිට තවකෙකුට නොවිකුණා, ඔහුටම ලබාදී ඇත්තේ ජයසුන්දර රාළහාමිගේ ඉඩම් හත්පත්තුව බලාගෙන ඇත්තේ මහාචාර්යවරයාගේ පියාණන් වූ දෙමටපිටිය රාළලාගේ යහපත්හාමිගේ නමට ගරුකිරීමක්‌ ලෙසිනි.

කුරුණෑගල, පොල්ගහවෙල පත්තුවේ දෙනගමුව උපන්ගම කරගත් ඉහත යහපත්හාමිට සහ උක්‌කුඅම්මාට දාව අට දෙනකුගෙන් යුත් පවුලක උපන් දිලීප චන්ද්‍රලාල්, දෙනගමුව රජයේ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව පොල්ගහවෙල පරාක්‍රමබාහු මධ්‍ය විද්‍යාලයෙන්ද, දෙනගමුව බෝධිගුප්ත පිරිවෙණෙන්ද අධ්‍යාපනය ලැබ 1972 දී කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත්වූ අතර, එහිදී මානව ශාස්‌ත්‍ර පීඨයෙන් සිංහල ගෞරව ශාස්‌ත්‍රවේදී උපාධිය ලබා 1977 දී එහිම තාවකාලික කථිකාචාර්ය පදවිය ලබාගන්නා ලදී. හෙතෙම ජපානයට යන්නේ පශ්චාත් උපාධිය සඳහා ජපානයෙන් ලබන ශිෂ්‍යත්වයක්‌ හේතුවෙනි.

ජපානයේ ඔහු උගත් කතාවත්, මහාචාර්යවරයකු දක්‌වා පැමිණි ගමනත් සුවිශේෂී කතාවකි. "ගජමදාරා" වලව්වේ සිට ඔහු එසේ අතීතය ආවර්ජනය කරන කල්හි, කෙටි නිවාඩුවකට ඔහු මෙවර ශ්‍රී ලංකාවට පැමිණි කාරණය ගැනද සිහිපත් කරනු වටී.

ඔහුගේ මෙවර ශ්‍රී ලංකා සංචාරයට ඔකිනවා විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 8 දෙනකු ඇතුළු "ඔකිනවා" හි විශ්වවිද්‍යාලයේ සහ එම දූපත් ප්‍රදේශයේ 16 දෙනකු පැමිණ සිටියහ. විශේෂ පාසල් වැඩසටහනක්‌ සඳහා පැමිණ සිටි මෙම කණ්‌ඩායමේ ප්‍රධාන අරමුණ වූ බව කියන්නේ ලංකාවේ මේ දිනවල මහත් ගැටලුවක්‌ව පවතින කසළ අර්බුදය සහ පරිසර සංවේදීතාව පිළිබඳව මෙරට පාසල් සිසු සිසුවියන් අතර දැනුම හුවමාරුකර ගැනීමය. එසේ පැමිණි කණ්‌ඩායම ඔකිනවා දූපතේ ප්‍රධාන නගරය වන "නහ" නගර සභාවේ කසළ කළමනාකරණ අත්දැකීම් පිළිබඳව ශ්‍රී ලාංකික සිසු සිසුවියන් සමඟ සජීවීකරණ වැඩසටහනකට සම්බන්ධව සිටියහ.

"ජපානය ශ්‍රී ලංකාවටත් වඩා පරිසර සංවේදීව ක්‍රියාකරන රටක්‌. හැම කටයුත්තකදීම ඔවුන් පරිසරය ගැන හිතනවා. කසළ කළමනාකරණයේදී විශේෂ අවධානයක්‌ යොමුකරනවා. "ඔකිනවා" "නහ" නගර සභාව කසළ වෙන්කරළයි එකතු කරන්නේ. පොලිතින්, ප්ලාස්‌ටික්‌ භාවිතයත් ඔවුන්ගේ හරිම අඩුයි. කුණු වර්ග කිරීම, කුණු කසළ බඳුන්වලට බැහැර කිරීම, ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍යවලට ඇති විශේෂ අවධානය, දැවෙන නොදැවෙන කසළ වර්ගීකරණය, ප්‍රතිචක්‍රීකරණය සඳහා කසළ තෝරා ගැනීම, වැනි විවිධ වූ ක්‍රමවේදයන් ජපානය අනුගමනය කරනවා. ත්‍රීආර් සංකල්පය, පුද්ගල, ප්‍රාදේශීය පාලන, මහ රජය වශයෙන් ජපානය දක්‌වන කසළ පිළිබඳ වගකීම් වැනි දේවල් ගැන කතා කරන්න, අදහස්‌ බෙදාගන්න තමයි ජපන් දූත පිරිස ලංකාවේ පාසල් සිසුන් හා මෙවර එකතු වුණේ. ඒ සඳහා මීට පෙර ජපානයේ අත්දැකීම් ලබා ඇති ලංකාවේ පාසල් දරුවන් හා කුරුණෑගල මලියදේව විදුහලේ සිසු දරුවන් එකතු වුණා" යෑයි මහාචාර්යවරයා පැවසීය.

