ඔක්‌තෝබර් 01 දින සිට ත්‍රිරෝද
රථවලට මීටර් අනිවාර්යයයි

ප්‍රවාහන නි. ඇමැති අශෝක්‌ අබේසිංහ

ආර්. එම්. ඩබ්ලිව්. බණ්‌ඩාර - කුරුණෑගල

ත්‍රිරෝද රථ ගාස්‌තු අය කිරීම සඳහා මීටර්Êසවිකිරීමේ කටයුතු ඔක්‌තෝබර් 01 දින සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත්, ගාස්‌තු අය කිරිම තීරණය කරනුයේ ත්‍රිරෝද රථ සංගම්වල අදහස්‌ මත පමණක්‌ බවත් මෙම ගාස්‌තුව ප්‍රදේශය මත තීරණය කරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නි. ඇමැති අශෝක්‌ අබේසිංහ මහතා පැවැසීය.

ත්‍රිරෝද රථවල ගාස්‌තු අය කිරීමේදී රජය මගින් කිසිදු නියමයක්‌ සිදු නොකරන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේ (13 දා) පෙරවරු සිය කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

ශ්‍රී ලංකාව තුළ දැනට ලියාපදිංචි වී තිබෙන ත්‍රිරෝද රථ සංඛ්‍යාව එකොලොස්‌ලක්‍ෂ පනස්‌දහසක්‌ බවත්, මෙම සංඛ්‍යාවෙන් හත්ලක්‍ෂ පනස්‌දහසකට අධික ත්‍රිරෝද රථ සංඛ්‍යාවක්‌ මඟී ප්‍රවාහන කටයුතු සඳහා යොදවා තිබෙන බවත්, මඟී ප්‍රවාහනයේදී මහජනතාවගෙන් නිරන්තරයෙන් ම විවිධ පැමිණිලි ලැබෙන බවද මෙහිදී ඇමැතිවරයා කියා සිටියේය. ජනතාවගේ පැමිණිලි සලකා බලා, එයට පිළියමක්‌ ලෙස ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව මෙහිදී නි. ඇමැතිවරයා පැවැසීය. ත්‍රිරෝද රථයේ මීටර් ටැක්‌සි යන්න ප්‍රදර්ශනය කළ යුතු බවත්, ත්‍රිරෝද රථයේ ගමන් ගන්නා මගියා ගමනාන්තයේදී ගාස්‌තු ගෙවීමේදී රිසිට්‌පතක්‌ ඉල්ලූ විට එය අනිවාර්යයෙන් ත්‍රිරෝද රථ රියෑදුරු ලබාදිය යුතු බවත්, එක්‌ එක්‌ ත්‍රිරෝද රථ රියෑදුරුට අවශ්‍ය විදියට ගාස්‌තු අයකළ නොහැකි බවත් පැවසූ නි. ඇමැතිවරයා කිලෝමීටරයට අය කරන ගාස්‌තුව ත්‍රිරෝද රථ සංගම් මගින් තීරණය කළ යුතු බව ද පැවැසීය.

අලුතින් ත්‍රිරෝද රථ මිලදී ගැනීමේදී ත්‍රිරෝද රථවලට මීටර්Êසවිකර දීමට අදාළ සංගම්ලට නියම කර ඇති බවත්, ත්‍රිරෝද රථ රියෑදුරු බලපත්‍ර ලබා ගැනීමට අපේක්‍ෂා කරන සැමට එක්‌දින පුහුණුවක්‌ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ද නි. ඇමැතිවරයා පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.