මහාචාර්ය චන්ද්‍රලාල් ජපානයේ කෝබේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ 1983 වසරේදීය. පශ්චාත් උපාධිය සඳහා සංජනන වාග්විද්‍යාව හැදැරීමට එහි ගිය මහාචාර්ය දිලීප චන්ද්‍රලාල්, ඔසාකා විදේශ භාෂා විශ්වවිද්‍යාලයෙන් ජපන් භාෂාව උගෙන එහිදීම රජයේ විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍රපති උපාධිය ලබාගෙන ඇත. අනතුරුව කොබේ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කරගත් හෙතෙම එහිදීත් පර්යේෂණ නිබන්ධන සිදුකර ඇත්තේ සිංහල භාෂාව ගැන වීම විශේෂයකි. "ඔසාකා" හි යුවතියක හා සරණ ගිය මහාචාර්යවරයා 1998 දක්‌වා කෝබේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරය දරන අතරතුර කෝබේ මහා භූමිකම්පාව සිදුව ඇත.

ජපානය කොතරම් දියුණු වුවත්, භූමි කම්පාවෙන් කඩා වැටුණු කෝබේ නගරය ගැන එදා ජපන් වැසියන් කම්පාවෙන් කතා කළ අයුරුද නගරයක්‌ උඩු යටිකුරු කළ ඒ සිදුවීම බොහෝ ජපන් ජාතිකයන් තුළ හා තමාගේ සිත තුළද නොමැකෙන මතකයක්‌ ඉතිරි කළ බව මහාචාර්ය චන්ද්‍රලාල් පවසයි.

ඉන් පසු නගරයෙන් බැහැරව යන්නට සිතූ ඔහුට "ඔකිනවා" දූපතේ රජයේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවියක්‌ ලැබුණු අතර, පවුලේ අය සමඟ හේ "ඔසාකා" අතහැර එහි පදිංචියට ගියේය. එහෙත් කෝබේ නගරයේ සිටියදී ඔහු වැදගත් කටයුත්තකට මුල පිරුවේය. ඒ ජපන් ජාතිකයන් ශ්‍රී ලංකාව ගැන දැන සිටියා නම් ඒ "සිලෝන් ටී" ගැන හා එහි ජාතික ගුවන් විදුලියේ සේවය කළ "විකී සන්" ගැන පමණකි. ඒ හැර ඔවුහු ශ්‍රී ලංකාව ගැන වැඩි දෙනෙක්‌ නොදත්හ. මීට පිළියමක්‌ ලෙස කෝබේ අවන්හල් මිතුරකුගේ මාර්ගයෙන් මහාචාර්ය දිලීප මාසෙකට වරක්‌ ශ්‍රී ලංකාවේ සංස්‌කෘතිය පරිසරය ආගම දහම වැනි දැ ගැන දේශනා මාලාවක්‌ පැවැත්වීය.

ඒවා ශ්‍රවණයට පැමිණි 20-30 ක්‌ දෙනා නොකඩවා සම්බන්ධකරගත්තේ තමන්ගේ දේශන, ලංකාවෙන් එහි විශ්වවිද්‍යාලයට උගෙනුමට යන අය, ලංකාවට එන ජපන් ජාතිකයන් යන අය සම්බන්ධ කර ගනිමිනි. එසේම ලංකාවේ ගීත, සංගීතය, සාහිත්‍ය, කලාව, ඔහු කෝබේ වෙතත් ඉන්පසු "ඔකිනවා" වෙතත් ගෙන ගියේය.

මෙම නොකැඩුණු සාමාජික පිරිසගේ රසවින්දනය සඳහා මහාචාර්යවරයා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සමඟ එක්‌ව ලංකාවේ "අප්පුවා රජ වූ හැටි" "ඔකිනවා වෙත ගෙන ගියේය. ඒ භාෂා තුනකින් යුත් අගනා චිත්‍ර කතා පොතක්‌ ලෙසිනි. එය දොරට වඩින දින නොසිතූ පිරිසක්‌ විශ්වවිද්‍යාලයට පැමිණියහ. එහි ප්‍රතිඵලය වූයේ දෙරට යාකරමින් "ඔකිනවා - ශ්‍රී ලංකා" මිත්‍රත්ව සංවිධානයක්‌ බිහිවීමය. 2010 දී එය බිහිවිය. මෙම සංවිධානය මගින් ලංකාවේ "තේ" "ලංකාවේ කෑම" වැඩසටහන් සහ අධ්‍යාපනික සංචාර පවා සැලසුම් කෙරිණි. එම සංචාරවල ප්‍රධාන ඉලක්‌කයක්‌ වූයේ "අප්පුවා රජ වූ හැටි" පොතෙන් කියෑවුණු දේවීන් වහන්සේලා සමඟ බුවනෙකබාහු රජු බිමට පැන දිවි තොරකර ගත් "වීරාගල" (යෝගමුව) කන්ද නැරඹීමට යැමය. අදටත් ඒ පොතේ පරිදි ජපන් සංචාරකයන් මෙම කන්ද තරණයට එක්‌වන බව මහාචාර්යවරයා පවසයි. එපමණක්‌ නොව එසේ පැමිණි කණ්‌ඩායමක්‌ මගින් වීරාගල, බැලුම්ගල (මාලිගාතැන්න) දුප්පත් ගම්මානයේ වැසියන්ට ලක්‍ෂ 20 කට අධික පානීය ජල ව්‍යාපෘතියක්‌ ලබාදුන් බවද හෙතෙම කියයි.

එසේම 2004 සුනාමි ව්‍යසනයේදී පවා මෙම සංවිධානය දකුණේ ගම් දෙකක්‌ ගොඩනැංවීමට කටයුතු කර ඇත. 2006 වසරේ පටන් "ඔකිනවා" අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරය පරිදි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 20 බැගින් 2016 වසර දක්‌වා අධ්‍යාපනික වැඩසටහනක්‌ ලෙස ජපානයට ගෙන ගොස්‌ පාසල් ළමුන් හා මිශ්‍රව උගෙනුම ලබා දී ඇත.

ජපන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන්, වැඩිහිටියන් ආදී වශයෙන් ලංකාවටද පැමිණ පාසල් වැඩසටහන්වල නිරතවන අතර මෙවර පැමිණි පිරිස පොල්ගහවෙල පරාක්‍රමබාහු මධ්‍ය විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය සම්බන්ධකර ගනිමින් විශේෂ පරිසර වැඩසටහන්වල නිරත වූහ.

මහාචාර්යවරයා පවසන්නේ "ඔකිනවා" හි "නහ" නගර සභාවේ නිලධාරීන් ශ්‍රී ලංකාවට ගෙන්වා මීළඟට ශ්‍රී ලංකාවේ කසළ කළමනාකරණය පිළිබඳව ද්වී පාර්ශ්වික වැඩසටහනක්‌ කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි.

"පරිසරය සංරක්‍ෂණය ගැන අද ලෝකයම කතා කරනවා. දේශගුණික විපර්යාස නිසා ලෝකයම බැට කනවා. නමුත් ශ්‍රී ලංකාවේ පරිසරය ගැන දක්‌වන ආකල්පය හොඳටම මදි. මේ රටේ ඉපදුණු ගැමියකු විදිහට මමත් දැඩිව පරිසරයට ආදරය කරන කෙනෙක්‌.

ඒ නිසා, ජනතාවගේ, පාලක කාරකාදීන්ගේ පරිසර සංවේදීතාව, පරිසර දැනුම වැඩිකළ යුතුයි. ඒ සඳහා අපට දිය හැකි උපරිම සහාය දිය හැකියි. ජපානයේ තාක්‍ෂණ දැනුම, අදහස්‌ හුවමාරුව අත්දැකීම් බෙදා ගැනීම වැදගත්. මේ සඳහා මම කළ හැකි උපරිම දේ මට ඉටුකරන්න සූදානම්. මේ රටේ නිදහස්‌ අධ්‍යාපනයෙන් උගෙන ජපානයට ගොස්‌ අද එහි පදිංචිව සිටියත්, ඉඩක්‌ ලැබුණු හැටියේ මම මෙහෙ එන්නෙ. අපේ ගමට, ගහට, කොළට, ඇළට, දොළට වටපිටාවට ආදරය නිසයි. "අප්පුවා රජ වූ හැටි" කියල මම ජපානයේ අපේ ගම් ප්‍රදේශය ගැන ලොකු වෙනසකට භාජනය කළා. අද එහි හොඳ ප්‍රතිඵලත් මම ගමට, රටට ගෙනල්ල දීල තියනවා. අපි ජීවත්වන කාලය තව ටිකයි. ඒ ටිකේදී යමක්‌ රටට මතු පරම්පරාවට දීමයි මගේ බලාපොරොත්තුව" යෑයි ගජමදාරා වලව්වෙන් සමුගන්නා මොහොතේ මහාචාර්ය දිලීප අප සමඟ පැවසීය.

ජගත් කණහැරආරච්චි







 

 
Powered By -



සීමාසහිත උපාලි පුවත්පත් සමාගම

අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.